Print this Article


සැපවත් ජීවිතයකට බෞද්ධ මඟ පෙන්වීම

සැපවත් ජීවිතයකට බෞද්ධ මඟ පෙන්වීම

සිඟාලෝවාද, මංගල, පරාභව ආදී සූත්‍රාන්ත ධර්ම තුළින් ද ගෘහස්ථ ශ්‍රාවකයාට උපදෙස් දී ඇත්තේ සැපවත් ජීවිතයක් මෙලොව වශයෙන් ම ගත කිරීම පිණිස ය. අනේකවිධ දුසිරිත් හා ඇතැම් දුබලතාවයන් ද තුළින් ස්වකීය ආර්ථික ජීවිතයේ ප්‍රගතිය අඩාල කර නොගත යුතු ය.

නුසුදුසු සමාජ ආශ්‍රයෙන් වැළකී ඵලදායක ලෙස සමාජය ඇසුරු කළ යුතු යැයි බුදුසමය පෙන්වා දෙයි. ඒ සියලු සදූපදේශයන් ද ගිහියාට මෙලොව පරලොව දුක් දොම්නස් වළක්වා ගැන්මට ය. සතුට සැපත උදාකර ගැනීමට ය. පුද්ගලයාගේ පරාභවය ඇති කරමින් ඔහු දුකට පත් කරන කරුණු කවරේ ද? සමාජ , ආර්ථික වශයෙන් මෙන්ම, සෞඛ්‍යයෙන් ද ඔහුගේ පිරිහීම උදාකරන්නේ කවර චර්යාවන්ද? ඔහුගේ දෙලොව ප්‍රගතිය පිණිස වන කරුණු කවරේද? කවර චර්යාවන් සුවසෙත ඇති කරන්නේ දැයි, සැපත උදාකරන්නේ දැ යි බුදු දහම පැහැදිලි කර දෙයි. ආධ්‍යාත්මික වශයෙන් කාමාදී කෙලෙස්වලින් දූෂිත වූවහුට එබඳු සිත් සතන් හේතුවෙන් දුරාචාරවලට යොමු වූවහුට විඳීමට සිදුවන අනේකවිධ දුක් පීඩාවන් බුදු සමය පැහැදිලි කරයි. විටෙක මෙලොව වශයෙන් ද, විටෙක පරලොව වශයෙන් ද මහ දුක් කඳකට හෙතෙම ගොදුරු වෙයි. එබැවින් එකී දුක් පීඩා වළක්වා ගනිමින් සැපවත් ව ජීවත් වීම පිණිස මානසික දියුණුවත්, එය පාදක කොටගත් සදාචාරයත් උපකාරි වන්නේ ය.

