Print this Article


කම්මස්සකා මානව සත්තා

කම්මස්සකා මානව සත්තා

අතීත සසර පුරාවට යම් සතර අපා දුකක් විඳීන ලද්දේ නම්, ප්‍රඥාව නොමැති වීම හා මෝහයෙන් යුක්තවීම ඊට හේතු වූ අතර අතීතයේ යම් සැපයක් ලබන ලද්දේ වී නම්, අනාගතයේ යම් ලෞකික ලෝකෝත්තර සැපයක් විඳීනු ලැබේ නම් ප්‍රඥා සහගත ලෙස ජීවිතයේ හැසිරවීම ඊට මූලික හේතුව වේ.

මේ අයුරින් සුභ තරුණයාට තථාගතයන් වහන්සේ වදාරණ ලද්දේ හේතුඵල ධර්ම න්‍යාය හෙවත් කර්මය හා ඵලය යි. සත්වයන්ගේ ඒ ඒ වර්ග ප්‍රභේදයන් ප්‍රකට වන්නේ ද එකම වර්ගයක් තුළ නමුත් රූපාදියෙන් වෙනස් වීමට ද කර්මයේ ඇති සම්බන්ධය අවියෝජනීය වූවකි. එහෙත් ඒ ගැන නොදන්නෝ ඇස් ඇත්තේ නමුත් , සදාතනික අන්ධයන් බඳු ය. සෙසු නියාම ධර්මයන් ක්‍රියාත්මක වන්නේ ද කර්ම නියාමයට යටත්ව බව අවධාරණය කළ යුතු ය. කායික වූ ද, මානසික වූ ද හැසිරීම් සමුදාය සහ ඊට ලැබෙන විපාක විශේෂ මනාව දත් බුදුරජාණෝ තරම් මිනිස් මනස විශ්ලේෂණය කර දුන් අන් කෙනෙක් ලොව නොමැත්තා හ. ඇතොත් අන් බුදුවරයෙකු ම පමණි. එහෙත් පෙර පසු නොවී ලොව්තුරු බුදුවරු දෙනමක් පහළ නොවන අතර, මේ යුගය ගෞතම බුදුරජුන්ගේ බුදු සසුන පවතින කාලය යි. හෙට දින පසු නොතැවීමට නම් ලද මේ උතුම් බුදු සසුන තුළ ප්‍රඥා ධනය හැකිතාක් රැස් කරගැනීමට වෙහෙසිය යුතු ය.

සම්මුතියෙන් වැසී ගිය පරමාර්ථ ලෝකය දකින තුරු පුද්ගලයෙකුට මායා මෝහනීය මනෝභාවයන්ගෙන් නිදහස් විය නොහැකි ය. එවන් මානසික පසුබිමකින් පසුවන තාක් සැබෑ නිදහසක්, විමුක්තියක් බලාපොරොත්තු නොවිය යුතු ය. කළ කී දෑ නැවත නැවත සිතින් ම අවුස්සාගෙන පසුතැවෙනවාට වඩා මේ මොහොතේ පටන් තම කාය, වාග්, මනෝ කර්ම පිළිබඳ සිහි නුවණ උපදවා ගැනීම ඉතා වැදගත් වේ. කර්ම රැස් වන තරමට ම විපාක ද රැස්වන බව තරයේ ම සිතට ගත් විට අකුසල කර්මයන්ට සිත බැසගැනීම අවම කර ගත හැකි ය. යෝනිසෝ මනසිකාරයට නතු කර නොගත් ජීවිතය රුවල් බිඳී ගිය නෞකාවක් බඳු ය. එබඳු අයෙකුට යහපත් ලෙස වැටහෙන සියල්ල ම පාහේ බලවත් අකුසල කර්මයන් විය හැකි ය.

උපතින් ලොව කිසිම මිනිසෙකු පාපියෙකු හෝ සුදනෙකු නොවන අතර, යහමග යන චින්තනයක් පුරුදු කිරීමට නම් බුදුරදුන් වදාළ සද්ධර්මය මුණගැසිය යුතු ය. එහෙත් ඒ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුරු පූර්වාගම වන හෙයින් එවන් මිතුරන් හඳුනා ගත යුතු ය. ප්‍රිය වදන් ඇති, ගරුභාවනීය, අවවාද ලබාදෙන අනුශාසනාවෙන් අනුග්‍රහ කරන, නපුරු වචන ඉවසන, නුසුදුසු දෙයෙහි නොයොදවාලන පුද්ගලයා කල්‍යාණ මිත්‍රයෙක් වේ.

එදා මෙදා තුර ලොව පහළ වූ පරම පවිත්‍ර කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වන්නේ දශබලධාරී බුදුරජාණෝ ය. මුලාවෙන් වැසී, යාතිකාවෙන් සැනසී, ගීතිකාවෙන් තුටුවන අසරණයන්ට කර්මය හා ඵලය දක්නා ඥානය උදාකර දෙන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරම සත්‍යය චතුරාර්ය සත්‍ය ධර්මය යි. කර්මයන් මුළුමනින් ම ක්ෂය කළ බුදුරජාණෝ “මානවකය, සත්වයන් කර්මය උරුමය දායාදය කොට ඇත්තන් ය” කියා වදාළේ අඳුරු කිලුටු සාංසාරික ජීවිත ආලෝකවත් පිරිසුදු බවට පත්කොට පෙර නොඇසූ විරූ විරාගී විමුක්තියක් වෙත යා කිරීම සඳහා ය.

මෙම ලිපියෙහි පළමු කොටස දුරුතු පුර පසළොස්වක (ජනවාරි 10) පත්‍රයෙහි පළවිය.