Print this Article


තෙවළා බුදු වදන් අතරින් 56 : සම්බුදුවරු ලෝකය සමඟ නොගැටෙති

තෙවළා බුදු වදන් අතරින් 56 :

සම්බුදුවරු ලෝකය සමඟ නොගැටෙති

බුදුරදුන් බාහිර වශයෙන් මිනිස් ගති ලක්ෂණවලන් යුක්ත ය. එහෙත් උන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් සියලු මිනිසුන් අභිබවා ඇත. එයට හේතුව මිනිසා තුළ පවතින සියලු කෙලෙස් දුර්වලතා බැහැරකොට ඇති හෙයිනි.

බුදුරජාණන් වහන්සේ එක් දිනක් උක්කට්ඨා හා සේතව්‍ය නුවර අතර මාර්ගයේ වැඩම කළ හ. ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙක් ද එම මාර්ගයේ ම ගමන් කළේ ය. බුදුරදුන්ගේ සිරි පා සටහන් දුටු ද්‍රෝණ බමුණා පුදුමයට පත්ව, එම පා සටහන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ නොවේ යැයි නිගමනය කළේ ය. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කොට එක්තරා ගසක් මුල සමාධි සුවයෙන් වැඩ සිටි සේක.

ඉදිරියට ගමන් කළ ද්‍රෝණ බමුණා සංසුන් හා ප්‍රසාද ජනක ඉරියව්වෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගමන් කළේ ය. බුදුරදුන්ගේ සමීපයට ගමන් කළ ද්‍රෝණ බමුණා හා උන්වහන්සේ අතර මෙවැනි සංවාදයක් ඇතිවිය.

“ භවත්නි ,ඔබ දෙවියෙක්ද?

බමුණ, මම දෙවියෙක් නොවෙමි.

භවත්නි, ඔබ ගාන්ධර්වයෙක් ද?

බමුණ මම ගාන්ධර්වයෙක් නොවෙමි.

භවත්නි, ඔබ යක්ෂයෙක් ද?

බමුණ, මම යක්ෂයෙක් ද නොවෙමි.

භවත්නි, එසේ නම් ඔබ මනුෂ්‍යයෙක් ද?

බමුණ මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

එසේ නම් ඔබ කවරෙක් ද?”

ද්‍රෝණ බමුණාට පිළිවදන් දුන් භාග්‍යවතුන් වහන්සේ,

“යම් කාමාදී ආශ්‍රවයන් හේතුවෙන් යමෙක් දෙවියෙකු බවට පත් වේ නම්, මම ඒ ආශ්‍රව ප්‍රහීණකර ඇති හෙයින්, දෙවියෙකු නොවෙමි.

යම් කාමාදී, ආශ්‍රව හේතුවෙන් කෙනෙකු ගාන්ධර්වයෙක් වේ නම්, මම ඒ ආශ්‍රව ප්‍රහීණකර ඇති හෙයින් ගාන්ධර්වයෙකු නොවෙමි.

යම් කාමාදී ආශ්‍රවයන් හේතුවෙන් යමෙක් යක්ෂයෙකු වේ ද? මම ඒ ආශ්‍රව ප්‍රහීණකර ඇති හෙයින් යක්ෂයෙකු ද නොවෙමි.

යම් කාමාදී ආශ්‍රව හේතුවෙන් මනුෂ්‍යයෙකු වේ ද? මම ඒ ආශ්‍රව ධර්ම ප්‍රහීණකර ඇති හෙයින් මනුෂ්‍යයෙකු නොවෙමි.”

යනුවෙන් තමන් වහන්සේ බමුණා අදහස් කළ ආකාරයේ කෙනෙකු නොවන බව පැවසූ හ. අනතුරුව බුදුරජාණන් වහන්සේ විසිතුරු උපමාවක් භාවිත කරමින් තමන් වහන්සේ කවරෙක්දැයි ද්‍රෝණ බමුණාට පැහැදිලි කළ සේක.

