Print this Article


දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන මැටරඹ හේමරතන නාහිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන මැටරඹ හේමරතන නාහිමි

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවියන් පිදුම් ලද ඓතිහාසික යටගල රාජමහා විහාරය,ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධීෂ්වර මැටරඹ හේමරතනාභිධාන නාහිමි පිළිබඳ කෙරෙන උපහාරය යි.

ගාල්ල උණවටුනේ මැටරඹ නම් සොඳුරු ග්‍රාමයෙහි 1941 බිනර මස 17 දින උපතලද නෙල්සන් නානායක්කාර කුමරු 1955 බක් මස 05 දින ඓතිහාසික රාජ පූජිත යටගල රජමහ විහාරාස්ථාන යේ දී උතුම් ප්‍රවුජ්‍යා භූමියට පත් වුහ. ඉලුක්පිටියේ ජිනරතන නාහිමි,වත්තහේනේ රතනසාර නාහිමි සහ වත්තහේනේ පියරතන නාහිමි ආචාර්යත්වයෙන් ‘මැටරඹ හේමරතන හිමි’නාමය දරමින් ශාසනික වත්පිළිවෙත් පිරීම ඇරඹූහ.

ඓතිහාසික යටගල රජමහා විහාරස්ථ හෙට්ඨාචල මහා පිරිවෙනෙන් මූලික දහම් නැණ නුවණ සපුරාගත් උන්වහන්සේ 1965 වර්ෂයේ මල්වතු මහා විහාරස්ථ ශී‍්‍ර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාවෙහි පිහිටියහ.රත්මලාන පරමධම්මචේතිය ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්,කැලණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා තම මාතෘ පරිවෙණස්ථානය වූ යටගල රාජමහා විහාරස්ථ හෙට්ඨාචල පිරිවෙන් ආචාර්ය වරයන් වහන්සේ නමක්ව නොබෝ කාලයකින් එහි පරිවෙණාධිපති ධුරයෙන් තම රාජකාරිය සම්පුර්ණ කළහ. එවක් යටගල විහරස්ථානයට අනුබද්ධ යටගල දහම් පාසලෙත්,උණවටුනබෝධිරාජ දහම් පාසලෙත් හැඩිදෙමළ කන්ද ධර්ම රාජ දහම් පාසලෙත් ප්‍රධානාචාර්ය ධූර දරමින් ශාසනික, ආගමික හා සමාජීය සේවාව මැනවින් ඉටුකළහ.

ඓතිහාසික යටගල රජ මහා විහාරයේ පමණක් නොව ලෝක ප්‍රසිද්ධ බෞද්ධ අරහත් නිජ බිමක් වශයෙන් පිදුම් ලද ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය ඇතුළු අෂ්ටම විහාරස්ථානයන්ගේ ආධිපත්‍ය දරමින් එකී සෑම විහාරස්ථානයක්ම දියුණු කිරීමට මහත් කැපවීමක් වෙහෙසක් දරයි.

යාල වන අඩවියේ මධ්‍යයේ පිහිටි වන සතුන්ගේ ග්‍රහණ මෙම සිතුල් පව්ව පුද බිමට පැමිණෙන සැදැහැවතුන්ට සුව පහසුව නවාතැන්ගෙන ස්වකීය ආගමික කෘත්‍යයන් මැනවින් කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් බොහෝ ය .

පි‍්‍රය වචනයෙන් හා සිනාමුසු මුහුණින් කිසිදු භේදයකින් තොරව සැමට කරන සංග්‍රහය නායක හාමුදුරුවන් වහන්සේගේ ගුණ රුව බැබළෙන්නට ප්‍රධාන හේතුවයි .

එසේම කරුණාව මෛති‍්‍රය වැනි උතුම් ගුණාංග මිනිසුන්ට පමණක් නොව යාල මහා වන මැද සිටින සතා සිව්පාවන්ටත් පතුරන නා හිමියන්ගේ සතු සිතුල්පව්ව පුදබිම වන්දනා කළ ලාංකීය ජනයා මොනවට අත් දැක ඇත.

ශාසනික සම්ප්‍රදාය පිළිබඳ ඉතා ඉහළින් සැලකිලිමත් වන නායක හාමුදුරුවන් වහන්සේ බොහෝ නවක භික්ෂුන් වහන්සේලාට එහි වටිනාකම් ප්‍රායෝගිකව පෙන්වා දෙති.

ශාසනික වත් පිළිවෙතට වගේම ජාතික ආගමික අභිවෘද්ධිය වෙනුවෙන් මහා සේවාවක් ඉටුකරන මාහිමිපාණන් වහන්සේ කිසිදු ප්‍රචාරයක්, ලාභයක් නොලබාම ඒකී කාර්ය එඩිතරව ඉටු කරති.

