Print this Article


මිලින්ද ප්‍රශ්නය 23 : ගිහි පැවිදි ප්‍රතිපදාව

ගිහි පැවිදි ප්‍රතිපදාව

සසරේ කරන ලද ප්‍රාර්ථනාවක් මත මිළිඳු රජු සහ නාගසේන තෙරුන් වහන්සේ මුණ ගැසුණේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන ය. මිළිඳු රජු අසන ඇතැම් ප්‍රශ්නවලට රහතන් වහන්සේගෙන් ලැබෙන්නේ ඉතා කෙටි පිළිතුරු ය. ඉතා කෙටි උපමා ය. එහෙත් සැණෙකින් එය වටහා ගන්නට මිළිඳු රජු සමත් විය. මිළිඳු රජු තෙරුන් වහන්සේගෙන් මෙසේ ද විමසී ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස,භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දාහ.

“මහණෙනි, ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා යහපත් වූ ප්‍රතිපත්තිය මම වර්ණනා කරමි. මහණෙනි, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා යහපත් අයුරින් ප්‍රතිපදාවෙහි යෙදෙන විට, ඒ යහපත් ප්‍රතිපදාව හේතුවෙන් ආර්ය සත්‍යාවබෝධය කරවන කුසල ධර්මයන්ගෙන් සතුටු කරවන්නෙක් වෙයි” යනුවෙනි.

නමුත් ස්වාමීනි නාගසේනයන් වහන්ස, සුදු වත් හඳින්නා වූ, කම්සැප විඳින්නා වූ, අඹු දරුවන්ගේ සම්බාධ සහිත වූ, කසී සළු පරිහරණය කරන්නා වූ, මල් මාලා – සුවඳ විලවුන් දරන්නා වූ , රන් රිදී පිළිගන්නා වූ, මිණි කොඬොල් අබරණින් සැරසූ ඔටුනු හිස බඳින්නා වූ ගිහි තැනැත්තා යහපත් ලෙස ප්‍රතිපදාවෙහි යෙදෙන විට ආර්ය සත්‍යාවබෝධය කරවන කුසල ධර්මයන්ගෙන් සතුටු කරවන්නෙක් වෙයි.

පැවිද්දාත් හිස මුඩු කොට, පඬු පෙවූ වස්ත්‍රයක් පොරොවගෙන, අනුන්ගෙන් ලබන ආහාර පිඬක් වෙනුවෙන් මංමාවත් මැදට පැමිණෙන්නේ, සතර සංවර ශීලයන් යහපත් ලෙස සම්පූර්ණ කරන්නේ, එකසිය පණහක් පමණ වූ ශික්ෂා පදයන් සමාදන් ව හික්මී වසන්නේ, නිරවශේෂ කොට දහතුනක් වූ ධූතාංගයන් සමාදන් ව පවතින්නේ, යහපත් ලෙස ප්‍රතිපදාවෙහි යෙදෙන විට ආර්ය සත්‍යාවබෝධ කරවන කුසල ධර්මයෙන් සතුටු කරවන්නෙක් වෙයි.

ස්වාමිනි,මෙම ආර්ය සත්‍යාවබෝධයෙහිලා ගිහියාගේ හෝ වේවා, පැවිද්දාගේ හෝ වේවා කවර විශේෂත්වයක් ද? ධර්මාවබෝධය උදෙසා තපස් කිරීම ඵල රහිත දෙයක් නොවේ ද? පැවිද්ද යනු අර්ථයක් නැති දෙයක් නොවේ ද? ශික්ෂාපාද ආරක්ෂා කිරීම ඵල නූපදින දෙයකි. ධූතාංග සමාදන් වීම අරුත් සුන් හිස් දෙයකි. පැවිදිව දුක් ගැහැට විඳින්නේ මක් නිසා ද? සැප සේ වාසය කරමින්, සැපසේ ධර්මාවබෝධ කරගත යුතු නොවේ ද?”

“මහරජාණෙනි, ගිහියෙකුගේ වේවා, පැවිද්දෙකුගේ වේවා යහපත් වූ ප්‍රතිපත්තිය මම වර්ණනා කරමි. මහණෙනි, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා යහපත් අයුරින් ප්‍රතිපදාවෙහි යෙදෙන විට, ඒ යහපත් ප්‍රතිපදාව හේතුවෙන් ආර්ය සත්‍යාවබෝධ කරවන කුසල ධර්මයන්ගෙන් සතුටු කරවන්නෙක් වෙයි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහ.

