දඹේගොඩ අවලෝකිතේශ්වර
බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා
Msc
පර්යේෂණ
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ඔක්කම්පිටියට නුදුරුව
පිහිටි මාළිගාවිල සහ මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය පිහිටි දඹේගොඩ පුරාණ කාලයේ
දී එකම පුදබිමක් ලෙසින් පැවතුණි.
කොළඹ සිට කිලෝමීටර් 250 පමණ දුරින් පිහිටි මෙම පුදබිම ඉතා අලංකාර ලෙස දුරට පෙනේ.
වැල්ලවාය මොණරාගල මාර්ගයේ ගොස් කුඹුක්කනේ හන්දියෙන් දකුණට හැරී ඔක්කම්පිටියට යන විට
මාළිගාවිල පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ හමු වේ. එතැන් සිට කිලෝමීටරයක් පමණ දුරින්
දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ පිහිටි පුදබිම ඇත. එහි කුඩා
කඳුගැටයක් මත මෙම බෝධිසත්ව ප්‍රතිමාව නැවත සංරක්ෂණය කර පිහිටුවන ලද්දේ 1990 දී
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුලිකත්වයෙනි. මෙම බෝධිසත්ව ප්‍රතිමාව කැඩී කැබලි වී
තිබුණි. ඒවා එකිනෙක සංරක්ෂණය කර මෙම පිළිමය යළි නිර්මාණය කළේ අප රටේ සිංහල ශිල්පීන්
විසිනි.බෝසත් පිළිමය කැබලි සිය ගණනකට කැඩී තිබුණි. නමුදු හාස්කමකට මෙන් එම බෝධිසත්ව
පිළිමයේ හිස සහ මුහුණ ආරක්ෂාවී තිබුණි. වෙනත් ස්ථානයකින් ගල්කුට්ටියක් ලෙසින් මෙම
පුදබිමට රැගෙනවිත් මෙහිදී නෙළන ලද පිළිමයක් ලෙස සමහරු සලකති. මෙම අවලෝකිතේශ්වර
බෝධිසත්ව පිළිමයේ උස මීටර් 10 කි. පිළිමයේ සිරස පමණක් මීටර් 2.1 උස ය. පිළිමයේ මුළු
බර ටොන් 40 කි. මෙම පිළිමය ලංකාවේ දැනට හමුවී ඇති පුරාණ ලංකාවේ විශාලතම
අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය සේ සැලකේ.
(පැරණි හෙළ කාල විස්කම්, සිරිසමන් විජේතුංග පි. 99 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ – 2017)
මෙම පිළිමය ක්‍රිෂ්ටලයින් පාෂාණ වර්ගයට අයත්වන තනි ගලෙන් නිමවා ඇත. කිසිදාක බාහිර
ආධාරකයක් නොමැති ව මෙම බෝධිසත්ව පිළිමය මෙහි පැරැණි යුගයේ දී පිහිටුවා තිබුණි.
දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය නමින් ලොව ප්‍රකට මෙම ප්‍රතිමාව රාජකීය
භාවයත්, පෞඪත්වයත්, පූජනීයත්වයත් පෙන්නුම් කරන අපේ පුරාණ සිංහල මූර්ති ශිල්පීන්ගේ
නිර්මාණ කෞශල්‍යය පිළිබිඹු කරන කැඩපතක් බඳු ය.
(දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය – සිරිසමන් විජේතුංග – පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කළ පත්‍රිකාව – 1999) පත්‍රිකා අංක 18)
මෙම බෝධිසත්ව පිළිමයේ ශීර්ෂය ඉතා අලංකාර ලෙසින් නිර්මාණය කර ඇති අතර, විශේෂ
ලක්ෂණයක් මෙහිදී සඳහන් කළ යුතු ය. එනම් ජටා මකුටයෙහි (හිසෙහි පැළඳී ශීර්ෂාභරණයෙහි)
ඉතා කුඩා සමාධි බුදු පිළිමය යි. මෙම සමාධි බුදු පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම
හඳුනා ගැනීමට ඇති එක ලක්ෂණයක් ලෙසින් සැලකේ. එසේ නැති බෝධිසත්ව පිළිම ද ඇත. මෙම
සමාධි පිළිමයෙන් අමිතාභය බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරේ. දඹේගොඩ අවලෝකිතේශ්වර
බෝධිසත්ව පිළිමය ඇතුළු අනෙකුත් බෝධිසත්ව පිළිමවල ලක්ෂණයක් නම් ඉතා විසිතුරු ආභරණ
පැළඳ තිබීම යි. උඩුකය නිරාවරණය හෙවත් ඇඳුමක් නැතත්, ආභරණවලින් සරසා ඇති අන්දමට නෙළා
ඇත. ගෙලෙහි මාල දරා දෑතෙහි වළලු ද කන්දෙකේ (මකර කුණ්ඩල) ආභරණ ද බඳපටියක් (උදර
බන්ධනය) ද දක්නට හැකි ය. යටිකය අලංකාර ඇඳුමකින් සැරසී සිටින ලෙස නෙළා තිබීම මෙම
ප්‍රතිමා ශිල්පියාගේ නිර්මාණාත්මක භාවය පෙන්නුම් කරන්නකි. සමභංග ඉරියව්වෙන් නෙළා
ඇති මෙම බෝධිසත්ව පිළිමය බුදු පිළිම නෙළා ඇති ආකාරයට ම පද්ම පීඨයක් මත (නෙලුම් මලක්
මත) වැඩසිටින ලෙසින් නෙළා (නිර්මාණය) කර තිබේ. මෙම බෝධිසත්ව පිළිමයේ දක්නට ලැබෙන
තවත් ලක්ෂණයක් නම් උපවීතය යි. එය ද බොහෝ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමවල දැකිය හැකි
ලක්ෂණයකි.
