Print this Article


පූජාච පූජනියනං

පිඹුරේ උදිත මහා නා හිමි

1948 ජනවාරි 11 වන දා මෙලොව ජන්ම ලාභය ලද මහා විහාර වංශික, ස්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ “ප්‍රවචන කීර්ති ශ්‍රී ගුණරතන” ශාස්ත්‍රපති , පිඹුරේ උදිත මහා නාහිමිපාණන් වහන්සේගේ 72 වන ජන්ම දිනය 2020 ජනවාරි 11 දිනට යෙදී තිබිණි.

1957 ජනවාරි 26 දින, මහෝපාධ්‍යාය බදුරලියේ සීලරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා පිඹුරේ ගුණරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පිඹුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ධර්ම ශාලා මන්දිරයේ දී ප්‍රවෘජ්‍ය දිවියට ඇතුළත් වූ මහානායක මාහිමිපාණන් වහන්සේ ධර්ම විනය ශාස්ත්‍රෝද්ග්‍රහණය උදෙසා හුණුපිටිය ශ්‍රී ඥාණේෂ්වර භික්ෂු මධ්‍යස්ථානය, පිඹුර සාමණේර ආයතනය ආදියට සම්බන්ධ වූහ. පසුව දෙමටගොඩ පිරිවෙනින් අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

1968 දී විසිවස් සම්පූර්ණ වීමෙන් පසු කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාවේ දී උපසම්පදාවට පත් වූහ. මෙම උපසම්පදා උත්සවද සුවිශේෂී වැදගත් කමකින් යුක්ත වූ බව පෙනේ. එනම්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වීය සංඝ සභාවෙන් වෙන් ව පහතරට කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව පිහිටුවා වසර 150 ක් සම්පූර්ණ කරමින් සිදු කළ විශේෂිත උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක් වීමයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව 1974 දී අගලවත්ත ප්‍රතිරාජ මහා පිරිවෙනෙහි ධර්මාචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් වූහ. අනතුරුව හම්බන්තොට, අළු පොත්දෙණිය විද්‍යාලය, රිටිගහයාය කණිෂ්ට විද්‍යාලය, අතුබොදේ කණිෂ්ට විද්‍යාලය, අගලවත්ත ඕමන්ත කණිෂ්ට විද්‍යාලය යන විද්‍යාලයන්හි ආචාර්යයන් වහන්සේ ලෙස 1989 දක්වාම කටයුතු කළ උන් වහන්සේ දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වමින් රජයේ පාසල්වල කරන ලද සේවයට සමු දී තම ආචාර්යයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව සිය විහාරස්ථානයේ කාර්යභාරය ඉටු කරනු වස් අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත් වූහ. 2008 වර්ෂයේ සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම දක්වා උන්වහන්සේගේ වසර 30 ක සේවා කාලය අගය කළ යුතු ය.

පසුව ස්වකීය විහාරස්ථානය හා පිරිවෙන ඉදිරියට පවත්වාගෙන යාමේ උත්තරීතර කාර්ය මනාව මෙහෙයවමින් දැවැන්ත කාර්යභාරයක් දියත් කළ මහනාහිමිපාණෝ , සියලු දුෂ්කරතාවන් අප්‍රතිහත ධෛර්ය හා කැපකිරීම නමැති මුවහත් ආයුධයකින් බිඳ දමා අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට ප්‍රතිරාජ මහා පිරිවෙන බැබළෙන්නට විය.

1996 දී මතුගම ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ අධිපතිධුරයට පත් වූ උන්වහන්සේ 1987 වර්ෂයේ සිට වසර 25 ක්ම අගලවත්ත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයෙහි කටයුතු කළ මහ නා හිමිපාණෝ, එමගින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා විශාල සේවාවක් ඉටු කළහ.

දැවැන්ත ආගමික සාමාජික කාර්යභාරයක් ඉටු කළද, උන්වහන්සේ වෙහෙසට පත් නොවුණු අතර ප්‍රදේශයේ වසන පාර්ශ්වීය මහා සංඝරත්නය විෂයෙහි ද, උන්වහන්සේ සොයා බලා කටයුතු කළ අතර මෙසේ කරන ලද අපිරිමිත කැප කිරීම අගය කරනු වස් 1988 දී කාරක සංඝ සභික ධුරයට ද, 1994 අපේ‍්‍රල් 20 වන දින කැකුලන්දල විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියටද , 1995 සැප්තැම්බර් 16 දින තත් විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි ධුරයට පත් වූයේ ඒකච්ඡන්දයෙනි.

