Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 51 : රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ

රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකේ මායිම් පිහිටියේ මෙම රැස්වෙහෙර පුදබිම පිහිටි ප්‍රදේශයෙහි ය. මෙම පුද බිමෙහි පුරාණ ගල්ලෙන් රාශියක් පිහිටා තිබේ. රැස් වෙහෙර ගිරිදුර්ගයක පිහිටා ඇත.

බුදු සමය ලංකාවට ලැබුණු දේවානම්පියතිස්ස රාජ යුගයට පවා අයිති ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් ලෙන් ලිපි මෙම පුදබිමෙන් හමු වී ඇත. ඊට අමතර ව සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ වරප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා ලංකාවට වැඩම කරවන ලද බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහමෙවුනා උයනේ රෝපණයෙන් පසුව, එයින් හටගත් අෂ්ඨඵලරුහ මෙන් ම දෙතිස්ඵලරුහ පිළිබඳව ද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මෙහි සඳහන් කළ එම දෙතිස්ඵලරුහවලින් එකක් රැස්වෙහෙර පුදබිමෙහි පෞරාණිකත්වය පැහැදිලි වේ.

ගල්ගමුව, නිකවැව මාර්ගයේ සැතපුම් අටක් පමණ ගිය විට මෙම පුදබිම හමු වේ. අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකේ මායිම් පිහිටියේ මෙම රැස්වෙහෙර පුදබිම පිහිටි ප්‍රදේශයෙහි ය. මෙම පුද බිමෙහි පුරාණ ගල්ලෙන් රාශියක් පිහිටා තිබේ. රැස් වෙහෙර ගිරිදුර්ගයක පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව සියවස්වලට අයත් වූ ලෙන් ලිපි (බ්‍රාහ්මී අක්ෂර සහිත) විසිහතරක් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Inscriptions of Ceylon (ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන්) ග්‍රන්ථයේ පළමුවන වෙළුමේ සඳහන් කර ඇත.

මෙහි ඉතා ප්‍රකට හිටි බුදුපිළිම වහන්සේට අමතර ව මහනුවර යුගයට අයිති ලෙන් විහාර දෙකක් ද පිහිටා ඇත. මහකන්ද යන නාමයෙන් හඳුන්වන මෙම පුදබිම පිහිටි ප්‍රදේශය අඩි 1146 උස ය. මෙහි ඇති සමහර ලෙන් ලිපි විනාශ වී ඇත. සමහරවිට මෙම පුදබිමේ නාමය ඒ ශිලා ලිපිවල සඳහන් වී තිබෙන්නට ඇත. (Historical Topography of Ancient and Medieval - volums vi - c.w Nicholas p - 98 - 1963) මෙම හිටි බුදුපිළිම වහන්සේ අඩි 39 අඟල් 3 උස ය. මෙම බුදුපිළිම වහන්සේ ද නෙළා තිබෙන්නේ අවුකන බුදු පිළිම වහන්සේ මෙන්ම පිහිටි ගලෙහි ය.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙම හිටි බුදුපිළිම වහන්සේ පිළිබඳ මෙසේ සඳහන් කරයි. මහසෙන් රජතුමා (ක්‍රි.ව. 274 - 301) විසින් රහෙර පර්වතයෙහි කර වූ හිටි බුද්ධ ප්‍රතිමාව මෙය වේ. පසු කාලයේ මහාසේන පඨිමා නමින් ප්‍රසිද්ධියට පත් වූයේ ය. මෙය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෑත අනුරාධපුර සමයට අයත්වන මේ බුද්ධ ප්‍රතිමාව මහායාන බුදුසමය අදහන බෞද්ධයන්ගේ උපදෙස් අනුව මහසෙන් රජතුමාගේ අනුග්‍රහයෙන් නෙළන්නට ඇත. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ අවසන්වීමට පෙර රජතුමා මිය ගිය හෙයින් මෙම බුද්ධ ප්‍රතිමාව පූර්ණ ලෙසින් අවසන් කිරීමට නොහැකි විය. (Art of the Ancient sinhalese - p. 135 - 1970 prof Senarat paranavitana)

