Print this Article


තමන් සොයා යන ගමන

තමන් සොයා යන ගමන

ලොව්තුරා තථාගතයන් වහන්සේ බුදුබවට පත් වුණ මුල් කාලයේ අපූරු සිදුවීමක් සිදුවිය. එනම්, එදවස විසූ එක්තරා තරුණ පිරිසක් විනෝදවීම සඳහා ගමනක් යාමට තීරණය කළහ. ඒ සඳහා තමන් පෙම්බැඳී තරුණියන් ද එකතු කර ගැනීමට ඔවුහු කතිකා කර ගත්හ.

නියමිත දින පැමිණියේ ය. තරුණයන් තිස් දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ එක් තරුණයෙකුට පමණක් පෙම්වතියක් නො සිටියේ ය. එබැවින් ඔහු වෙනුවෙන් ජීවිතයේ මං මුළා වූ අබිසරු ලියක රැගෙන යාමට සියල්ලෝ තීරණය කළහ. නියමිත දින උදාවිය. සියල්ලෝ වන සිරි නරඹමින් විනෝද වෙමින් උයන් වතු සිසාරා සැරිසැරූහ. සියලුම තරුණ තරුණියන් කා බී, ප්‍රේමයෙන් දැවටී පියෙවි සිහියෙන් නොසිටින බව දැනගත් අබිසරු ලිය මනා සැලසුමකින් යුතුව ඔවුන් සියල්ලගේ රන් ,රිදී , කණ කර ආබරණ ආදිය රැගෙන පොදියක් බැඳ පළා ගියා ය. හෝරා කිහිපයක් ගතවිය. පියෙවි සිහිය ලද තරුණ තරුණියෝ තම තමන්ගේ ඇඳුම් පැළඳුම්, කණ කර ආබරණාදිය පරීක්ෂා කළහ. එහෙත් ඒ කිසිවක් දැකගත නොහැකි විය. තමන් බැහැරින් රැගෙන ආ තරුණිය ද ඔවුනට දක්නට නො ලැබුණි. සියලු දේ ඇය විසින් සොරකම් කරන්නට ඇතැයි සැක කළ තරුණයෝ වහා ඇය ලුහුබැඳ යාමට පටන් ගත්හ. එහෙත් ඇය ගිය මඟක් සොයාගත නොහැකි විය. ඔවුහු තවදුරටත් ඉදිරියට ගියහ.

එකල බුදුන් වහන්සේ ද වනපෙත් මග සක්මන් කරමින් වැඩ සිටියහ. තරුණයෝ බුදුරදුන් දුටහ. එහෙත් ඔවුහු ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ බව නො දත්හ. ඔවුන් උන්වහන්සේ හැඳීන ගත්තේ ශ්‍රමණයෙක් වශයෙන් පමණකි. ඔවුහු බුදුරදුන් වෙත එළඹ තමන් ස්ත්‍රියක සොයමින් ඇවිදින බවත්, මෙතැනින් ස්ත්‍රියක යන බව දුටුවෙහි දැයි ප්‍රශ්න කළහ. මෙම අවස්ථාවෙහි දී එම තරුණයන් අමතා බුදුන් වහන්සේ "දරුව අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම උසස් "යැයි වදාළහ.

තමන් ගැන කිසිදු විමසීමකින් තොරව අනුන් විවේචනය කිරීම අද බොහෝ දෙනෙකුගේ පුරුද්දයි. එසේම එය ඇතැමෙකුගේ ජීවනෝපාය යි. ඇතැමෙකුගේ විනෝදාංශය යි. තවෙකෙකුගේ පළිගැනීම හෝ හිංසනයේ උපායයි. ඉහත කතාව එකී ප්‍රතිපදාවට බුදුරදුන් දුන් පිළිතුරකි. ලෝකය යනු විවිධ වර්ණයන්ගෙන් , හැඩයන්ගෙන්, සිතිවිලි ධාරාවන් හා එයින් නිපන් වස්තූන්ගෙන් මෙන් ම, ක්‍රියාකාරිත්වයන්ගෙන් යුතු තැනකි. මෙහි සුවිශේෂත්වය වන්නේ ම විවිධත්වය යි. මෙම විවිධත්වය අප කැමති වුවත් , අකැමැති වුවත් ලොව සදාතනික ව පවතී. එබැවින් අප විසින් වටහා ගත යුතු වැදගත් ම දෙය නම් විවිධත්වයේ ස්වභාවය තේරුම් ගැනීමයි. මිනිසා ද එකී විවිධත්වයේ නිර්මාණයකි. ඔහු සිතිවිලි විසින් හා ක්‍රියාකාරකම් විසින් විවිධතා පෙන්වන්නෙකි. ලෝකය ඇදගෙන යනු ලබන්නේ ඔහුගේ එකිනෙකට වෙනස් වූ සිතිවිලි මගිනි (චිත්තෙන නීයතී ලොකො). බුදුන් වහන්සේ ලෝකය යනු බඹයක් පමණ වූ ශරීරය යැයි වදාළේ එහෙයිනි. යමෙක් බඹයක් පමණ වූ මෙම ශරීරය පිළිබඳ ව ගැඹුරු අවබෝධයකින් ක්‍රියාකරන්නේ නම්, එය ලෝකය පිළිබඳ ව මනා වටහා ගැනීමක් බව උන්වහන්සේ වදාළහ.

