Print this Article


සිව් පදයෙන් වෑහෙන සදහම් අමාදිය

සිව් පදයෙන් වෑහෙන සදහම් අමාදිය

සසර සාගරයේ කෙලෙස් කුණාටුවෙන් පීඩාවට පත් අනේක සත්වයින්ට සැනසුම් දායක කෙම් බිමක් වන් අංගීරස බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විවිධ මාධ්‍ය ඔස්සේ දෙසවනින් හදවතේ නිදන් කරවීමට සුධීමත්හු වෑයම් කෙරෙති.

විශේෂයෙන් ම ඒ සඳහා ලක්දිව බුදු සසුන සුපතළ වීම තුළ මෙරටට ආවේණික විශේෂාංගයන් බෞද්ධ සාහිත්‍ය තුළ විද්‍යමාන විය. ඒ අතර හෙළටුවා ග්‍රන්ථ, සන්න, ගැටපද, ප්‍රකරණ හා කාව්‍ය යනාදී කොටස් කිහිපයක් නිදසුන් ලෙස දැක්විය හැකි ය.

මෙම හෙළ සාහිත්‍ය කෘතීන් අතර කාව්‍ය ග්‍රන්ථ කෙරෙහි හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පෙදෙන් බුදු සිරිත යැයි කිවූ සෙයින් පද්‍ය ඇසුරු නිසරු කොට විවිධ විරිත්වලට අනුගත ව රචිත බෞද්ධ කාව්‍ය ග්‍රන්ථ ප්‍රමාණය අපරිමිත ය. පොදු ජනයාගේ හදවතෙහි බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ජනනය කරන අතරතුර සිව් පදයෙන් බණ කීමටද පුරාතන ගද්‍ය කාව්‍ය රචකයෝ සමත් වූ හ. උපදේශන සැපයීමට ද අමතක නොකළහ. එසේ ධර්මෝපදේශන සැපයූ බණ කාව්‍ය ග්‍රන්ථ අතර වීදාගම මෛත්‍රී මහා ස්වාමින් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාවට සමාජයේ දැඩි ආසක්ත බවක් හිමි වී ඇත. කෙලෙස් ගින්නෙන් දැවී තැවෙන, එනමුත් කෙලෙසුන් විගමනය කරගැනීමට යත්න දරණ බෞද්ධයාහට ලෝවැඩ සඟරාවේ පද්‍ය කිහිපයක් හෝ මතකයේ ස්ථාපිත වීමෙන් ඒ බැව් වඩාත් තහවුරු වේ. ඒ පද්‍ය පන්තීන් කෙරෙන් කෙතෙක් දුරට බුදුන් වහන්සේගේ වචනය හෙවත් පෙළ දහම මතුව එන්නේදැයි විමසා බැලීම වැදගත් කරුණකි.

ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මෙ සසර අත්හැර නොයන මෙ දුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස

මෙය වනාහි ලෝවැඩ සඟරාවේ එන විසි දෙවන පද්‍යයයි. එහි සරල අරුත වන්නේ හිස ගිනිගත් යම් කෙනෙකු ඒ ගින්න නිවා ගැනීමට ඉක්මන් වන්නා සේ, සිහි නුවණින් සෑදී නොපමා ව කුසල් කිරීමෙහි විනා සසර පවත්නා තුරු නොසිඳෙන මේ දුක් ගොඩ නැති කිරීමට අන් උපායක් නැත්තේ ය යන්නයි.