මෙම හිටි බුදුපිළිම වහන්සේ පර්වතය ඇතුළට හාරා ගැනීමෙන් නෙළන ලද නිර්මාණයකි. ආයත චතුරශ්‍රාකාර හැඩය ඇති කාවාටය තුළ වූ බුදුපිළිම වහන්සේගේ ලක්ෂණ බොහෝ දුරට අවුකන බුදුපිළිමයට සමාන වන නමුදු කලාත්මක අතින් හෝ පරිපූර්ණත්වයෙන් ඊට සමකළ නොහැකි ය. ප්‍රතිමා ලක්ෂණවලට අනුව මේ පිළිමය ද ඒකාංශ පාරුපනයෙන් යුතු සිවුරෙන් ද, වම් අතින් සිවුරු පොට දරා සිටින ආකාරයෙන් ද නිර්මාණය කර ඇත. දකුණු අතින් අභය මුද්‍රාව නිරූපණය කරනු ලබන අතර අතේ ඇඟිලි නිර්මාණාත්මක ලෙසින් උසස් බවක් නො පෙන්වයි. චීවරයේ රැළි එතරම් ගැඹුරට හෝ තීව්‍ර ලෙසින් දක්වා නොමැත. සිවුර ශරීරයට ඇලී තිබෙන බවක් පෙන්වන නමුදු, එය ගී‍්‍රක ප්‍රතිමාවල ටෝගාවක් වැනි වූ පොරෝණයක් බඳු ය. ඉඟ පෙදෙසේ ඇති පළල් බවත්, දෙපා මදක් ඈත්ව තබා ඇති නිසාත්, මේ බුදු පිළිමය උසට වඩා තරමක තරබාරු බවක් පෙන්වයි.

මුහුණේ ස්වරූපය ද තරමක් රළු ය. අක් බමරුවන් හිසකේ දක්නට ලැබෙන නමුදු සිරස් පතක් වූ බවක් නොපෙනේ. බුදු පිළිමයේ මුහුණෙහි වෘත්තාකාර බවද, දෙතොලේ ඇති මන්දස්මිතය (මද සිනහව) ද ප්‍රතිමාවට තරමක අලංකාරයක් ගෙනදෙයි. හොඳින් නිම කළ කන් යුගලය අවුකන බුද්ධ ප්‍රතිමාවට බොහෝ සෙයින් සමාන ය. සිරස්පත, උෂ්ණිෂය හෝ ආසනයක් නොමැති නිසාත්, මෙහි ප්‍රතිමා ලක්ෂණ අවුකන බුද්ධ ප්‍රතිමාවට වඩා ප්‍රාථමික ලක්ෂණ පෙන්වන නිසාත්, මේ පිළිබඳ ව ක්‍රි.ව. 5 වන හෝ ඊට පෙර කරවන ලද පිළිමයක් සේ අනුමාන කළ හැකි ය. බුදු පිළිමය සඳහා ඉදිරියෙන් ප්‍රතිමා ගෘහයක් තිබුණු බව එහි ගල් බිත්තියේ ඇති කණු කෙවුන් අනුව අනාවරණය වේ.

(ලක්දිව බුද්ධ ප්‍රතිමාව - සැස්සේරුව බුදු පිළිමය - මහාචාර්ය මාලිංග අමරසිංහ පි. 106 - 107 දයාවංශ ජයකොඩි සහ සමාගම - 2010)

පසු කලෙක චූල වංසය (මහා වංසයේ දෙවැනි කොටසේ) කීප තැනකම ‘මහාසේන පටිමා’ නමින් ප්‍රතිමාවක් ගැන කියැවෙයි. දෙවැනි සේන රජතුමා (ක්‍රි.ව. 850 - 887) මහාසේන ප්‍රතිමාවට ගමක් පුදා ආරක්ෂකයන් යෙදවී ය. ඊට පෙර මානවම්ම සහ සේන යන රජවරු ලම්බ කර්ණ වංශිකයෝ ය. මහාසේන ද එසේ ය. මානවම්ම සහ දෙවැනි සේන යන රජවරු දෙදෙනාම පිරිහී තිබූ ලංකා රාජ්‍යය පුනරුත්ථාපනය කළ දෙදෙනෙකි. ඒ නිසා තම පරපුරට අයත් මහා සේන රජුට ගෞරව කිරීම තමාවද ගෞරව කරගැනීමක් වන හෙයින් මහාසේන අනුස්මරණය කරන්නට ඇත. මහාසේන විහාරයත්, මහාසේන පටිමාවත් රැස් වෙහෙර විහාරය සහ එහි වූ පිළිමය ම විය යුතු ය. එසේ නම් මේ යෝධ බුද්ධ ප්‍රතිමාවේ නිර්මාතෘවරයා මහාසේන රජු විය හැක. එසේනම් ලංකා බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසයෙහි ආරම්භක මහා ප්‍රතිමාව මෙය විය යුතු ය.

(මූර්ති කලාව ශ්‍රී ලංකාවේ කැටයම් හා මූර්ති, ආචාර්ය පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නා හිමි. පි. 28 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. - 1999)