කිව යුතු දේ ඍජුව ම ප්‍රකාශ කරන මහා යතිවර ගුණ භුෂිත නාහිමි වැරැද්ද, අසාධාරණයේ දී කිසි විට නිහඩව නොසිටී.කිසිදු භේදයකින් තොරව,තරාතිරම නොබලා ඊට අවශ්‍ය කාර්යභාරය සිදු කරති.

වර්තමාන අග්‍රාමත්‍ය ධුරන්ධර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සංවර්ධන සභාවේ සභාපති ලෙස කටයුතු කරයි. රාජ්‍ය අනුග්‍රහය නිරන්තරව ලැබීමේ භාග්‍ය ලත් අප නා හිමියෝ කිසි විටක ඉන් උදම් වූයේ හෝ අනිසි ලෙස බලය පවරා ගැනීම් හෝ නොකළ හෙයින් අදටත් එකී ප්‍රභූවරුන්ගේ වන්දනාවෙන් හා ගෞරවයෙන් පිදුම් ලබති.

ලංකාවේ ම බොහෝ කාලයක් පුරා අවධානයට ලක් නොවූ පිරිවෙන් ක්ෂේත්‍රයේ උප ගුරු නාමයෙන් පමණක් ව්‍යවහාර කළ පිරිවෙන් ගුරුවරුන්ට, පාසල් ගුරු භවතුන්ට හා සමාන අභිමානවත් පරිවෙනාචාර්ය ධූරයේ පිහිටුවා කටයුතු කිරීමට එවක් රජය ට උපදේශකත්වය සැපයුවේ ද අපේ නා හිමියන් විසිනි .එකී උත්තුංග කාර්යයේ ප්‍රධාන අනුශාසකයා වූවත් අප නායක හාමුදුරුවන් වහන්සේ කිසි විටක එය ප්‍රසිද්ධ නොකළහ.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන ආගමික ශාසනික සෑම කටයුත්තක දී තම ශක්තිප්‍රමාණයෙන් උපකාර කරන ගරු නායක මා හිමිපාණන් වහන්සේට ප්‍රදේශයේ මහා සඟරුවන අතිශය ගෞරවාදර දක්වති.

උන් වහන්සේගේ සුවිශේෂී ගුණ රූපයක් වශයෙන් තම ආදී කතෘවර තෙරවරුන්ගේ නම් ගොත් සිහිකර පින් පැමිණවීම සෑම අවස්ථාවකදීම සිදු කරති.සෑම වසරකදීම දෙසැම්බර් මස 15 වෙනි දා ශතාධික මහා සඟරුවන වැඩමවා යටගල රජ මහා විහාරස්ථානයේදී මහා දානයක් පිරිනමා තම ගුරු දේවයන් වහන්සේලාට පින් පමුණුවා කෘතගුණ සිහි කිරීම සිදුකරන්නේ තමන්වහන්සේට වසරක් පුරා ලැබෙන විශ්‍රාම වැටුපෙන් ය.

නාහිමිපාණන් වහන්සේගේ උතුම් ම ශාසනික මෙහෙය වශයෙන් සඳහන් කළ හැක්කේ මතු අනාගත ශාසන අභිවෘද්ධිය සැලසිය හැකි වත්මනේත් ප්‍රභාවත් පැවිදි ශිෂ්‍ය පරපුරට මඟ පෙන්වීමයි. තමන් වහන්සේට අෂ්ට මහා විහාරස්ථ අධිපති යන ව්‍යාවහාරයත් සමාජයෙන් පිරිනැමුවද එකී සෑම විහාරස්ථානයකම කටයුතු තම පැවිදි ශිෂ්‍ය සහෝදරාදීන් වෙත පවරා එහි තමන් වහන්සේට කළ හැකි අනුසාසනාවෙන් නායකත්වය සපයයි. මෙයද උතුම් සඟ ගුණයකි

ලාංකීය බෞද්ධ සංස්කෘතියට සම්බුද්ධ ශාසනයට අතිශයින් මහෝපකාරී සංඝ පීතෘත්වයෙහි සලකන නායක මාහිමියන්ගේ ගුණ සලකා ප්‍රාදේශීය මහ සංඝරත්නයේ අභිමතයෙන් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වීය මහා සංඝ සභාවෙන් මහෝපාධ්‍ය පදවිය හා කිර්ති ශී‍්‍ර රතනසාර ගෞරව නාම සහිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරය ගෞරව බහුමානයෙන් යුතුව පෙබරවාරි විසි දෙවන (22) දින පිරිනැමේ.

එසේම ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් නා හිමි පිළි ගැනීමේ උළෙල පෙබරවාරි මස 29 දින පස්වරු 2.00 ට ගාල්ල උණවටුන ඓතිහාසික යටගල රජ මහා විහාරයේ දී සිදුවේ.

නා හිමිපාණන් වහන්සේට ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නිදුක් නිරෝගී ශක්තිය තුනුරුවනේ සරණින් වේවා.