1997 වර්ෂය වන විට එවකට වැඩ සිටි අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීම හේතු කොටගෙන පාර්ශ්වීය සංඝයාගේ පූර්ණ අනුමැතියෙන් 2000 වර්ෂයේ දෙසැම්බර් 20 දින පිඹුරේ උදිතාභිධාන මාහිමිපාණන් වහන්සේ එම පාර්ශ්වයේ අනුනායක ධුරයට පත් වූහ. ඒ උන්වහන්සේ ශාසනයට කරන ලද අප්‍රතිහත සේවාව ඇගයීමට ලක් කරමිනි.

ඉන්පසුව ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙනෙහි වැඩසිටි රාජකීය පණ්ඩිත, ගැට්ටේපොළ විමලරතන මහානායක මහාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව හිස් වූ මහානායක ධුරය සඳහා පිඹුරේ උදිත මහ නා හිමියන් කළ උතුම් ශාසනික හා සමාජ සේවයත්, තමන් වහන්සේගේ පරමාදර්ශී පැවිදි දිවියත්, ධර්ම ශාස්ත්‍රීය, සේවාවත් අගය කරමින්, මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ “ප්‍රවචන කීර්ති ශ්‍රී ගුණරතන” යන ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබමින් විනය වාදිනි මහා කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් 2013 වර්ෂයේ මාර්තු 19 වැනි දින උත්තරීතර මහානායක ධුරයට පත් වූහ.

කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් පරිදි සුභරතා ගුණයෙන්ද, දස ධර්ම සූත්‍රයේදී “පරපටි බද්ධා මේ ජීවිකාති, පබ්බජිතේන අභිණ්හං, පච්චවෙක්ඛිතබ්බං” යන අනුශාසනාව නිරන්තර ස්මරණය කරමින් ගත කරන උන්වහන්සේ ආදර්ශවත්ය.

මේ කරුණු අනුව නොපැහැදුණු අය පහදමින්, පැහැදුණු අය තවදුරටත් පහදවමින් “ව්‍යක්ත, විනීත , විශාරද, බහුශ්‍රැත, ධම්මධර , ධම්මානුධම්ම, පටිපන්න ගුණයෙන් යුක්ත මහානායක මාහිමිපාණන් වහන්සේට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලබා ශතවර්ෂාධික ශාසනික සේවාවන් ඉටු කිරීමට ශක්තිය, ධෛර්ය , වාසනාව නොඅඩුව ලැබේවා.


කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

ඇමරිකාවේ සිට දහම් මග ලොවට පෙන්වූ කුරුණෑගොඩ පියතිස්ස නා හිමිපාණෝ අතිඋදාර ධර්ම ප්‍රචාරක සේවාවක නිරත වුහ. ඇමරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමිපාණන් වහන්සේ අනූ එක් වන වියෙහි පසුවෙද්දී 2019 ඔක්තෝබර් 11 වන දින අපවත් වී වදාළහ.

1928 දෙසැම්බර් මස 28 වන දින පොල්ගහවෙල, කුරුණෑගොඩ දී උපත ලබා 1941 දී කුරුණෑගොඩ පියතිස්ස නමින් පැවිදි බිමට පත්ව 1950 මල්වතු මහා විහාරයේ දී උන්වහන්සේ උපසම්පදාව ලබා ගත්හ. විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධි හිමිකර ගත් උන්වහන්සේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ටෙම්පල් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ.

තමා ලබාගත් උසස් දැනුමෙන් සේවයක් කිරීම සඳහා පියතිස්ස හිමියෝ කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ම ගුරුවරයෙකු වශයෙන් සේවය කළහ. ආනන්ද විද්‍යාලයේ 09 ඒ ශ්‍රේණියේ මා ඉගෙන ගන්නා විට ඉතා දක්ෂ ගුරුවරයෙකු වශයෙන් පියතිස්ස හිමියෝ බුද්ධ ධර්මය විෂය අපට ඉගැන්වූහ. මා 10 වන ශ්‍රේණියට සමත් වූ පසු දිවියාගහ යසස්සි නාහිමි බුද්ධ ධර්මය ඉගැන්වූ අතර එයට අමතර ව උන්වහන්සේ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයේ අනුශාසකවරයා වශයෙන් අප විවිධ සේවාවන් සඳහා යෙදවීමෙන් කියාදුන් පාඩම මේ දක්වා අපගේ මතකයේ රැඳී පවතී.

මෙහිදී ආනන්දයේ ධර්මාචාර්යන් වහන්සේ නමක්ව වැඩ සිටි අපවත් වී වදාළ ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමියන් නිසා බෞද්ධ සංගමයේ කටයුතු වඩාත් ක්‍රියාකාරීත්වයට පත් වූ බව සිහිපත් කළ යුතු ය.

