Print this Article


ශාසන විලෝපිකයන් සිදු කරන ධර්ම කරුණූ විකෘතිය

ශාසන විලෝපිකයන් සිදු කරන ධර්ම කරුණූ විකෘතිය

මෙම ලිපියෙහි දෙවන කොටස දුරුතු පුර පසළොස්වක (ජනවාරි 10) පත්‍රයෙහි පළවිය.

අසාර අර්ථයෙන් අනත්ත ශබ්දය හඳුන්වා තිබුණ ද එහි අසාර ශබ්දයේ භාවිතය කවර අර්ථයකින් සිදු වී ඇත්දැයි ඔවුහු නො දනිති.

ඒ පිළිබඳ අපූර්ව විග්‍රහයක් චුල්ලනිද්දේසපාළියෙහි දක්නට ලැබේ. රූපෙ සාරො න ලබ්භති... රූපං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා, නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා...8 යන විග්‍රහය අනුව රූපය අසාර වන්නේ නිත්‍යසාර වශයෙන්, සුඛසාර වශයෙන්, ආත්මසාර වශයෙන්, නිත්‍ය හෙයින්, ධ්‍රැව හෙයින් ශාශ්වත හෙයින්, අවිපරිණාම හෙයින් බව දැක්වේ. මෙහි අත්තසාරසාරෙන යන පාලි යෙදුමෙහි අත්ත යන පදයට ධර්ම විකෘතිකයන් දක්වන ආකාරයට සාර යනුවෙන් තේරුම යෙදුවහොත් එය සාරසාරසාරෙන වශයෙන් ලිවිය යුතු අතර එයින් නිවැරදි ධර්මාර්ථයක් ද මතු කළ නොහැකි ය. සැබවින් ම එහි නිවැරදි අදහස වනුයේ ආත්මසාර වශයෙන් අසාරය වශයෙනි.

අත්ත යන පාලි පදයේ තමා, ආත්මය යන තේරුම් පවතී. මෙම පදයට සාර හෝ අර්ථ යනුවෙන් පාලිභාෂාවට අනුව තේරුම් දිය නොහැකි ය. අත්තහිතසූත්‍රය9, පරහිතසූත්‍රය10 වැනි තැන්වල අත්ත ශබ්දයට තමා යන තේරුම ඇත. මෙහි දී ධර්ම විකෘතිකයන් පවසන පරිදි අත්ත ශබ්දයට සාර හෝ අර්ථ වැනි පදයක් යෙදුව හොත් එය එම සූත්‍රවල දැක්වෙන දහම් කරුණුවලට මුළුමනින් ම පටහැනි වේ. තමා සිල්වත් වී අනුන් සිල් සමාදන් නොකර වීම, තමා සිල්වත් නොවී අනුන් සීල සමාදානයෙහි යෙදවීම වැනි දහම් කරුණු දැක්වෙන එම සූත්‍රවල තමා යන පදයට සාර හෝ අර්ථ වැනි පදයක් යෙදීමෙන් වන විපරීතය කවරෙකුට නම් තේරුම් ගත නොහැකි වේ ද? එසේ යෙදුවහොත් සාරය සිල්වත් වී අනුන් සමාදන් නොකර වීම වැනි විප්‍රකාර අදහස් මතු වේ. මේ ආකාරයෙන් ම අත්ත ශබ්දයට සාර යනුවෙන් තේරුම ගත හොත් විසි ආකාර සක්කාය දිට්ඨි පිළිබඳ දේශනාවන්ට ද අනෙක් සූත්‍රධර්ම සමග ද ගැලපිය නොහැකි විකාර අදහස් මතු කිරීම හැර නිර්මල ධර්මාර්ථ මතු කළ නොහැකි ය.

