Print this Article


නිම් නැති ගුණ ඇති අම්මා : බොහෝ මවුවරුන්ට නොලැබෙන මහඟු වරප්‍රසාදයක් මගේ අම්මාට ලැබුණා

බොහෝ මවුවරුන්ට නොලැබෙන මහඟු වරප්‍රසාදයක් මගේ අම්මාට ලැබුණා

මුරුංගාගස්යායේ ඤාණීස්සර නා හිමි

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමියන් දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයෙහි නියැළෙමින් ලෝ වැසි බොදු දනන්ගේ ආධ්‍යාත්මික සුවසෙත සලසන යතිවරයාණන් වහන්සේ නමකි. ශාසනික සේවයෙහි මෙන්ම සමාජ සේවයෙහි ද අත්‍යුදාර මෙහෙවරක නියැළෙන උන්වහන්සේ ඒ සියල්ල ඉටු කිරීමෙහි තමන් වහන්සේගේ මෑණියන්ගේ ආශිර්වාදය මහඟු මිණක් වූ බව පවසති.

මම උපන්නේ 1946 අගෝස්තු මාසයේ දහ වැනිදා. හම්බන්තොට ගිරුවා පත්තුවේ මුරුංගාගස්යාය කියන ගමේ. එස්.ඒ. වීරක්කොඩි උපාසකතුමා මගේ පියාණන්. මෑණියන් අමරකෝන් දිසානායක පුංචි හාමි.

මේ කාලය වන විට අපේ ගම් ප්‍රදේශය බොහෝ දුෂ්කරතාවලින් පිරී තිබුණා. කොතරම් ද කියනවා නම් බීමට ගන්නා වතුර ටික ගෙන එන්නත් සැතපුමක් පමණ දුර යන්නට ඕනෑ. මට මතකයි මගේ අම්මා, ගමේ තවත් කාන්තාවන් සමඟ කළගෙඩිවලට වතුර පුරවාගෙන හිස තබාගෙන එනවා. දිය නා ගන්නට ගියේ මිද්දෙනියේ බුබුළ කියන ස්ථානයට.

අන්ධකාරය. අද කාලෙ වගේ විදුලි ආලෝකය තිබුණේ නෑ.. කුප්පි ලාම්පු එළියෙන් තමයි ගෙදර අඳුර නිවුණේ. ඒත් මේ දුෂ්කරතා ඉදිරියේ මගේ අම්මා කවදාවත් මැසිවිලි කීවේ නෑ. යුතුකම්, වගකීම් මග හැරියේත් නෑ.

මේ, හතළිහ පනහ දශකයේ අපේ ගමේ තත්ත්වය. අද නම් ගම බොහොම දියුණුවෙලා.

ඒ කාලෙ ගැහැනු ළමයින්ට ඉස්කෝලේ යන්න ඉඩක් ලැබුණේ නෑ. අකුරු ඉගෙන ගන්න දෙන්නේ නෑ. ඉගෙනීමට ගියොත් ගැහැනු ළමයි නරක් වෙයි කියලා ඒ කාලේ සම්මතයක් තිබුණා. මගේ අම්මටත් ඒ වගේ. අධ්‍යාපනය ලබන්නට අවස්ථාවක් ලැබී නෑ. ඒත් අම්මාට පුදුම තරම් බුද්ධියක් තිබුණා. ජීවිතය ගැන, දරුවන් හදාවඩා ගැනීම ගැන, මේ සමාජය ගැන පුදුමාකාර අවබෝධයක් තිබුණා. ආගම ධර්මය ගැන තිබුණේත් හොඳ අවබෝධයක්. මට මතකයි. අම්මා අපට බණ කතා කියා දුන්නා. සිල් සමාදන් වීම, බණ ඇසීම අම්මා ඉතාම ඕනෑකමින්, උනන්දුවෙන් සිදු කළා.

