Print this Article


පහන් සිතක කවි

 

මහඟු සම්පතක්

බොදු සකුතික මැඳුරේ හා
සම්බුදු ජය මැඳුරෙ කොළඹ
ගරුතර කළමණාකාර
කිරම විමලජෝති යතිඳු
බුදුසරණේ පහන් සිතක
කවි වැඩ සටහන පිළිබඳ
එක්ව කෙරෙන සත්කාරය
දහම් පඬුරු තිළිණය වේ
කාලෝචිත වැඩකි ඒක
මහ ඉහළින් අගයන්නෙමි
පහන් සිතක කවි තීරේ
පාඨක අප හැම දෙනාට
මහඟු සම්පතක්


මෙවර ජයග්‍රාහී කවිය

කැලැන්ඩරේ නුඹ

අතේ පයේ සවි අරගෙන යන්නට
ඇහේ කලුව ගෙන සුද තවරන්නට
 රැඳුණ කෙහෙ රොද උගුලන්නට
ආයෙත් ආවද උඩ එල්ලෙන්නට

අමාරුවෙන් බිම ඉඳ නැඟිටින කොට
හීන් සැරේ පුටුවට බරවෙන කොට
මොනවද කොඳුරා රහසින් මරු හට
නුඹ හිනැහෙනවා නොවෙදෝ මා හට


ඇරයුම

දුරුතු මහේ
දහවලේ
කසාවතින්
අප ගෙදර
බැබළෙන්නේ
සත් නමක්
මහ සඟරුවන
අප නිවසේ
වැඩ ඉන්නේ
සැදැහැ සිතින්
අප දන් පිළිගන්වන්නේ
නව වසර සමරන්නයි
අප හට සෙත් පතන්නයි
සැමටම පින් ලැබ දෙන්නයි
සඟරුවනට දන්
පිළිගන්වන්නේ


සිල් සුවඳ

පන්සල් බිම අමදින්නේ
අද පෝ දින සිල් සුවඳයි
සුදෝ සුදු වතින් සැරැසී
බෝ මළුවේ සෙනග ගොඩයි
සිල්වත් සැමගේ සිත් තුළ
නිවුණු හැඟුම් සමුදාය යි
තිසරණ සරණේ පිහිටා
නමදින බුදු හිමි පිහිටයි


සැනසිය හැකිද?

දහමට අනුව යොමු කරළා අපගෙ සිත
මොහොතක් බලමු අප කවුදැයි යොමා නෙත
අනගාරික ව සිටියත් ලෝකයා වෙත
මිනිසත්කම නිගරු කළෙනම් පලක් නැත

තණ්හා මද මාන දැන් නෑ මා ගාව
පෝයට සිල් අරන් කර භාවනාව
සිල්වන්තයකු යැයි ලෝකෙට රඟපෑව
සැනසිය හැකිද? තමාට තම සිතගාව


පින්සාර මහ සෑය

දිලි දිලී රන්පාට දිදුලනා මහිම අර
මිණි රශ්මියේ ප්‍රබා විහිදෙනා ගම් භීර
නින්නාද පැතිරෙනා සාධු නාදේ සාර
මහා සෑයේ කොත දිලෙනවා පින් සාර


බුදු ගුණ අනන්තයි

සමිඳේ , සමිඳේ
ලොව්තුරු බුදු සමිඳේ
සියලු කෙලෙස් නැති, ලෝ දුක් දුරු කළ
භගවත් බුදු සමිඳේ
වඳීමි පා පියුම්
සැමදා බැතියෙන්
උදාර ගුණ ඇති බුදු සමිඳේ


දුරුතු පොහොය දින

දෙසුමට දහම් සිතු පළමුව මහිමි සඳ
කස්සප සොහොයුරන් දැන පෙර ඇසුර ලද
පෙර පින් බලය දැක දිවසින් එසැම ලද
මගඵල ලබා දුණි සිත් මන් දමා සිඳ


ඒකාලෝක විය

කුල මල ධන බලය කිසිවක් නො සොයද්දී
සම මෙත් කරුණාව සැමටම පතුරද්දී
දම් රසයෙන් සැමගෙ දෙසවන් පිනවද්දී
ඒකාලෝක විය බුදු රැස් විහි දෙද්දී


ශ්‍රී ලංකා

ශ්‍රී මුඛ පාඨ ගත් කර සුරකින රටකී
උතුම් ත්‍රිපිටකය ලොව පතළ වූ රටකී
ක්‍රීටය ලෙසින් තුන් ලොව බැබළෙන රටකී
ශ්‍රී ලංකාව නිවනට මග හෙළි කළ රටකී


පාරාවළල්ල

උඩු සුළඟට
ගැසුවොත් හෙම කෙළ පිඬ
ආපසු එනවා
වහාම ඔබ වෙත
ලෝ දම මේකයි
පව්කම් නාකයි
දත යුතු ඒකයි
බුදු බණ ඕකයි


අසිරිමත් දුරුතු පොහොය

එළඹුන නව වසර සීතල දුරුතු මස
ඵල ලද දිනකි අසිරිය බුදු සමිඳු ඇස
පා මියුගුණ ගං තෙරට බැස
බල මහිමයෙන් නිම විය නා යකුගෙ ගොස

රද දෙවි සමන් බුදු දම් දෙසවනට ලදින්
පුද දුන් කේශ ධාතුන් ගෙන සතුටු හදින්
යුදයක් සිහිවටන දුරුතේ සිහිව අදින්
කොඳ මල් පැහැය චේතිය ඉදි වුණා තෙදින්

සිරි පද පහස ලද මියු ගුණ බිම් තැන්න
සුරිඳුගෙ ඇරයුමකි බුදු හිමි කන් දුන්න
ගිරි කුල තැබූ සිරිපද පියවර මැන්න
දිරිගෙන සමන් අඩවිය ගොස් නරඹන්න


සම්බුදු පණිවුඩ ගෙනෙන පත

බුදු හිමියනගෙ පණිවුඩ සැම ගෙන එන්නේ
පුදුමයි සතර පෝයට ම යි හමු වෙන්නේ
රුදු ගති නොවේ මුදු ගතිමයි ඇති වෙන්නේ
බුදු සරණ පතටයි නිති නම දින්නේ


සුබ පැතුම්

තෙවලා බුදු වදන් නිරතුරු සිහි වේවා
නිවලා මෝහයේ ඝණදුරු දුරු වේවා
රැකලා සීලයේ අනුසස් වැට හේවා
නොවලා සසර බැමි බිඳ නිවනට යේවා