Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: බැඳීම ගින්නක් හා සමය

බැඳීම ගින්නක් හා සමය

අප්පමාදරතො භික්ඛු - පමාදෙ භය දස්සි වා
සඤ්ඤොජනං අණුං ථූලං - ඩහං අග්ගී ව ගච්ඡති

අප්‍රමාදයෙහි රුචි වන - ප්‍රමාදයේ නපුර දකින
හිමි නම සව් කෙලෙස් තවන - ගිනි දළුවකි බැඳුම් දවන

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් එක්තරා භික්ෂුනමක් මුල් කර මෙම ගාථාව වදාළ සේක.

මේ භික්ෂු නම රහත් වීම දක්වා අවශ්‍ය සියලු භාවනා කර්මස්ථාන සහ භාවනා උපදේශ තම ආචාර්යයන් වහන්සේගෙන් ලබා ගෙන ආරණ්‍ය වාසයට ගියේ ය. එහෙත් කවර තරම් උත්සාහ කළ ද උන්වහන්සේට අධිගමයක් ලබන්නට හැකි නොවී ය. අන්තිමේ උන්වහන්සේ මෙසේ සිතූ හ. “මම බුදු රදුන් හමු වී මගේ චරිතයට වඩාත් ගැළපෙන කමටහනක් ලබා ගනිමි.”

මෙසේ සිතූ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක කමටහන් ලබා ගැනීම පිණිස ගමනට පිටත් වූ හ. අතර මගදී උන්වහන්සේට මහා ලැව් ගින්නක් දක්නට ලැබිණ. ලැව් ගින්න වහ වහා පැතිරෙමින් පැවතිණ. එහෙයින් උන්වහන්සේ ළඟ ම වූ පර්වතයකට නැඟ ගත්හ. කඳු මත සිට ගින්න පැතිර යනු බලා සිටි උන්වහන්සේ මෙසේ සිතූ හ. “මේ ගින්න බුර බුරා නැඟී වැඩෙන්නා සේ, සියලු බාධක දවා හරිමින් පැතිර යන්නා සේ මම ද සියලු බාධක දවා හැර ආර්යය මාර්ගය පරිපූර්ණය කරමි.”

මේ භික්ෂූන් වහන්සේ එදින භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වී තිබිණ. සුවඳ ගඳ කිළියේ වැඩ වසමින් ම උන්වහන්සේ එම භික්ෂුව අමතා මෙසේ වදාළ හ. “භික්ෂුව, එය ඉතාමත් උචිත ය. කුදු මහත් සියලු බාධක දවා ගෙන ලැව් ගින්න පෙරට යයි. ප්‍රඥාව නමැති ගින්න ද සියලු කුදු මහත් තෘෂ්ණා බාධක දවා ගෙන පෙරට යා යුතු ය.” තමන් වහන්සේ වෙතින් භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුව වෙත යැවූ ආලෝක ධාරාව, භාග්‍යවතුන් වහන්සේ තමන් අභිමුඛයෙහි සිට ගාථාව දේශනා කරන්නා සේ උන් වහන්සේට දිස් විය.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවට සවන් දුන් භික්ෂුව එතැන හිඳිමින් ම වහා සිය සිත කෙලෙසුන් ගෙන් මුදවා ගෙන සියලු කෙලෙසුන් දවා අභිඥා ලාභී ව රහත් ඵලය ලැබූ හ. අනතුරුව අහසට නැඟුණු උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ නිර්මිත ශරීරයට වන්දනා කොට ප්‍රශංසා කර නික්ම ගියහ.

අප්පමාදරතො - අප්‍රමාදයෙහි ඇලුණු
පමාදෙ – ප්‍රමාදයෙහි
භය දස්සි වා - බිය දක්නා
භික්ඛු - භික්ෂුව
අණුං ථූලං - සියුම් හා මහත්
සඤ්ඤොජනං - බන්ධන
අග්ගී ඉව - ගින්නක් මෙන්
ඩහං - දවමින්
ගච්ඡති – ඉදිරියට(නිවනට) යයි