1955 අවුරුද්දේ අපි අලුත් නිවෙසක පදිංචියට ගියා. ඒත් ඊට පෙර සුවිශේෂී ආගමික කටයුත්තක් සිදුකළා. ඒ වස් කාලයේ දී හාමුදුරුවන් වහන්සේලා දෙනමක් අපේ ගෙදර වස් වැස වැඩ සිටියා. තුන් මාසය පුරාම උන්වහන්සේලාට බණ භාවනා කටයුතු, අනෙකුත් ආගමික කටයුතුවලට පහසුකම් සලසා දුන්නා. ප්‍රත්‍ය පහසුකම් සැලසුවා. දවසක් හැර දවසක් ධර්ම දේශනා පැවැත්වූවා. මට අද වගේ මතකයි. ඒ ධර්ම දේශනාවන්ට වැඩම කළ එක් ස්වාමීන් වහන්සේ නමක් මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවෝ. උන් වහන්සේ අපේ තාත්තගේ අම්මගේ මල්ලි. මිද්දෙණියේ සිට සැතපුමක් පමණ දුර උන්වහන්සේ අපේ නිවෙසට වැඩම කළේ පා ගමනින් අලංකාර පෙරහරකින්.

ඉතින් මගේ අම්මා, තාත්තා දෙදෙනා මේ මහා පින්කම් සංවිධානය කළේ තුනුරුවන් කෙරෙහි මහා ශ්‍රද්ධාවකින්. උත්සාහයෙන්, දැහැමින් උපයා ගත් ධනයෙන්. මගේ අම්මා තාත්තා අලස නෑ. සෑම කටයුත්තක දී ම අනලස් ව කටයුතු කළා. අපේ ගෙදර තිබුණු මේ පරිසරය මා ආගමික අංශයට වඩාත් නැඹුරු කළා. වස් පින්කම් අවසන් වෙනවිට මම මුලනේ අග්ගාරාම ලොකු හාමුදුරුවන්ගේ පන්සලට ගියා. 1955 ජුනි 25 වැනි දා මා උතුම් පැවිදි බිමට පත්වුණා. අම්මගේ, තාත්තගේ ආශිර්වාදය මගේ පැවිදි ජීවිතයට ආලෝකයක් වුණා.

ගම් ප්‍රධානියෙක් ලෙසට මගේ තාත්තා ගමේ හැම කටයුත්තක් ම කළේ බොහොම වගකීමෙන්. ගමේ පිරිස් සංවිධානය කරවාගෙන, ඒ අය ශ්‍රීපාදස්ථානයට රැගෙන ගියා. පන්සලේ ආගමික කටයුතු සංවිධානය කළා. මගේ මෑණියන් හරිම සංවේදී යි. ඒ වගේම පරිත්‍යාගශීලීයි. මට මතකයි, ගෙදර කවුරු හෝ ආවත් මුලින් ම කළේ ආහාරපානවලින් සංග්‍රහ කිරීමයි. එය අම්මා තුළ වූ උදාර ප්‍රතිපත්තියක් ලෙසයි මා දකින්නේ. අකුරු ශාස්ත්‍රය ගැන අවබෝධයක් නැති වුණත් අධ්‍යාපනයේ වටිනාකම ගැන මගේ අම්මට හොඳ දැනීමක් තිබුණා.

ඒ නිසා දරුවන් සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඇය මහත් සේ වෙර වීරිය දැරුවා. අම්මාගේ උත්සාහය මල්ඵල ගැන්වුණා. මගේ අයියා කෙනෙක් ග්‍රාම නිලධාරී මහතෙක්. උපාධිධාරී නැඟනියක් ගුරුවරියක් ලෙස දරුවන්ගේ නැණ පහන් දල්වන්නට කටයුතු කළා. තවත් නැඟනියක් මැහුම් ගුරුවරියක්. දරුවො හැමෝම ඉදිරියට යනවා දැකීමයි අම්මගේ එකම බලාපොරොත්තුව වුණේ. කවදාවත් වැරැදි වැඩකට ඉඩ දුන්නේ නෑ. වරැද්දක් කළත් කිසි දිනෙක ශාරීරික දඬුවම් දුන්නේ නෑ. වරද වටහා දුන්නේ නැවත වැරැදි නොකරන තැනට, සමාජයට අවැඩක් නොවන තැනට අප හැඩ ගස්වමින්. අම්ම, තාත්තගේ සෙවණේ එවැනි සාමකාමී පරිසරයකයි අප හැදී වැඩුණේ.