“බමුණ යම් සේ උපුල් මලක්, නෙළුමක් හෝ සුදු නෙළුමක් ජලයෙහි හටගෙන, ජලයෙහි වැඩී, ජලයෙන් ඉහළට නැගී ජලය හා නොගැටී තිබෙන්නේ යම් සේ ද මම ද, මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතරම වැඩී, මිනිසුන් ඉක්මවා ගොස්, මිනිසුන් හා නොගැටී ජීවත් වෙමි. බමුණ ඒ හෙයින් මම බුද්ධ යැයි දැන ගන්න” යනුවෙන් තමන් වහන්සේ කවරෙක්දැයි ද්‍රෝණ බමුණා ට හඳුන්වා දුන් සේක.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දෝණ සූත්‍රයේ දැක්වෙන ඉහත සංවාදය මගින් බුදුරදුන්ගේ ස්වභාවය කෙසේදැයි හඳුනාගත හැකි ය. බොහෝ දෙනෙකු බුදුරදුන් කවරෙක් ද? යන්න නිවැරැදි ව හඳුනාගෙන නොමැත. එහෙත් මෙම සූත්‍රයේ එන විසිතුරු උපමාවෙන් ද තථාගතයන් වහන්සේගේ ස්වභාවය වටහා ගැනීමට පුළුවන. ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරදුන්ගේ පියවර සටහන් දැක, උන්වහන්සේ විශේෂ කෙනෙකැයි සීතී ය. එහෙත් උන්වහන්සේ හමු වූ අවස්ථාවෙහි ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ලබාදුන් පිළිතුරෙන් උන්වහන්සේගේ ආධ්‍යාත්මික ස්වභාවය කවරේදැයි පැහැදිලි වේ. උන්වහන්සේ දෙවියෙකු, ගාන්ධර්වයෙකු , යක්ෂයෙකු හෝ මනුෂ්‍යයෙකු නොවන්නේ එකී පුද්ගලයන් තුළ පවතින කෙලෙස් ධර්ම සියල්ල ප්‍රහීණකොට ඇති හෙයිනි.

බාහිර වශයෙන් බැලුවිට තථාගතයන් වහන්සේ දෙවියෙකු ,ගාන්ධර්වයෙකු හෝ යක්ෂයෙකු නොවන බව වටහා ගැනීමට පුළුවන. එහෙත් උන්වහන්සේ මනුෂ්‍යයෙකු නොවේ යැයි පැවසීම තරමක් විශ්මය දනවන පිළිතුර කි. කෙනෙකුට එය විශ්වාස කළ නොහැකි කරුණ කි.

බුදුරදුන් බාහිර වශයෙන් මිනිස් ගති ලක්ෂණවලන් යුක්ත ය. එහෙත් උන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් සියලු මිනිසුන් අභිබවා ඇත. එයට හේතුව මිනිසා තුළ පවතින සියලු කෙලෙස් දුර්වලතා බැහැරකොට ඇති හෙයිනි. මෙය තථාගතයන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්දැයි හඳුන්වා දීමට භාවිත කරන විසිතුරු උපමාවෙන් මනාව පැහැදිලි වේ.

විලෙක හටගත් රතුපුල්, නෙළුම් හා සුදු නෙළුම් දිය යට තිබෙන කලල් ඇසුරු කොටගෙන පවතී. එහෙත් එහි හට ගන්නා මල්, දියෙන් මතු පිට ට පැමිණ දිය හා නොගැටී පවතී. එමෙන් ම, මිනිස් සමාජයේ මව් පිය දෙදෙනාට දාව මිනිස් දරුවෙකු ලෙස උපදින බෝසත් වරයෙකු යම් දිනෙක සිය සන්තානගත සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ කොට, ලෝකය අභිබවා ගොස් ලෝකය සමග නොගැටී වැඩ සිටිති. බුදුවරු යනුවෙන් හැඳීන්වෙන්නේ එවැනි නික්ලේෂී උතුමෝ ය. පුහුදුන් ලෝකයා එකි නෙකා සමග ඇලී ගැලී වාසය කරන අතර නිකෙලෙස් මුනිවරයා දිය හා නොගැටෙන පියුමක් මෙන් ආධ්‍යාත්මික සුවය විඳීයි.