( පැරණි හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 100)
මෙම බෝධිසත්ව පිළිමය සංරක්ෂණය දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව පිළිබඳ
විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් 1990 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවත්, ජර්මනියේ හා ප්‍රංශයේ මේ පිළිබඳ විශේෂඥ උපදෙස් ද මත අපේ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරින්, මේසන්වරුන් හා තාක්ෂණික
නිලධාරීන්ගේ ද බලවත් පරිශ්‍රමය හා ඇප කැපවීම නිසා දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව
පිළිමය මෙසේ යළි යථා තත්ත්වයට සංරක්ෂණය කිරීමට හැකි වූ බව ය. මෙම අවලෝකිතේශ්වර
බෝධිසත්ව පිළිමයට සමාන ලෝකඩ පිළිම ද, ශිලාමය පිළිම ද තිරියා (ත්‍රිකුණාමලයේ)
සිතුල්පව්ව, මිහින්තලේ, තිස්සමහාරාමය, අනුරාධපුර, වෙහෙරගල , මාතර,
කුෂ්්ටරාජගල,තිස්සමහාරාමයේ යටාලය, වැල්ලවායේ බුදුරුවගල ආදී ස්ථානවල දැකිය හැකි ය.
එහෙත් මේසා විශාල ,සම්පූර්ණ ලෙසින් වටේම නෙළන ලද අවලෝකිතේශ්වර බෝධි සත්ව පිළිමය
වන්නේ මේ පිළිමය යි. දඹේගොඩ පිහිටි මෙම බෝධිසත්ව පිළිමය තිබූ පුදබිමට 1934 දී
සෙනරත් පරණවිතාන මහතා පැමිණ පරික්ෂා කර ඇත. ඉන් පසුව මහවනයෙන් වැසී තිබුණූ මෙම
පුදබිම 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙළි පෙහෙළි කරන අවස්ථාවේ දී මෙම
පිළිමය විනාශවී බිම වැටී තිබි ඇති බව පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වේ.
මහායාන බුදුසමයට අයත්වන මෙම අවලෝකිතේශ්වර පිළිම වන්දනය ක්‍රි.ව. 7-8 සියවස්වල
ලංකාවේ බෙහෙවින් පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෙසින් ඉහතින් සඳහන් කළ පුදබිම්
වලින් පැහැදිලි වේ. සැදැහැවතුන් ආරක්ෂා කිරීමේ ශක්තියක් මෙම බෝධිසත්වයන්ට ඇති බව
විශ්වාස කෙරේ. දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය පුරාණ රෝහල් සංකීර්ණයක් අසල
පිහිටි බව ගොඩනැගිලි නටබුන් වලින් හෙළි වී ඇත. රුහුණේ අග්බෝ කුමරු කානගාමයේ අන්ධ
ගිලනුන්ට ශාලා කරවූ බව මහාවංසයෙහි සඳහන් වේ. මෙම පුදබිමෙහි තිබී හතරවැනි මිහිඳු
(ක්‍රි.ව. 956- 972) රජුට අයත් ටැම්ලිපියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
සොයාගෙන ඇත. මෙහි ආගමික ආයතන පාලනය පිළිබඳ පැනවූ නීතිරීති ඇතුළත් කර ඇත. ක්‍රි.ව.
දසවන සියවස කාලයේ දී දඹේගොඩ විහාරය ඉසුරුමත් පුදබිමක් ලෙසින් පැවති බව ඒ අනුව
පැහැදිලි ය. අනුරාධපුරයේ මහා විහාරයට අයත් පුදබිමක් ලෙසින් එහි සඳහන් වේ. එම
ටැම්ලිපියේ මෙම බෝධිසත්ව පිළිමය ගැන කිසිදු සඳහනක් නැත. |