තමන්ගේ දරුවෙක් සම්බුදු සසුනට පූජා කළ හැකි නම් එය මවකට මිල කළ නොහැකි භාග්‍යයක්. ආශිර්වාදයක්. එහෙත් ඒ වාසනාව හැම අම්මා කෙනෙකුටම ලැබිය නොහැකියි. ඒත් මගේ අම්මාට, බොහෝ මව්වරුන්ට නොලැබෙන ඒ මහඟු වරප්‍රසාදය ලැබුණා. මගේ පැවිදි දිවිය ගැන අම්මාගේ අවසන් කාලයේ දී ත් බොහොම සතුටින් සිටියා. මගේ අම්මා දරුවන් සුමගට යොමු කළා. යුතුකම් වගකීම් කවර හේතුවක් නිසාවත් පැහැර හැරියේ නෑ. ඉතින් අම්මා ගේ සැඳෑ සමය බොහොම සතුටින් ගෙවුණා. දුකක්, වේදනාවක් නො දී අම්මා ආදරයෙන් රැක බලා ගන්නට දරුවන් කිසිවිටෙක පසුබට වුණේ නෑ.

ඒ වගේම මගේ අම්මාට ලංකාවේ ප්‍රධාන ආගමික සිද්ධස්ථාන සියල්ලක් ම පාහේ වන්දනාමාන කරගන්නට, දැක බලා ගන්නට අවස්ථාව ලැබුණා. දඹදිව බුද්ධගයාව ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගත්තා. මම හිතනවා අම්මා ලැබූ ජීවිතය තුළ විශාල සතුටක් ලැබුවා. ආපසු හැරී බලා සතුටු වෙන්නට තරම් වටිනා දිවි පෙවෙතක් ඇය ගත කළා. මගේ අම්මා මිය ගියේ 2002 වසරේ දී. ඒ වන විට අම්මාට වයස අවුරුදු අනූ දෙකක්. මගේ අම්මා යහපත් ස්ථානයක උපත ලබන්නට ඇති බව නම් මට විශ්වාසයි.

මා පැවිදි දිවියට ඇතුළත් වුණේ වයස අවුරුදු 11 දී. මට පැවිදි ජීවිතය සාර්ථක කරගන්නට අම්මාගේ, තාත්තාගේ ආශිර්වාදය ලැබුණා. ශාසනික සේවාවක් කරන්නට හැකි වුණා. අපි‍්‍රකා මහාද්වීපය හැර ලෝකයේ අනෙකුත් සෑම මහාද්වීපයක ම ධර්ම ප්‍රචාරයෙහි නිරත වීමට අවස්ථාව ලැබුණා. මා ප්‍රංශයට ගියේ 1985 වසරේ දී. ඊට පෙර ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකටම වැඩම කරමින් ධර්ම දේශනා පැවැත්වූවා. විද්‍යොදය පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන කාලයේ ගුවන්විදුලි, රූපවාහිනී ධර්ම දේශනාවලට අමතරව බොහෝ ධර්ම දේශනාවන්ට සහභාගි වුණා. ප්‍රංශයට වැඩම කරවීමට මට ආරාධනා කළේ පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේ. ඒ වන විට මා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ධර්ම අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරමින් සිටියේ.

ප්‍රංශය කේන්ද්‍ර කරගෙන යුරෝපයේ සෑම රටකම පාහේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටිනවා. එදා මෙදාතුර කාලය තුළ ප්‍රත්‍ය පහසුකම් වශයෙන් මට ලැබුණු සෑම දෙයක් ම සමාජ සේවා කටයුතු සඳහා යෙදීමට මට හැකියාව ලැබුණා.

1990 වසරේ සිට මා වෛද්‍ය ශිෂ්‍යයන් අතරින් තෝරා ගත් පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කළා. මෙවර 29 වැනි වරට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළා. මේ වන විට 700 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා.