අත්තානුදිට්ඨි පිළිබඳ විග්‍රහයේ දී ඉතාමත් පැහැදිලිව අත්ත යන්නෙන් තමා අදහස් වන බව දක්නට ලැබේ. කථං රූපං අත්තතෝ සමනුපස්සති; ඉධෙකච්චො පඨවිකසිණං අත්තතො සමනුපස්සති, යං පඨවිකසිණං සො අහං, යො අහං තං පඨවිකසිණන්ති පඨවිකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති11. යනුවෙන් යමක් පඨවි කසිණය ද ඒ මම ය, යමෙක් මම ද එය පඨවි කසිණය යැයි තමා හා පඨවි කසිණය එකක් කොට සලකන බව දැක්වෙන තැන්වල අත්ත ශබ්දයෙන් තමා අදහස් වන බව ඉතා පැහැදිලිව දක්නට හැකි ය.

7 පටිසම්භිදාමග්ගප්පකරණය 1, ඤාණකථා, 68 පිට

8 චුල්ලනිද්දේසපාළි, 384 පිට

9 අංගුත්තරනිකාය 3, 20 පිට

10 අංගුත්තරනිකාය 3, 22 පිට

11 පටිසම්භිදාමග්ගප්පකරණය 1, 268 පිට

ආත්මයක් ඇත හෝ ආත්මයක් නැත යනාදී ශාශ්වත උච්ඡේද දෘෂ්ටිවල පැටලී තෘෂ්ණාව වඩමින් සසර සැරිසරන සත්වයාට එම තෘෂ්ණාදෘෂ්ටි දුරු කොට සසර නිමාකර ගැනීමට මග පෑදීම බුදුසමයේ මූලික ඉලක්කය වේ. පාපයෙන් වෙන් වී පින් කළ ද, කාමයෙහි ආදීනව දැක ධ්‍යාන අභිඥා උපදවා ගත්ත ද ශාශ්වත උච්ඡේද දෘෂ්ටි දුරු කළ නොහැකි ය. මෙම උභය අන්තයන් ඇසුරු කරන තෙක් ක්ලේශ අනුශය දුරු කළ නොහැකි ය. එම දෘෂ්ටීන් දුරු කිරීම සඳහා අනාත්ම ලක්‍ෂණය විවරණය කිරීම බුදුසමයට ම අනන්‍ය වූවකි. ධර්ම විකෘතිකයන් විසින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ සිදු කරන සාවද්‍ය අර්ථකථන තුළින් බුදුසමයට ම අනන්‍ය වූ අතිගම්භීර දාර්ශනික කරණු හෑල්ලුවට ලක් කෙරෙන අතර එයින් නිවන් මග ද අවහිර වන බව කිව යුතු ය. මේ ආකාරයට ධර්ම විකෘතිකයෝ ආත්මවාදී දෘෂ්ටීන්ගෙන් නිදහස් වී සියලු ආශ්‍රව හා අනුශය දුරුකරන නිවන් මග වසා දමති. ඒ වෙනුවට පුද්ගලත්වය මත ම පිහිටුවති. මෙසේ කැමැත්ත ඉෂ්ට කිරීමට ලෝකය අසමත් බව දකිමින් තණ්හාවෙන් වෙන්වීමට උපදෙස් දෙන සරල, සාමාන්‍ය මාවතක් බුදුදහමේ ඇතැයි කියමින් ජනතාව මුලා කරනු දක්නට ලැබේ.

3 පටිච්චසමුප්පාදය විකෘති කිරීම

ධර්මය විකෘති කරන්නන් විසින් බුදුරදුන් වදාළ පටිච්චසමුප්පාදය පිළිබඳ පටි+ඉච්ඡ+සං+උප්පාද පටිච්ඡසමුප්පාද යනුවෙන් අත්තනෝමතික පද බෙදීමක් ද සහිතව සාවද්‍ය අර්ථකථනයක් සපයා තිබේ. සිංහලයෙන් බැඳීමට උපකාර කරගන්නා දෙය (පටිය) සිහියේ තබාගෙන පටිච්චසමුප්පාදයේ පටි යන මුල් අක්‍ෂර දෙකට බැඳීම යැයි අර්ථ දෙති.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අමාවක (ජනවාරි 24 ) පත්‍රයේ පළවේ