අදටත් බොහෝ දෙනා යම් කරදරයකට, විපතකට, පත් වූ කල මගේ හිස ගිනි අරන් ඉන්නේ යනුවෙන් කීම තුළ මෙම උපමාව කොතෙක් දුරට බෞද්ධයාගේ විඥානය තුළ ස්ථාපිත වී ඇත්දැයි සිතා බැලීම වැදගත් ය. විශේෂයෙන් ම අප ජීවිතයට පැමිණෙන කරදර, බාධක, කම්කටොලු වලට ප්‍රමුඛ හේතූන් වී ඇත්තේ තණ්හාව හා අවිද්‍යාවයි. හේතුඵල ධර්ම විග්‍රහයෙහි තවත් බොහෝ දේ සසර දුකට හේතුවන බව ගැඹුරු ධර්මයෙහි දී විග්‍රහ වේ. එය නො වැටහෙන හෙයින් සමාජගත දුක් පමණක් සමනය කරගැනීමට උනන්දු වනු විනා සංසාරගත දුක සමනය කරගැනීමට බොහෝ දෙනා උනන්දු නොවෙති. කුසල් කළ යුත්තේ ද හිස ගිනි ගත් අයෙකු සෙයින් යැයි මෙම කවියෙහි දැක්වෙන්නේ ද එම සංසාරගත දුක නැති කරනු පිණිස හේතුවන බලවත් වූ උපදේශනයකි. උනන්දු කරවීමකි. වීර්ය ඇති කරවීමකි.

හිස ගිනි ගත්තෙකු ලෙසින් කුසල් කිරීමෙහි උපමාව මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වීමට හේතු සාධක සැපයී ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමෙන් මෙම කවියෙන් අපට උගන්වන ධර්මෝපදේශය තව දුරටත් තහවුරු කරගැනීමට අපට හැකියාව ඇත. බුදුන් වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයේ එන දුතිය මරණ සති සූත්‍රයෙහි දී මහණෙනි ඇවිළ දැවෙන වස්ත්‍රයක් හෝ හිසක් නිවීම පිණිස අධිමාත්‍ර ඡන්දයක් ව්‍යායාමයක්, උත්සාහයක්, උකටලී නොවීමක් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයක් කරන්නේ යම් සේද යනුවෙන් දක්වා එලෙස කුසලයට වීර්ය කළ යුතු ය යන්න අවධාරණය කොට ඇත. මෙ කරුණ මෙලෙසින් ම සද්ධම්මෝපයායනය නම් බණ පොතෙහි ද අන්තර්ගත වේ. මෙහි හිස ගිනි ගැනීම දක්වා ඇත්තේ "ආදිත්ත සීසෝ" යනුවෙනි. එබැවින් බුදුන් වහන්සේ විසින් තම ශ්‍රාවකයින් මරණානුස්සතිය ඇසුරින් කුසලයට උනන්දු කරවීමට භාවිත කළ හිස ගිනිගත් අයෙකු සේ කුසල් කළ යුතුය යන උපමාව වීදාගම හිමියන්ට ද හෙළ බසින් කාව්‍ය කරණයෙන් ධර්මය දේශනා කිරීමට උපකාර වී ඇත.

එසේම සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයෙහි සත්ති සූත්‍රයෙහි ද මෙම උපමාව අන්තර්ගත වේ. එතැන්හි දැක්වෙන්නේ ඩයිහමානෝව මත්ථකේ යනුවෙනි. එහි අරුත වන්නේ ද හිස දැවෙන්නෙකු මෙන් යනුවෙනි. එතැන දී බුදුන් වහන්සේ හිස දැවෙන්නෙකු මෙන් සක්කාය දිට්ඨිය බැහැර කළ යුතුය යන්න දක්වා ඇත. සක්කාය දිට්ඨිය ද නිවන ආවරණය කරනු ලබන බලවත් චෛතසික ධර්මයකි. සක්කාය දිට්ඨිය බැහැර කොට කුසලය වැඩීමේ අගය මෙහිදී ද බුදුන් වහන්සේ දේශනා කොට ඇත. මීට අමතර ව ථේර හා ථේරී ගාථා පාලියෙහි ද මෙම උපමාව විටින් විට භාවිත වී ඇති බව දක්නට ලැබේ. එබැවින් පෙළ දහමෙහි හා ලෝවැඩ සඟරාවේ දක්වන ලෙසින් හිස ගිනි ගත්තෙකු විලස කුසලයෙහි නිරත වීම කෙලෙස් විගමය පිණිස හේතු වන්නක් බව සිහිතබා ගත යුතු ය.