ධර්ම ප්‍රචාරක සේවය කෙරෙහි වඩාත් ප්‍රියමනාප තත්ත්වයක් තිබූ හෙයින් 1972 දී පියතිස්ස නාහිමියෝ ලන්ඩන් විහාරයට වැඩමවා කලක් සේවය කොට 1981 දී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට වැඩම කොට එහි නිව්යෝර්ක් බෞද්ධ විහාරය මුල්කොට විවිධ අංශයන්ගෙන් මහත් සේවයක් සිදු කිරීමට පියවර ගත්හ. පොදු සංවිධාන කිහිපයක ම පියතිස්ස හිමියෝ මුල්පුටු හෙබවූහ. නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා සංඝ සභාවේ සභාපති ධුරය, උතුරු ඇමරිකාවේ ලෝක සංඝ සම්මේලනයේ උප සභාපති තනතුර, ලෝක ආගමික සම්මේලනයේ විධායක සාමාජික තනතුර දරමින් සිදුකළ සේවය විශේෂයෙන් කැපී පෙනේ. වාර්ෂික වෙසක් දිනය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ සම්මේලනයෙන් සම්මතය ලබා ගැනීම සඳහා මෙන්ම යුනෙස්කෝ ආයතනය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කාර්යය සඳහා මහත් මෙහෙයක් උන්වහන්සේ සිදුකළහ.

1980 දී මම මගේ බිරිඳත් සමග පියතිස්ස නාහිමියන් බැහැ දැකීමට නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ගියෙමි. අවුරුදු 10 කට පමණ පසු සිදු වූ මේ හමුවේ දී එක්වරම මා හඳුනාගත හැකි වීම පුදුමයට කරුණකි. ඒ මුණගැසුනු අවස්ථාවේ ම නාහිමියන් සිදුකළ මුල්ම කාර්ය ය වූයේ අප දෙදෙනාට දිවා ආහාරය පිළියෙල කොට දීම යි. 1992 දී ජෝර්ජියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙහි තනතුරක් මට ලැබීම නිසා ඇට්ලන්ටා ප්‍රාන්තයෙහි අපි පදිංචියට ආවෙමු. ඒ ප්‍රදේශයේ ආරාමයක් නොතිබූ හෙයින් පවුල් කිහිපයක් එකතුව පියතිස්ස නාහිමියන් වැඩමවා ගෙන අවුත් ළමයින්ට හා වැඩිහිටියන්ට ධර්මය කියාදීමට හා ධර්ම සාකච්ඡා පැවැත්වීමට යෙදූ වැඩපිළිවෙල බෙහෙවින් අර්ථවත් විය. දුර මගක් ගෙවා පැමිණ සිදු කළ ඒ සේවාවන් ගැන සුළු හෝ අපහසුතාවක් පෙන්නුවේ නැත. විශ්ව විද්‍යාලයෙහි සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධානියා වශයෙන් මා කටයුතු කළ කාලය තුළ පැන නැගින ගැටලු විසඳා ගැනීමට පියතිස්ස නාහිමියන් දී තිබූ උපදෙස් මට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

පියතිස්ස නාහිමියෝ සැහැල්ලු, චාම්, නිහතමානී ජීවිතයක් ගත කළහ. තමාට ලැබුණ සුළු දෙයක් වුවත්, ආරාමයේ දියුණුව සඳහා නොවේ නම් ජනතාවගේ යහපත සඳහා යෙදවීම උන්වහන්සේගේ ප්‍රතිපත්තිය විය. අප උන්වහන්සේගේ පෞද්ගලික නමට ආධාරයක් යැවූ විට නිව්යෝර්ක් බෞද්ධ විහාර දායක සභාවෙන් අප නමට රිසිට් පතක් එවීමෙන් ඉහත කී උතුම් ගුණය වඩාත් පැහැදිලි වෙයි. ළදරු මනසට පමණක් නොව තරුණ හෝ මහලු අයට ද සුදුසු පරිදි දහම් කරුණු ඉදිරිපත් කිරීමට උන්වහන්සේ තුළ තිබූ දක්ෂතාව බෙහෙවින් අගය කළ යුතුය. මෙවැනි උතුම් ගුණයන් හා සේවාවන් අගය කළ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව විසින් ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම අගය කළ යුතු සිදුවීමකි.

බැලූ බැලූ සෑම අංශයකින් ම ආදර්ශවත්ව වැඩ සිටිමින් මහඟු සේවයක් සිදුකළ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමිපාණන් වහන්සේ අපවත් වීම ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයාට ම සිදු වූ බලවත් පාඩුවකි. පියතිස්ස නාහිමිපාණන්ට නිවන් සුවයෙන් සැනසීම ලැබේවා යි ප්‍රාර්ථනය කරමු.