Print this Article


තවුස් වෙස්ගත් පවිටු බමුණා

තවුස් වෙස්ගත් පවිටු බමුණා

මෙම ලිපියෙහි පළමු කොටස දුරුතු පුර පසළොස්වක (ජනවාරි 10) පත්‍රයෙහි පළවිය.

මා විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ඉල්ලීම් තොප විසින් සපයා දිය යුතුම යි. එසේ නො කරන්නේ නම්, මම තොප කෙරෙහි කිසිදු අනුකම්පාවක් නො දක්වමි.

මේ විශාලා මහනුවර සියලුම ජනී ජනයාත් විනාශ කර දමමි. තොප මොහොතක් හෝ ප්‍රමාද නො වී මාගේ ඉල්ලීම ඉටු කළ යුතු යි. සාති බමුණා බියෙන් සිටි සියලු ම මිනිසුන්ට කියන්නට පටන් ගත්තා.මොනවා ද සාති බමුණාගේ ඉල්ලීම්. කහවණු ලක්ෂයක්. කිරි එළදෙනුන් සියයක්, තරුණ රූපත් කන්‍යාවන්, පූජාවක් වශයෙන් තමන්ට පිදිය යුතුයි කියලා බමුණා නියෝග කළා. ජීවත්වීමට ආශාවක් තිබේනම් මේ ඉල්ලීම් වහාම ඉටුකරන ලෙසත් පැවසුවා. බමුණාගේ මේ උත්සාහය කුමටද දන්නවා ද ? වෙහෙස මහන්සි නො වී, සුඛෝපභෝගී ව ජීවත් වීමට, හොඳ ආහාරපාන ගැනීමටයි බමුණා මේ ලෙස උපායක් යෙදුවේ.

බමුණාගේ මේ විලාපය ඇසූ නගරවාසීන් බොහෝ බියපත් වුණා. ජීවත්වනු කැමැත්තෙන් ඔහුගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔවුනොවුන් කතිකා කර ගත්තා. එසේ කිරීමෙන් මේ මහා ශාපයෙන් මිදිය හැකි බවත් කල්පනා කළා.

ප්‍රයෝගකාරි ලෙස ඉල්ලීම් දිනාගත් බමුණා නුවරුන් විසින් පවරා දෙන ලද සියලු දේ සතුටින් බාරගෙන තම නිවෙසට යමින් සිටියා. මේ පුවත ඇසූ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම සැළකළා. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ,

“මේ බමුණා මීට පෙරත් මෙවැනි ම කූඨ උපායන්හි යෙදී දිවි පෙවෙත සරි කරගත්තා. පරණ පුරුද්දටමයි මෙවැනි දේ කරන්නේ “ කියලා පැහැදිලි කළා. බමුණාගේ අතීත කතාව දේශනා කළා.

යටගිය දවස කසී රට එක්තරා ගම්මානයක තවුසෙක් වාසය කළා. අතිශයින් ම කුහක පුද්ගලයෙක් වූ මේ තවුසාගේ ගති පැවතුම් නො දත් එ ගම් වැසියෝ ඔහුට මහත් හරසරින් සැලකුවා. ඉතින් තවුසා ගැන පැහැදුණු පවුලක් ඔහුට උපස්ථාන කිරීමට ඉදිරිපත් වුණා. තමන්ගේ පරිභෝජනය සඳහා පිළියෙළ කළ ආහාරයෙන් කොටසක් දිනපතා ම තවුසාට යැවීමටත් අමතක කළේ නෑ. මෙසේ, තවුසාගේ දෛනික ආහාර අසපුවට යවන එක් දිනෙක තමන්ගේ යහළුවකුගෙන් ලැබුණු තලගොයි මස් ස්වල්පයක් ආහාරය පිණිස පිළියෙළ කොට දුන්නා. ඒ මාංශ අනුභව කළ තවුසා ඒ රසයෙහි ගිජු වුණා. ඒ කවර සතෙකුගේ මාංශය දැයි දැන ගත්තා.

