Print this Article


ගුණගරුක සමාජයක් බිහි කරමු

ගුණගරුක සමාජයක් බිහි කරමු

ඓතිහාසික වශයෙන් ගත් කල්හි බෞද්ධයින්ට ඇති වැදගත්ම පොහොයක් ලෙස දුරුතු පොහොය හැඳීන්වීමට පුළුවන. එයට හේතුව වන්නේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩම කිරීමයි.

උන්වහන්සේ මේ ලංකා ධරණිතලයට වැඩමවා වදාරන්නට කලින් මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා ද වැඩම කර ඇති බව සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයෙහි දුරුතු මැදි පොහෝ දිනයක දී ය. උන්වහන්සේ අප රටට වැඩමවා වදාළේ උරුවෙල් දනව්වෙහි තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ජටිලයන් දමනය කොට, ඒ කටයුත්ත ද අවසන්කොට ය. ලොව්තුරා බුදු බවට පත්වීමෙන් නව වැනි මාසයෙහි උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතය ලබාගෙන, අනෝතත්ත විල්තෙර දී පිණ්ඩපාත වළඳා දුරුතු පෝය දා එවකට යකුන් අරක්ගෙන සිටි මේ ලක්බිමට වැඩම කර වදාළහ. මහියංගණ මහවැලි ගංතෙර යොදුන් තුනක් දිග මහානාග වනෝද්‍යානයට උන්වහන්සේ වැඩම කළහ. ඒ වේලාවෙහි යක්ෂ සමාගමක් රැස්ව සිටි බව සඳහන් වේ. ඒ පිරිස මැද අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ අව්-වැසි-සුළං හා කුණාටුවලට යකුන් බය ගන්වා ඔවුන් ගිරි දිවයිනට පලවා හැරිය බව මහා වංසයට අනුව කරුණු අනාවරණය වේ.

දුරුතු මාසය පිළිබඳ සිතීමේ දී ගතට තද සීතලක් දනවන, එමෙන් ම තද සුළං හැමීමක් සිදුවන මාසයක් ලෙස ඉතා ප්‍රකට ය. පුන්සඳේ කිරණින් මිහිමත නෑවෙන ලාංකික ජනතාවට ප්‍රබෝධයක් එළවන, ගත සිත පිනවන මාසයක් ලෙස දුරුතු සමය හැඳීන්වීමට පුළුවන. දැනට මහියංගන චෛත්‍යය පිහිටා ඇත්තේ එම යක්ෂයන් දමනය කළ ස්ථානයෙහි බව අපේ වංශ කතා තුළින් පැහැදිලි වේ. මහියංගන සෑය පිහිටියේ මිනිපේ ජනපදයෙහි මහානාග වනෝද්‍යානයෙහි ය.

ලොව්තුරා බුද්ධත්වයට පත්වීමෙන් නව වැනි මාසයෙහි උන්වහන්සේට වැටහී ගියා මාගේ ශාසනය පන්දහසක් කල් ලක්දිව චිරස්ථායී ව බබළන බව. ලාංකික ජනතාව කෙරෙහි මහා කරුණාවෙන් හා මානව දයාවෙන් හද පිරීගිය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දුරුතු පෝය දා මෙරටට වැඩම වීමට තීරණය කළා. දීනි මහා පරිනිබ්බාන සූත්‍රයේ එන ලෙස පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩහුන් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට පැමිණියවුන් අතර බ්‍රහ්මයයෝ ද, දෙවියෝ ද සිටියහ. දෙවියන් අතර ශක්‍ර දේවේන්ද්‍රයා ද සිටියහ. ඔවුහු අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත.

“පතිට්ඨිස්සති දේවින්ද
ලංකායං මම සාසනං
තස්මා සපරිවාරන්තං
රක්ඛ ලංකංව සාධුකං”

“දේවෙන්ද්‍රය, මාගේ ශාසනය ලංකාවෙහි පිහිටා ස්ථිර වෙනවා. එහෙයින් විජය රජතුමා ඇතුළු සත්සියයක් පිරිවර මනාව රකුව. ලංකාභූමිය ද ආරක්ෂා කරගනුව”යි යනුවෙන් වදාළ පරිද්දෙන් ශක්‍ර දේවේන්ද්‍රයා පිරිත් පැන් දී, පිරිත් නූල් බැඳ, යකුන්ගෙන් වන උවදුරු වළක්වා යන්නට ගිය බවත් සඳහන් වේ.

මෙහි “සපරිවාරන්තං” කියා ඇත්තේ විජය ඇතුළු සත් සියයක් පිරිවර සඳහා ය. මේ බව දැන සිටි බුදුරජාණන් වහන්සේ තුන් වරක් අප රටට වැඩම කළහ. ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ මේ යකුන් දමනය කිරීම සඳහා ය. එම යක්ෂයින් ආදී කාලීන මෙරට විසූ ගෝත්‍රික නාමයෙන් පෙනී සිටි මනුෂ්‍ය කොට්ඨාසයකි. නොදියුණු ගති පැවතුම් තිබුණු බැවින් මිලේච්ච විධියට ක්‍රියා කළ මනුෂ්‍යය කොට්ඨාශයකි. රළු ගති වලින් යුතු, කළු පැහැයෙන් ඉසිලූ, දරුණු පෙනුමක් ඇති ව සිටි මොවුන් දමනය කිරීම උදෙසා බුදුරදුන්ට විවිධ ධ්‍යාන බල යොදා ගන්නට සිදුවිය. ඔවුන් ඈත කඳුකර ප්‍රදේශවලට ගෙනදමා ගොස් අප රට මනුෂ්‍ය වාසයට සුදුසු ක්‍ෂේම භූමියක් බවට පත් කළ බව මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාව, මහාවංස, දීපවංස, විනයට්ඨ කථා ආදී ඉපැරණි මූලාශ්‍ර ඇතුළු වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවල ද සඳහන් වී ඇත.

