Print this Article


පොත් විත්ති

පොත් විත්ති

ලක්දිව රාජ්‍ය පාලනය සහ සම්බුදු සසුන

කර්තෘ - කේ.මීගහකුඹුර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් ධූරය දරණ, එමෙන් ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගුරු සේවයෙහි, විදුහල්පති සේවයෙහි හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි විශ්‍රාමික නිලධාරියෙකු වූ කේ. මීගහකුඹුර මහත්මා ශ්‍රද්ධා – ප්‍රඥා ගුණයන්ගෙන් සම්පූර්ණ වූ සත් පුරුෂයෙකි. එතුමෝ සාහිත්‍යය, ඉතිහාසය, භාෂා සම්ප්‍රදායය, අධ්‍යාපනය, ඉගැන්වීමේ ක්‍රමවේද, බෞද්ධ පුද පූජා හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ ප්‍රාමාණික දැනුමැ’ති උගතෙකි.

ස්වකීය රාජ්‍ය සේවාවෙන් විශ්‍රාමික ව දැනට දශක දෙක හමාරකට වැඩි කාලයක් ශ්‍රී දළදා මාළිගාවේ සේවා කටයුතුවල නිරත ව සැදැහැයෙන් හා බැතියෙන් යුතුව අන්‍ය කාර්ය මණ්ඩලවලට ද ආදර්ශවත් ව කටයුතු කරයි.

කේ. මීගහකුඹුර මහත්මා ප්‍රාචීන – ප්‍රතිචීන අධ්‍යාපන සම්ප්‍රදායන් තුළින් ආගම, දර්ශනවාදී විෂය ක්ෂේත්‍රයන්හි විමර්ශනාත්මක, තුළනාත්මක , විග්‍රහාත්මක දැනුම් සම්භාරයක් උකහාගෙන ඇති අතර එය උපයෝගී කොට ගෙන ශ්‍රී දළදා මන්දිරය, දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්, උපසම්පදා ආදී ශාසනික සම්ප්‍රදායයන්, බුද්ධෝපස්ථාන පුද සිරිත්, තේවා , දළදා පෙරහර, එහි විවිධ අංශයන් පිළිබඳ වැටහීමක් ඇතිව කටයුතු කරයි.

පුරාකෘත පුණ්‍ය මහිමයෙන් උරුම වූ ලේඛන කෞශල්‍යය අර්ථවත් කරමින් මේ වන විට ග්‍රන්ථ රැසක් මුද්‍රණයෙන් එළදැක්වීමට සමත් වූ ඔහුගේ නවතම ග්‍රන්ථය “ලක්දිව රාජ්‍ය පාලනය සහ සම්බුදු සසුන” නමින් ප්‍රකාශයට පත් කර තිබේ.

පරිච්ඡේද හතකින් සමන්විත මෙම ග්‍රන්ථයෙහි රාජ්‍ය පාලනයෙහි ලා උපයෝගී කර ගත හැකි ත්‍රිපිටකාගත සූත්‍ර දේශනාවන්හි ධර්මාන්විත ඉගැන්වීම්, එම ඉගැන්වීම් ආශි‍්‍රතව ශ්‍රී ලංකාද්වීපයේ පෙර රජ දරුවන්ගේ පටන් පාලකයින් කටයුතු කළ ආකාරය, ඉතිහාසයෙහි ඒ ඒ යුගයන්හි දී ඇති වූ අභියෝගයන් හා ඒවාට ධාර්මිකව මුහුණ දුන් අයුරු, සමස්ත ජන ප්‍රජාවම උභය ලෝකාර්ථ සංසිද්ධියෙහි උත්සුක කරලීමේ උත්සාහය, රාජ්‍ය පාලනය ආශි‍්‍රතව ශාසන ආරක්ෂාව හා ප්‍රවර්නය , ධාර්මික සංකල්ප හා සාරධර්ම ආශි‍්‍රතව ජන ජීවිතයෙහි ආර්ථික, සමාජ, සංස්කෘතික හා සදාචාරාත්මක පැවැත්ම තහවුරු වූ ආකාරය ඉදිරිපත් කොට තිබේ.