ගෞතම බුදුසිරිත අනුව උන්වහන්සේ සුදොවුන් මහා රජුට දාව මහාමායා දේවිය කුසින් මෙලොවට බිහිවූ පින්වත් කුමරෙකි. බෝසතුන් මෙන්ම බුදුරදුන් ද මිනිස් සිරුරකින් යුක්ත මිනිස් චර්යාවන්ගෙන් හෙබි මිනිසෙකි. එහෙත් උන්වහන්සේගේ ආධ්‍යාත්මික ලෝකය සපුරා වෙනස් එක කි. සියලු කෙලෙසුන් මුලිනුපුටා දැමූ උත්තමයෙක් වන බුදුරජාණන් වහන්සේගේ හැසිරීමත්, උන්වහන්සේගේ සර්වඥතා ඤාණයත් විශිෂ්ට එක කි. එය වෙනත් කෙනෙකු හා සම නොවේ. එබැවින් උන්වහන්සේ අසමසම යනුවෙන් හැඳීන්වෙති. අෂ්ඨවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවන බුදුරදුන්ගේ සම්බුද්ධත්ව ඥානය මෙන්ම, උන්වහන්සේගේ කායික, වාචසික චර්යාව අතර කිසිදු විසංවාදයක් නොමැත. බුදුරජාණන් වහන්සේ යථාවාදි තථාකාරී ගුණයෙන් හෙබි උතුමෙකි. නව අරහාදී බුදුගුණ මගින් ප්‍රකට කෙරෙන්නේ බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණ ශරීරයේ විශේෂත්වය යි. බුදුරදුන් හඳුනා ගැනීම යනු එකී නවඅරහාදී බුදුගුණ මැනවින් අවබෝධ කර ගැනීම වේ. එය සිදුවන්නේ ධර්මාවබෝධය තුළින් ය. දහම දුටු තැනැත්තාට බුදුරදුන් සම්මා සම්බුද්ධ බවත,් ධර්මය ස්වාක්ඛාත බවත්, සංඝයා සුපටිපන්න බවත්, අවබෝධ වේ. එම දැක්ම අවේචප්පසාද ශ්‍රද්ධාව යි. එය කිසිවිටෙකත් වෙනසකට භාජනය නොවේ. මෙසේ නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි පිහිටි තැනැත්තා දහම් ඇස පහළ කර ගත් සෝතාපන්න අයෙකු ලෙස හැඳීන් වේ.

එහෙත් බොහෝ දෙනෙකු බුදුරදුන් දෙස බලන්නේ දේවත්වයට ආරෝපණය කර ගැනීමෙනි. දේවත්වය කෙලෙස් සහිත එකක් බව බුදුරජාණන් වහන්සේ ම පැහැදිලි කළ සේක. ලොව සියලු ආගම් අතර තම ආගමික ශාස්තෘවරයා මනුෂ්‍යයෙකු ලෙස පිළිගැනෙන්නේ බුදුසමයේ පමණි. දේවවාදි ආගම්වල ඉගැන්වෙන පරිදි ඔවුන්ගේ ආගමික ශාස්තෘවරයා දෙවියන්ගේ පණිවිඩය මිනිසා වෙත රැගෙන එන නියෝජිතයෙකු පමණි. බුදුරදුන් එවැනි වෙනත් අධිකාරී බලයක නියෝජිතයෙක් නොවේ.

උන්වහන්සේ ස්වකීය ඤාණය මෙහෙයවීමෙන් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ වීතරාගී උතුමාණෝ වෙති. සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ කළ සම්බුදුවරු ලෝකයෙහි ජනිත ව, ලෝකය අභිබවා ගොස්, ලෝකය සමග නොගැටී පිරිසුදු නෙළුමක් සේ බැබළෙති.