යකුන් පළවාහළ ඒ ශූද්ධ භූමිය වෙත ඇදී ආ දිව්‍ය, බ්‍රහ්ම සේනාව අතර සමන්තකූඨ වාසී සුමන සමන් දෙවිඳු ද විය. මොහු ඉතිහාසඥයන් පළකරන මතය අනුව, කඳුකර වැසි දේවගෝත්‍රිකයෙකි. එතැනට පැමිණි දිව්‍ය බ්‍රහ්ම සේනාවට දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ ඔවුන් තිසරණයෙහි පිහිටුවන ලදී. දහම් අසා සෝවාන් වූවන් අතර සුමන දෙවිඳු ද කෙනෙකු විය. එම අවස්ථාවේ දී පූජාර්භ වස්තුවක් ලබා ගැනීමේ අදහසක් ඔහුට ඇතිවිය. මාර්ග ඵලාධිගමනය කළ එම උතුම් සභාවෙහි දී ඔහුගේ අදහස බුදු රජාණන් වහන්සේට දැනුම් දී පූජා වස්තුවක් ද ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේෂ ධාතු මිටක් දෙවිඳුට ලබා දුන්හ. ඒ උත්තම වස්තුව රන් කරඬුවකින් පිළිගත් සුමන සමන් දෙවිඳු බුදුරදුන් වැඩසිටි ස්ථානයෙහි සත් රියන් උස දාගැබක් බැඳ එහි එම පූජා වස්තුව නිදන් කොට වන්දනාමාන කළේ ය. මහියංගන ස්ථූපයෙහි නිදන් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයෙන් ලද උතුම් සර්වඥ ධාතුයි.

දුරුතු පොහොය උදාවෙනවාත් සමගම අපේ සිතට නැගෙන්නේ මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේයි. මානව දයාවෙන් කම්පිත ව අප කෙරෙහි කරුණා පෙරදැරි ව බුදු රදුන් වැඩම කළ නිසා ලංකාවාසී බෞද්ධයින්ට වැද පුදා පින් රැස් කර ගත හැකි ක්‍රියාවලියක් සිදු වී තිබීම අප ලද භාග්‍යයකි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව හා මෛත්‍රියේ, ශ්‍රියාව පිළිබිඹු කරන මියුගුණ සෑය දෙසින් හමා එන සදහම් පිණිවිඩයෙන් ලක්වැසියන්ගේ හදවතට දැනෙන ශ්‍රද්ධා ලම්භන ප්‍රීතිය වචන වලට හසු කිරීමට බැරි තරම් ය. ඒ ප්‍රථම බෞද්ධ ප්‍රවෘත්තිය අදට ද ජනීජනයන්ගේ සිත්වලට දැනෙනු ඇත. එමගින් සිත් තුළට අමුතු ම බෞද්ධාලෝකයක් දැනේ. සම්බුදු සිරුර දැවෙන සඳුන් දර සෑයෙන් දම් මහ සෙනෙවි ශාරිපුත්‍ර මහ රහතුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභූ රහතන් වහන්සේ බුද්ධ ශ්‍රීවාස්ථී ධාතුව (දික්කළ අත හකුළුවන්නට මත්තෙන්) ගෙන අප රටට වැඩම කළහ. ශි‍්‍රවා ධාතුව මියුගුණ සෑයෙහි (මහියංගන ස්ථූපයෙහි) නිදන් කර මේදෝවර්ණ පාෂාණයෙන් දොළොස් රියන් උසට දාගැබක් බැන්ද වූ හ. දෙවන පෑතිස් මහරජුගේ සොහොයුරෙකු වන “උද්ධ චූලාභය” රජු එය තිස්රියන් උසැති දාගැබක් බවට පත් කළහ. ශ්‍රද්ධාවන්ත ජනතාවගේ මනසත්, බුද්ධියත් බුදු සමයේ සාරධර්මවලින් ප්‍රබුද්ධ කරවන මහියංගන ස්ථූපය මෙරට ජනතාවගේ පූජනීයත්වයට ලක් වී ඇති බෞද්ධ ස්ථූප අතුරෙහි ප්‍රථම ස්ථූප මූර්තිය ලෙස ද සැලකීමට පුළුවන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් ස්පර්ශ වූ මේ උතුම් දරණිතලය තුළ එවැනි උතුම් ඓතිහාසික සිදුවීම් ද සිහියට ගෙන සදාචාරවත්, ගුණගරුක සමාජයක් බිහිකරන්නට අප සැමකෙනෙකු ම ඇප කැප වීමට අධිෂ්ඨාන කරගනිමු.