තමන්ගේ අසපුව අසල ගැවසෙන තලගොයකු දැක තමන් විසින් ම ඒ මාංශ පිසගෙන ආහාරයට ගැනීමේ ආශාවක් ඇතිවුණා. සවස් කාලය එළැඹුණා. තමන්ගේ අසපුව අසලින් යන තලගොයකු දැක සැඟවී සිට විශාල මුගුරකින් පහර දුන්නා. එහෙත් උත්සාහය වැරදුණා. තලගොයා වහා දුව ගොස් අසල තිබූ තුඹසකට රිංගා ගත්තා. ටික වේලාවක් තුඹස තුළ සිටි තලගොයා තවුසාගේ වෑයම දැන ගත්තා වගේ කිහිප වරක් තුඹසෙන් මතු වී හිස වනා වෙනත් ස්ථානයකට ඇදී ගියා. හරියට තවුසාට අවමන් කරනවා වගේ. මේ දුටු තවුසාට හොඳටම කේන්ති ගියා. කැළෑවේ වසන වෙනත් තලගොයින් ඝාතනය කර මාංශ පිළියෙළ කර ආහාරයට ගැනීම පුරුද්දක් කර ගත්තා.

තවුසාගේ ඇස ගැටෙන සෑම තලගොයෙකුට ම මේ ඉරණම අත්වුණා. මේ විදිහට කටයුතු කළ මේ නපුරු තවුසාගේ පාපී ක්‍රියාව දැනගත් ගම් වැසියෝ ඔහුට නින්දා කළා. පරිභව කළා. අසපුව අසලට රැස් වී චෝදනා කළා.

පැවිද්දකු සේ වෙස්වළාගෙන , සිල්වත් ජනී ජනයා මුලාවට පත් කර, පාපී චේතනා මුදුන්පත් කර ගැනීම ගැන මේ තවුසාට දෝෂාරෝපණය කළා. හැමෝම අවමන් කළා.

“නුඹ තවුස් වෙස් ගෙන, අහිංසක තලගොයින් ඝාතනය කොට, ඒ මාංශ අනුභව කරමින් එසේ නො කරන්නේ යැයි ම කියනවා. ඔබගේ ඔය තවුස් වෙස් ගුණදහම් පිරීමට නොවෙයි. මිනිසුන් නොමග යවා පවිටු අදහස් මුදුන්පත් කර ගැනීමට යි”.

කියමින් බැණ වැදුණා. පොලු මුගුරුවලින් තවුසාට පහර දී, අසපුවත් කඩා ගිනිබත් කළා. තවුසා එළවා දැමුවා. කරකියා ගත යුතු කිසිම දෙයක් නො වූ තවුසා ඈත ප්‍රදේශයකට පලා ගියා. මහමඟ සිඟමන් යදිමින් ජීවත් වුණා. කල් යාමේ දී නොයෙක් දුක් ගැහැට විඳ මිය ගොස්, අවීචි මහා නරකාදියේ උපත ලැබුවා.

මෙසේ පවිටු ජීවිතයක් ගත කළ මේ තවුසා වෙන කෙනෙක් නොවෙයි. විශාලා මහනුවර කූඨ උපක්‍රමවලින් මිනිසුන් රවටා, තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට කටයුතු කරන සාති බමුණා ම බව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ ‘ගෝධ’ කියන ජාතක කතාව දේශනා කළා.

ඉතින් දරුවනේ, ඔය වගේ බොරු වෙස්ගත්, තවුස් වෙස්ගත්, අහිංසක වෙස්ගත් මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම් සිටිනවා. ඉතින් දරුවනේ, මේ බණ කතාව හොඳින් කියවා මිනිසුන්ට නො රැවටී, ප්‍රයෝගකාරී පුද්ගලයන්ගේ උපක්‍රමවලට හසු නොවී, ජීවත් වෙන්නට මතක තබා ගන්න ඕනෑ. දරුවනේ, මේ සමාජයේ කුඩා දරුවන් වැරැදිවලට පොළඹවන විවිධ පුද්ගලයන් සිටිනවා. එවැනි මිනිසුන්ගේ ප්‍රයෝග අනුව මත්ද්‍රව්‍යවලට , මත්වතුරවලට හුරු පුරුදු නොවී, තම තමන්ගේ නැණ පමණින් සමාජය ගැන හොඳ අවබෝධයෙන්, යුතුකම් , වගකීම් ඉටුකරන යහපත් දරු පිරිසක් වීමට ‘ගෝධ’ ජාතකය ආදර්ශයක් කරගන්නට ඕනෑ.