බුදුන් වදාළ විමුක්ති මාර්ගය මිථ්‍යා චර්යාවන්ගෙන් බැහැර ව සම්‍යග් චර්යාවන් පුහුණු කිරීම ඔස්සේ දිව යන්නකි. එය ආර්ය මාර්ගය නොවේ නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි. ඒ වූකලී මැඳුම් පිළිවෙතකි. සමකාලීන සාමයික චින්තාවන් ඇසුරු කොට ගෙන උපන් ප්‍රතිපදාමය උභයාන්තයට ම අනුගත නොවූ සදාචාර පිළිවෙතකි. එයින් නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවරවේ ය යන අශාස්වත චින්තාව ඇසුරු කොට ගෙන උපන් කාම සුඛල්ලිකානුයෝගය සදාචාරය පිටුදකින්නක් විය. දිවි ඇතිතාක් මෙලොව කම්සුව විඳීම එක් අන්තයෙකි. උපරිම වශයෙන් ඉඳුරන් පිනවීම, අසීමාන්තික ව පස්කම් සැප විඳීම එයින් ඉගැන්විණ. එහිලා මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, පින් පව් නැත, එහි අනුරූප ව විපාක ද නැතැයි සලකා ගැනුණි. මෙසේ පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිකර වූ ද සදාචාරය , සංස්කෘතිය පිටුදකින්නා වූ ද ක්‍රියාවලියක් උදෙසා අනුබල ලැබිණ. බලවත් ආගම් විරෝධයක් සමඟ සුබ පරමවාදී උමතුවක හැඩතලය එයින් ප්‍රකට වූයේ ය. දෙවැනි අන්තය වූයේ අත්තකිලමථානු යෝගයයි. උපරිම වශයෙන් කයට දුක් දීම, පස්කම් සුවය, ඉඳුරන් පිනවීම ඍජුවම පිටු දැකීම එමඟින් අර්ථවත් විය. නිත්‍ය වූ සදාකාලික වූ, ආත්මයක් ඇත යන ශාස්වත චින්තාව එහි පදනම වූයේ ය. පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයට හානිදායක ලෙස ඔහු සීමාන්තික ආත්මාර්ථකාමියකු කරමින්, ඇතැයි පිළිගත් ආත්මයට කටුක දුක් පීඩා දෙමින් විවිධ ව්‍රත එහිලා අනුගමනය කරන ලදී. (අත්ත +කිලමථ +අනුයෝග) ආත්ම විමුක්තියක් අරමුණු කොටගත් මෙලොව වශයෙන් සැපත පිළිකෙව් කළ කුසල ධර්ම සංවර්ධනයක් හෝ උසස් ඥානාධිගමයක් ද ඇති නොකළ ආගම් උමතුවක හැඩතලය එයින් ප්‍රකට විය. එය ද සදාචාර සංවර්ධනයට අනුබලයක් නොදුන් බව පැහැදිලි වෙයි. කාම සුඛල්ලිකානුයෝගය ලෞකික නම් සැපතෙහි ගිජුවන සමාජයකට මග පෙන්වූ අතර, අත්ත කිලමථානුයෝගය එයට ප්‍රතිපක්ෂ වූ පරාජිත සමාජයකට මග පෙන්වී ය. බුදු සමයෙහි සදාචාර මාර්ගය හෙළි පෙහෙළි වන්නේ මෙකී උභයාන්තයෙන් එකකට හෝ අනුගත නොවන මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙනි. එම උභයාන්තය ම බුදුරදුන්ගේ විචාරයට ලක්විය.

මේ අනුව හීන වූ , ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් හා බැඳුණු අනාර්ය වූ ‘අවැඩදායක වූ කාම සුඛල්ලිකානු යෝගයට මෙන්ම, පීඩාජනක වූ , අනාර්ය වූ , අවැඩදායක වූ අත්ත කිලමථානුයෝගයට ද අනුගත නොවන මැදුම් පිළිවෙත අර්ථවත් වන සැපය බෞද්ධ චින්තනයට අභිමත වන්නේ ය. එහිලා ලෞකික වූ පස්කම් සැපයට ගිජුවීම මෙන් ම, එකී සැපයට එරෙහිවීම ද දක්නා නොලැබෙයි. සදාචාරය විරෝධී බවින් මෙන්ම වරදවාගත් සදාචාර උමතුවකින් ද තොරව සැප විඳීමට බෞද්ධයෙකුට අවස්ථාව තිබේ.

උපරිම වශයෙන් සැප විඳීමෙන් උතුම් වූ සැපය ලැබගත හැකිය යන සමකාලීන මතවාදය මෙන්ම උපරිම වශයෙන් දුක් විඳීමෙන් උතුම් වූ සැපය ලබාගත හැකිය. යන මතවාදය ද බුදුසමයට අභිමත නොවේ. මැදුම් පිළිවෙත අවබෝධ කළ බුද්ධාදී උතුමෝ වෛර සහිත වූ මිනිස් සමාජයෙහි වෛර රහිතව ද, කෙලෙස්වලින් ආතුර වූවන් අතර අනාතුරු ව ද, කම් සැපය ම සොයන්නන් අතර නිෂ්කාමීව ද සුවසේ වසති.

මෙම ලිපියෙහි පළමු කොටස දුරුතු පුර පසළොස්වක (ජනවාරි 10) පත්‍රයෙහි පළවිය.