Print this Article


පෙරපර දෙදිග කිතු ගොස පැතිරූ හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ

පෙරපර දෙදිග කිතු ගොස පැතිරූ හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ

“අයං නිජ පරෝචේති
ගණනා ලඝුචේතසාමි
උදාර චරිතානං තු
වසුධෛව කුටුම්බකම්

උදාර චරිත ඇත්තවුන්ට මුළු පොළොවම එක පවුලකි යන හිතෝපදේශ සදූපදේශය තම පැවිදි දිවියෙන් ඔපවත් කළ උදාර චරිතාපදානයකට හිමිකම් කියූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ විසිවෙනි සියවසේ විසූ අග්‍රගණ්‍ය මහ පඬිරුවනකි.

අප කතානායකයාණෝ කුරුණෑගල හම්මලව ගම් පියසේ 1914 දී බන්නැහැක මව්පියන්ට දාව ජන්ම ලාභය ලබා 1926 දී උතුම් පැවිදිබව ලැබූහ. පැවිදිබව ලැබූ සද්ධාතිස්ස සාමණේරයන් වහන්සේ මූලික බණ දහම් සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් ලැබූ අතර, ද්විතීයික අධ්‍යාපනය ථේරීය භික්ෂු අධ්‍යාපනයේ තක්ෂිලාව වූ කොළඹ, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙන් ලැබූහ. අනතුරුව මහාබෝධි සමාගමේ ආරාධනාවකට ඉන්දියාවට වැඩම කළ සද්ධාතිස්ස නාහිමියෝ බරණැස හින්දු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කොට එහිම පාලි භාෂාව ඉගැන්වීමේ වාසනාව ලදහ. ඉන්දියාවේ වාසය කරන කාලයේ දී උන්වහන්සේට විප්ලවීය සමාජ මෙහෙවරකට දායකවන්නට ද අවස්ථාව උදාවිය. එකල උන්වහන්සේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයෙකු ද වන බී.ආර්. අම්බෙඩ්කාර් සමග කුල පීඩිත ‘හරි’ ජනයා වෙනුවෙන් පෙනී සිටීම උදාර අදහස් ඇත්තවුන්ට මුළු පොළොව ම එකම පවුලක්ය යන සදූපදේශය සනාථ කිරීමකි.

ඉන්දියාවෙන් නික්මී 1957 දී මහාබෝධි සමාගමේ ආරාධනාවකට අනුව එක්සත් රාජධානියට වැඩම කරන නාහිමියෝ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් 1926 දී ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරයේ අධිපතිත්වයට පත් වූහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ ආරම්භයත්, සද්ධාතිස්ස නා හිමියන් පැවිදි බව ලැබීමත් එකම වර්ෂයේ වීම දෛවෝපගත සිදුවීමක් විය. පුරා දශක තුනකට අධික කාලයක් ලන්ඩන් බෞද්ධ විහාරය කේන්ද්‍ර කොටගෙන වෙනත් ධර්මදූත භික්ෂුවකට නොදෙවෙනි අද්විතීය ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූ හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම දුර්ලභ ගණයේ ධර්ම දූතයන් වහන්සේ නමක් වූහ. ලන්ඩන් විහාරයේ වැඩ වසන අවධියේ ස්කොට්ලන්ත එඩින්බරෝ සරසවියට ‘උපාසක ජනාලංකාරය’ නම් කෘතිය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය ලබාගත් උන්වහන්සේ ධර්ම සන්නිවේදනයට අත්‍යවශ්‍ය ධර්ම ඥානයෙන් ද, භාෂා ඥානයෙන් ද පරිපූර්ණ වූහ. භාෂණයේ මෙන්ම ලේඛනයේ ද එක සේ ව්‍යක්ත වූහ. විශාරද වූහ. උන්වහන්සේ ඉංගී‍්‍රසි බස මෙන්ම හින්දි හා පාලි බස ද චතුර ලෙස බිණීමේ දක්ෂයෙක් වූහ. උන්වහන්සේ ඉංගී‍්‍රසි බසින් පළකළ ශාස්ත්‍රීය ග්‍රන්ථ බොහෝ ය. ඒ අතරින් The Buddha’s way, Before He was Buddha, The life of siddhartha වැනි කෘති බටහිර විද්වතුන්ගේ ගරු සම්භාවනාවට ලක් වී ඇත. උන්වහන්සේගේ භාෂණය හා ලේඛනය ද බටහිර උගතුන්ගේ ඇගයීමට ලක් වූ නිසාම පදව් තානාන්තරවල හිඟයක් නොවීය. එංගලන්තයේ පාලි පොත් සමාගමේ හා ඇමරිකානු පෙරදිග සමාගමේ සාමාජිකත්වය ලැබූ උන්වහන්සේ බුරුමයේ පැවති 06 වන ධර්ම සංගායනාවේ ධර්ම කථික පදවියක් ද දැරූහ. මෙලෙස අද්විතීය ධර්ම ශාස්ත්‍රීය සන්නිවේදනයක නිරත වී 1990 දී අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමි තිස්වෙනි ගුණානුස්මරණය පෙබරවාරි 22/23 යන දෙදින තුළ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් යුරෝපයේ වැඩ වසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් එක්සත් රාජධානියේ කිංස්බරි සිරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත් වේ. අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ට නිවන් සුව අත්වේවා.