තමන් ගැන නොසිතා අනුන් ගැන වැඩියෙන් සිතීම, කතාකිරීම හා ඒවායේ අඩුලුහුඬුකම් ගැන සාකච්ඡා කිරීම ලෝකයේ හැම තැනකම පවතින පොදු ලක්ෂණයකි. එය ලංකාවේ අපට පමණක් සීමා වූවක් නොවේ. මා, මාගේ ගමන බිමනේ අඩුපාඩු ගැන සිතන්නේ නැති නම්, ඇඳුම් පැළඳුම්වල ලස්සන අවලස්සන, ගැළපීම නොගැළපීම, පිරිසුදු අපිරිසුදුකම් ආදිය ගැන සිතන්නේ නැති නම්, මාගේ හැසිරීමේ දුර්වලතා ගැන නො සිතන්නේ නම්, පහත් සිතිවිලිවල වරද නො දකින්නේ නම්, අනෙක් අයගේ එකී දෝෂ ගැන කතා කිරීමට, වැරැදි සෙවීමට හා ඒවා විවේචනය කිරීමට මට ඇති අයිතිය කුමක් ද? සැබැවින් ම මා ශිෂ්ට සම්පන්න මිනිසෙකු නම්, එබඳු අයිතියක් මට නැත. එහෙත් අප පුරුදු වී සිටින්නේ ම තමා වරදෙහි සිට අනුන්ගේ වැරැදි දැකීමට ය. මෙය කෙතරම් අශික්ෂිත හා අප්‍රසන්න පුරුද්දක් දැයි තේරුම් ගැනීම ඔබට අපහසු නැත.

එහෙත් එය එතරම් අප්‍රසන්න පුරුද්දක් වුවත් අප විසින් එය දිගින් දිගටම කරගෙන යනු ලබන්නේ කුමක් නිසා දැයි සෙවිය යුතු කරුණකි. බුදුදහම අනුව මෙයට හේතුව අප තුළ පවතින බලවත් ආත්මීය බවයි. එනම් මම නැතහොත් මාගේ යන අදහස තහවුරු කිරීමට ඇති උග්‍ර ආශාවයි. මම ම උසස් ය, අනෙක් අය මා තරම් උසස් නැත, මේ දේ කළේ මා විසින් ය, යනුවෙන් පෙන්වීමට ඇති උත්සාහයයි. බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇති බව ධම්මපදයේ සඳහන් වේ. “ගිහියෝත් පැවිද්දෝත් මේ සියලු කුදු මහත් දේ මා විසින් ම කරන ලදැයි සිතත්වා, මා පමණක් ම අනෙක් අයට වඩා උසස් කොට සිතත්වා, මෙසේ බාලයාගේ හෙවත් අඥානයාගේ තෘෂ්ණාවත් , මානයත් වැඩේ.” මේ නිසා අනුන් පහත්කොට, තමන් උසස් කොට සිතීම මෝඩයන්ගේ ගතියකි. එයින් සිදුවන්නේ තෘෂ්ණාව සහ මානය වැඩීමයි. එනම් පිරිහීමයි. එබැවින් යමෙක් තමන් වරදෙහි පිහිටා අනුන් විවේචනය කරනවා නම්, එය ඔහුගේ ආත්මාර්ථකාමී බව අධිකවීම නිසා සිදු කරන්නකි. එබැවින් අනුන් විවේචනය කරන තැනක සිටින අවස්ථාවක එය රස විඳීමට, එයින් ආස්වාදයක් ලැබීමට හෝ ඔහු ආදර්ශයක් කර ගැනීමට පුරුදු නො වන්න.