තමන්ගේ හිසට සෙවණක් සාදා ගන්නට වත්කමක් නැති අයට ඉන්නට නිවහනක් සාදා දීමට හැකි නම් එය මිනිසුන්ට මොන තරම් නම් සහනයක් ද? මේ වන විට එවැනි පවුල් තිස් ගණනක් ඉක්මවා නිවාස සාදවා දෙන්නට කටයුතු කළා. වයෝවෘද්ධයින් හතළිස් දෙනකු ඉක්මවා මාසයකට රුපියල් තුන් දහස බැගින් පරිත්‍යාග කරනවා.

මීට ටික කලකට පෙර මිද්දෙණියේ රෝහලක් ඉදි කළා. රුපියල් කෝටි හතර හමාරක පමණ වියදමින්. ඉතා ක්‍රමවත්ව ඉදිකර ඇති එම රෝහල ඇඳන් පනහකින් සමන්විතයි. මා එයින් බලාපොරොත්තු වුණේ අසරණ මිනිසුන්ට නිරෝගී බව ලබා දීමයි.

“ආරොග්‍ය පරමා ලාභා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ නිසා මා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. මා විසින් උදව් කරන ලැබූ වෛද්‍යවරුන්ට අනුශාසනා කර තිබෙන්නේ මට. උපකාර නොකර තමන් ළඟට එන අසරණ රෝගීන්ට මුදල් පිළිබඳව හඹා යන්නේ නැතිව, කරුණා දයා ගුණයෙන්, මෛත්‍රියෙන් සේවය කරන ලෙසටයි.

ඒ වගේම මේ උදා වූ නව වර්ෂයේ මිද්දෙණිය බුබුළ කියන ස්ථානයේ ඇවිදීම සඳහා මං තීරුවක් ඉදි කරන්නට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මීට දින කිහිපයකට පෙර මිද්දෙණියට කිලෝමීටර් හයක් පමණ දුරින් කටුවන ප්‍රදේශයේ ආදාහනාගාරයක් ඉදිකළා. එමඟින් ගම් 87 කට සේවය සැලසෙනවා.

ධර්ම දේශනා පවත්වා ආධ්‍යාත්මික වශයෙන් ජනතාව සුවපත් කිරීමටත්, භෞතිකමය වශයෙන් හැකි පරිත්‍යාගයන් සිදු කොට ආර්ථික වශයෙන් උදව් උපකාර කොට ඔවුන් නඟා සිටුවීමටත් මා හැකි සෑම අවස්ථාවක ම කැප වෙනවා.

මේ පරිත්‍යාග සඳහා මා කිසිදු විටෙක සම්මාදම් කරන්නේ නෑ. උත්සව සංවිධානය කරන්නේත් නෑ. සම්මන්ත්‍රණවලදී මට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් නිසයි මෙවැනි සේවාවන් සිදු කරන්නේ. පැරිසියේ ජේතවන විහාරයේ දායකයින් බොහෝ සිටිනවා. කාම්බෝජ, ලාඕස්, තායි, චීන, වියට්නාම් ජාතිකයින් ඒ අතර ප්‍රධානයි. මේ විදේශීය දායකයන් මුදල් ආධාර පූජා කරනවා. ඉතින් මා ශාසනික සේවාවන් සඳහාත්, සමාජ සේවාවන් සඳහාත් ඒවා යොදවනවා. ඒ පූජාවන් කරන අයගේත් සතුට සැනසීම පිණිසයි. මගේ ද සැනසීම පිණිසයි. මා සිදු කරගෙන යන මේ සියලු කටයුතු සඳහා මාසයකට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් වැය වෙනවා. ඒත් කවදාවත් මට අවශ්‍ය ප්‍රතිපාදනයන්හි හිඟයක් වුණේ නෑ. ඉල්ලලන්නේ නැතිව ලැබෙනවා. හොඳ කරන විට කවර ආකාරයකින් හෝ ලැබෙන බව මා විශ්වාස කරනවා.

ලෝකයට ජනිත කළ මව්පියන්ටත්, ආධාර උපකාර කරන අයට පින් සිදුවෙන්නටත් මේ සියලු දේ හේතු වනු ඇති.