මේ වනාහි පර්යේෂණාත්මක ප්‍රයත්නයකි.


බෞද්ධ සාහිත්‍යයෙන් හෙළිවන මව්පියෝ සහ දූ දරුවෝ

ආගමික සදාචාරය හා සමාජ සදාචාරය යටතේ කුටුම්භය පදනම් කරගත් දෙමාපිය දූ දරු සම්බන්ධතාව නිරන්තරයෙන් ම සාකච්ඡාවට භාජන කෙරෙන මාතෘකාවකි. මේ පිළිබඳ සමාජ කථිකාව, ඒ හා සම්බන්ධ ගැටලු මෙන්ම එහි ඇති ආධ්‍යාත්මික හා සමාජමය වටිනාකම පිළිබඳ අවධාරණය කිරීම්වලින් යුක්ත ය. සමාජානුයෝජනය හෙවත් පුද්ගලයා සමාජයට උචිත අන්දමින් හැඩගැස්වීමේ දී දෙමාපියන් වෙත පැවරෙන වගකීම සුවිශේෂී වූවකි. පුද්ගලයෙකු නිවැරදි ලෙස සමාජානුයෝජනය වන්නේ පවුල ආශ්‍රයෙනි. මිනිසෙකු ලෙස මෙලොව එළිය දුටු තැනැත්තාගේ මුල්ම සමාජය වන්නේ දෙමාපියන් ය. දෙමාපිය ආශ්‍රයෙන් වන සමාජානුයෝජනය මගින් පුද්ගලයෙකුට, ඔහු අයත් සමාජය, සංස්කෘතිය, භාෂාව හා ආගම මෙන්ම වෙනත් දෑ පිළිබඳ මූලික ශික්ෂණයක් ලබා දේ. එය නිසි පරිදි සිදුවන්නේ නම් පරිපූර්ණ පෞරුෂයකට හිමිකම් කියන සාමාජිකයෙකු නිර්මාණය වේ. බොහෝ අපගාමී පෞරුෂයකට හිමිකම් කියන පුද්ගලයන් නිර්මාණය වන්නේ එම කාර්ය නිසිලෙස ඉටු නො වීමේ හේතුවෙන් ය. දෙමාපිය දූ දරු සම්බන්ධතාවේ සදාචාරාත්මක වැදගත්කම ලෝක ආගම් සියල්ලම විවාදයකින් තොරව පිළිගෙන තිබේ. එබැවින් සියලුම ආගම් පවුල මූලික කරගත් දෙමාපිය දූ දරු, ස්වාමි භාර්යා සම්බන්ධතාවේ ආධ්‍යාත්මික මෙන්ම සමාජිය අගය නිරන්තරයෙන්ම අවධාරණය කරයි. මෙකී අරමුණු සාක්ෂාත් කෙරෙන අදහසින් සිංහල භාෂාවෙන් සම්පාදිත කෘති අතරට කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මිය විසින් සම්පාදිත ‘බෞද්ධ සාහිත්‍යයෙන් හෙළිවන මවුපියෝ සහ දූ දරුවෝ’ නැමැති අභිනව ග්‍රන්ථය එක් වේ. දෙමාපිය දූ දරු සම්බන්ධතාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් මූලික කරගනිමින් සම්පාදිත මෙම කෘතිය සාකල්‍යයෙන්ම බෞද්ධ සාහිත්‍යයට අයත් සමාජ සදාචාරය ගොඩනැගීමෙහිලා අවශ්‍ය සදූපදේශ සපයන ධර්ම ග්‍රන්ථයක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත ය. ප්‍රධාන පරිච්ඡේද සතරකින් සමන්විත ග්‍රන්ථයෙහි දෙමාපිය දූ දරු සම්බන්ධතාව හා සබැඳි විෂය කරුණු ප්‍රධාන තේමාවන් සතරක් යටතේ සාකච්ඡා කොට ඇත.