මේ දේශයට වඩාත් අවශ්‍ය වන්නේ තමන්ගේ හැසිරීම, තමන් කළ නොකළ දේ ගැන නිබඳව ම අවදියෙන් සිටින මිනිසුන් ය. ධර්මද්වීපයක වෙසෙන මිනිසුන් ලෙස අප පුරුදු විය යුත්තේ අපගේ ජීවිතය ගැන සෙවීමට ය. තම ජීවිතයේ බාහිර අභ්‍යන්තර සොඳුරු බව විනිවිද දැකීමට ය. සමාජයෙන් යමක් ලබා ගැනීමට පෙර අප විසින් සමාජයට යමක් ප්‍රදානය කිරීමට ය. එබැවින් අනුන්ගේ නිවස ගැන සිතීමට පෙර අපගේ නිවස ගැන සිතමු. අනුන්ගේ ආධ්‍යාත්මික උසස් බව පිළිබඳ විවේචනය කිරීමට පෙර තමාගේ ආධ්‍යාත්මික උතුම් බව පිළිබඳ විමසමු. වෙනත් අය තූළ පවතින දැනුම, ඔවුන් කරන රැකියාව, එමගින් ඔවුන් ගමන් කරන යාන වාහන දෙස බලා ද්වේෂ සහගත ව විවේචනය කිරීම නවත්වා, තමාට එසේ කිරීමට නොහැකි වූයේ කුමක් නිසා දැයි විමසා උපේක්ෂාව භජනය කරමු.

අනුන් ගැන නොසොයා තමා ගැන සෙවීමේ වැදගත්කම කුමක් දැයි තේරුම් ගැනීමත් එය කරන පිළිවෙළ කුමක් ද යන්නත් වටහා ගත යුතු තවත් කරුණකි. බුදුදහම අනුව අනුන්ගේ දොස් පමණක් සොයමින් කල්ගෙවීම පිරිහීමට කරුණකි. එසේම තමන් ගැන සෙවීම දියුණුවේ රහසයි. එම දියුණුව හුදෙක් ලෞකික වශයෙන් පමණක් නොව අලෞකික වශයෙන් ද දියුණුවීමකි. කෙනෙකුගේ ජීවිතයේ අඩුපාඩු ඔහු විසින් දැනගැනීම නිවැරැදි වීමේ පදනමයි. එහි ප්‍රතිඵලය වන්නේ ජීවිතය ජයග්‍රහණයයි.

ධර්මයෙන් පැසුණු, මුහුකුරා ගිය බුද්ධිය ඇති කෙනෙකුට තමා ගැන සෙවීම තවත් ආකාරයකින් කළ හැකි ය. එනම් තමා හෝ මම යැයි උපකල්පනය කරනු ලබන පඤ්චස්කන්ධය පිළිබඳව සෙවීමයි. දෙතිස් කුණපයන්ගේ එකතුවක් වන සිරුරේ ඇත්ත සෙන්ටිමීටරයක් තරම්වත් නැති සමක් විසින් ආවරණය කොට ඇත. එහෙත් එම ආවරණය ගැන ඔබ කිසිවක් සිතා නැති බව නම් ස්ථිර ය. යම් ලෙසකින් එම සියුම් සම ඉවත් කළහොත් අප කා අතරත් වෙනසක් නොමැති බව ඔබට දැනෙනු ඇත. එසේම තමා යනු කවරෙක් ද යන වග මෙන්ම, එහි ඇති පිළිකුල් බව ද සංවේගී හා බිහිසුණු බවද ඔබට දැනෙනු ඇත. එබැවින් කය අනුව බලන කායානුපස්සනාව, වේදනාවන් අනුව සිතන වේදනානුපස්සනාව, සිතේ ස්වභාවය අනුව සිතීම සිදු කරන චිත්තානුපස්සනාව මෙන්ම ස්වභාව ධර්මයේ ගති ලක්ෂණ හඳුනා ගන්නාවූ ධම්මානුපස්සනාව වැඩීම තමා සෙවීම යන්නෙන් අදහස් වේ. මෙසේ සතියෙන් යුතුව ජීවත්වීම තමා සෙවීම නම් වේ. මෙය විදර්ශනාවකි. විශේෂ දැකීමකි.

මෙසේ කෙනෙකුට තමා සම්බන්ධයෙන් සෙවිය යුතු, දැනගත යුතු, ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය යුතු වැදගත් හා ගැඹුරු වැඩ පිළිවෙලක් අපට කිරීමට ඉතිරිව ඇත. එබඳු තත්වයක් යටතේ අනුන්ගේ ඇද කුද, උගත් නූගත්කම්, කෑම් බීම්, ගෙවල් දොරවල් හා වාචාලකම් ගැන සොයමින් වෛරය හා ද්වේෂය පෝෂණය කරමින් සිටීම කවර තරමේ මුග්ධ ක්‍රියාවක් දැයි ඔබට තේරුම් යා යුතු ය. එබැවින් අපි අප ගැනම සොයමු. එලෙසින් ලොව්තුරා තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිපදිමු.