Print this Article


බුද්ධානුස්මෘති භාවනාව

බුද්ධානුස්මෘති භාවනාව

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය.

බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. “අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලොකවිදූ, අනුත්තරෝ පුරිස දම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා” යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද , කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිතව තමන් වහන්සේ විසින් ම නො වරදවා දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥානාදීි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යග් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන, පුණ්‍යමාන, බලමාන ප්‍රඥාමාන, සෘද්ධි, මානාදි අනේකවිධ මානයෙන් උඩඟු වූ , දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිස ද අනුශාසනය කරන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය, අනන්ත සෘද්ධි , අනන්ත ඥාන, අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත ව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.

මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.