මහරජාණෙනි, මෙසේ ශ්‍රේෂ්ඨ වන්නේ යහපත් ලෙස හැසිරෙන ප්‍රතිපදාව ම ය. මහරජාණෙනි, ‘මම ද පැවිද්දෙක් වෙමි’යි කියා යමෙක් සම්‍යග් ප්‍රතිඵලයන්ගෙන් දුරු වූයේ ම වෙයි. ශ්‍රේෂ්ඨ ඵලයන්ගෙන් දුරු වූයේ ම වෙයි. එසේ ඇති කල්හි සුදු වත් හඳින ගිහියා ගැන කවර කතා ද?

මහරජාණෙනි, ගිහියෙක් වුවත් යහපත් ලෙස ප්‍රතිපදාවෙහි හැසිරෙන්නේ නම්, ආර්ය සත්‍යාවබෝධ කරන කුසල ධර්මයෙන් සතුටු කරන්නෙක් වෙයි. පැවිද්දෙක් වුවත් යහපත් ලෙස ප්‍රතිපදාවෙහි හැසිරෙන්නේ නම්, ආර්ය සත්‍යාවබෝධය කරන කුසල ධර්මයෙන් සතුටු කරන්නෙක් වෙයි.

එනමුදු මහරජාණෙනි, පැවිද්දා ම ශ්‍රමණ ප්‍රතිඵල වූ මාර්ගඵලයන්ගෙන් ඉසුරුමත් වෙයි. අධිපති වෙයි. පැවිද්දෙහි බොහෝ ගුණ ඇත්තේ ය. අනේක ගුණ ඇත්තේ ය. අප්‍රමාණ ගුණ ඇත්තේ ය. පැවිද්දෙහි ගුණ ප්‍රමාණයක් කරන්නට නොහැක්කේ ම ය.

මහරජාණෙනි, අනර්ඝත්වය අරභයා කැමති දේ ලබා දෙන්නා වූ චින්තාමාණික්‍යය යම් සේ ද, මෙම මාණික්‍ය රත්නයේ වටිනාකම මෙපමණකි’යි ධනයෙන් ප්‍රමාණ කොට මිණිය නො හැක්කේ ය. එසෙයින් ම මහරජාණෙනි, පැවිද්දෙහි බොහෝ ගුණ ඇත්තේ ය. අනේක ගුණ ඇත්තේ ය. අප්‍රමාණ ගුණ ඇත්තේ ය. පැවිද්දෙහි ගුණ ප්‍රමාණයක් කරන්නට නො හැක්කේ ම ය.

මහරජාණෙනි, මනා පිළිවෙතෙහි යෙදෙන පැවිදි ජීවිතය තුළ ආර්ය සත්‍යාවබෝධය පිණිස කළයුතු යමක් ඇද්ද, ඒ සියල්ල ඉක්මනින් ම සමෘද්ධිමත් වෙයි. බොහෝ කාලයක් ගත නොවෙයි. එයට හේතුව කුමක් ද? මහරජාණෙනි, පැවිද්දා යනු ඉතා අඩු ආශා ඇති කෙනෙකි. ලද දෙයින් සතුටු වන කෙනෙකි. හුදෙකලාවෙහි ඇලුණු කෙනෙකි. පිරිස හා නො ඇලුණු කෙනෙකි. පටන් ගත් වීරිය ඇති කෙනෙකි. සිව්පසයට ආලය නො කරන කෙනෙකි. ආශා රහිත කෙනෙකි. පිරිපුන් සිල් ඇති කෙනෙකි. සැහැල්ලු පැවතුම් ඇති කෙනෙකි. ධුතාංග ප්‍රතිපත්ති කුසලයෙන් යුක්ත වූ කෙනෙකි. ඒ හේතුව නිසාවෙන් මනා පිළිවෙතෙහි යෙදෙන පැවිදි ජීවිතය තුළ ආර්ය සත්‍යාවබෝධය පිණිස කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ල ඉක්මනින්ම සමෘද්ධිමත් වෙයි. බොහෝ කාලයක් ගත නොවෙයි.

මහරජාණෙනි, යම් සේ ගැට රහිත වූ , සම ලෙස වට ප්‍රමාණ ඇත්තා වූ, මනා සේ පිරිසුදු කරන ලද, ඍජු වූ, මළ බැඳීම් රහිත වූ, යකඩින් කරන ලද අලවංගුව සිය කටයුතු උදෙසා මැනැවින් භාවිත කළ හැක්කේ වෙයි ද, එසෙයින් ම මනා පිළිවෙතෙහි යෙදෙන පැවිදි ජීවිතය තුළ ආර්ය සත්‍යාවබෝධය පිණිස කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ල ඉක්මනින්ම සමෘද්ධිමත් වෙයි. බොහෝ කාලයක් ගත නොවෙයි”.

ඉතා යහපති ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ අයුරින් ම මම මේ කරුණ පිළිගනිමි” මිළිඳු රජු පැවසූහ.