Print this Article


ගිහි ගෙදරට දහම් වැටක් : නව වසරයි අලුත් බලාපොරොත්තුවයි

නව වසරයි අලුත් බලාපොරොත්තුවයි

සිංහල බෞද්ධ සංස්කෘතික සමාජයට නව ආකාරයකින් අලුත් සිතිවිලි සිතන්නට, අලුත් ආකාරයකින් කටයුතු කරන්නට නව වසරක් උදාවෙලා තිබෙනවා.

ඒ වගේම අලුත් ආකාරයකට වැඩ කටයුතු කරමින්, සංවර්ධනය කරා රට ගමන් කරාවි යන බලාපොරොත්තුව තබාගත හැකි නව දේශපාලන නායකත්වයකුත් පහළවෙලා තිබෙන අවධියක්. ලැබුවා වූ නව වසර ගැන පමණක් නොවෙයි, ඉදිරි දසකය ගැනත් හිතලා වැඩ කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. ඉදිරි වසර දහය තුළ තමන්ගේ ජීවිතය, තමන්ගේ පවුල, තමන්ගේ විවාහය, තමන්ගේ ගම, තමන්ගේ රට වගේම, තමන්ගේ ජාතිය ගැනත් හිතල අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට සුදුසු කාලය එළඹිලා තිබෙන බව සිහිපත් කර දිය යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ‘ආරභථ’ යනුවෙන් සඳහන් වෙනවා. හොඳ ආරම්භයක් ගත යුතු බව එහි අදහසයි.

වැඩක් ආරම්භ කළයුතු ආකාරයත්, එය ක්‍රියාත්මක කළ යුතු ආකාරයත්, එය අවසන් කළ යුතු ආකාරයත් යන කාරණා තුනම බුදුදහමෙහි උගන්වනවා. ඇතැම් පුද්ගලයන් බොහෝ අවස්ථාවල හැමදාමත් වැඩක් පටන්ගන්නවා පමණයි, එහි අවසානයක් නැහැ. ඒ වගේම, ඇතැම් පුද්ගලයන් වැඩක් ආරම්භ කළ විට අඛණ්ඩව ක්‍රියාවට නඟාගෙන සිටිනවා මිස අවසානයක් දකින්නේ නැහැ. තමන්ගේ ජීවිතය තුළ අලුත් බලාපොරොත්තු ඇතිකරගත්තා සේම පරමාර්ථ වශයෙන් කෙටිකාලීන අරමුණු සහ දිගු කාලීන අරමුණු වශයෙන් වර්ග දෙකක් පවතිනවා. තමන්ගේ ජීවිත කාලය තුළ දවසින්, දෙකින්, අවසන් කරන වැඩ කෙටි කාලීන අරමුණුයි. ඒ වගේම තමන්ගේ ජීවිතය පුරාම යන අරමුණු දිගු කාලීනයි. තමන් ගමන් කළ යුත්තේ කොතැනට ද? තමන් කුමන ආකාරයේ පුද්ගලයකු විය යුතු ද? තමන්ගේ අරමුණු මොනවාද?බාල, මහලු, තරුණ, වැඩිහිටි යන ජීවිතයේ විවිධ අවස්ථාවන්හි පසුවන ඕනෑම පුද්ගලයකුට මෙවැනි ආකාරයේ කෙටි කාලීන හා දිගුකාලීන අරමුණු පැවතීම සාමාන්‍ය දෙයක්. දෙව් මිනිස්, සැප කෙළවර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිවන් දැකීම මරණින් පසු පවතින අරමුණක්.

මෙවැනි ආකාරයේ සුබ අරමුණු මනසෙහි හටගැනීම, එම අරමුණු මනසෙන්ම සැලසුම් කිරීම, එම සැලසුම් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා.

මේ ආකාරයෙන් ඔබගේ ජීවිතය නව අරුතකින් නැවුම් ව ආරම්භ කරන විට ඔබ තුළ මාර සේනාවක් ක්‍රියාත්මක විය හැකියි. ඕනෑම පුද්ගලයකු යහපත් සිතිවිලි සිතාගෙන ඉදිරියට ඇදීමට උත්සාහ ගන්නා විට එම සිතිවිලි ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන සිතිවිලි විශේෂයක් පවතින බව අවබෝධ කරගත යුතු කරුණක්. එනම්, කම්මැළිකම උඩඟුකම, උදාසීනකම වැනි තමන් කරන යහපත් ක්‍රියාවට එරෙහි ව තමන්ගේ මනසින්ම පහළවන සිතිවිලි විශේෂයයි. එය මාර සේනාවයි. බුදුරජාණන් වහන්සේට පමණක් නොවෙයි, යහපත්ව කටයුතුවල යෙදෙන ඔබටද, මාරසේනාවත් සමඟ සටන් කිරීමට සිදුවෙනවා. තමන් හැම වැඩක්ම ක්‍රියාවට නැගීමේ දී උදාසීන සිතිවිලි පැමිණෙනවා. මේ වන විට එවැනි ආකාරයේ සිතිවිලි ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා ඇති. නැත්නම් ඉදිරියේ දී හෝ පැමිණේවි. ඔබද එම මාරසේනාව සමඟ සටන් කළ යුතු වෙනවා. තමා විසින්ම එම සිතිවිලි පරාජය කළ විට නැවත එම සිතිවිලි පැමිණෙන්නේ නැහැ. තමන් ක්‍රියාත්මක වන බොහෝ අවස්ථාවල එම සිතිවිලි බලවත් වෙයි.

තමන්ගේ උත්සාහය, ධෛර්යය, වීර්යය, සමඟ සිතිවිලි සටනක යෙදුනහොත්, ඔබ ජයග්‍රහණය කරාවි. එවැනි සිදුවීම් බුදුදහම තුළ ඕනෑතරම් අන්තර්ගත වෙලා තිබෙනවා. තමන් වැඩක් කිරීමට පෙළඹෙන විට, ඒ සඳහා සෘජු ලෙස තමා විසින්ම අකුල් හෙළයි.යකඩයක් එළියට දැමූ විට යකඩයේ හටගන්නා වූ මළකඩය විසින් පළමුවෙන්ම එම යකඩය විනාශ කර දමන බව බුදුදහම පෙන්වා දෙනවා. තමන් තුළ හටගන්නා වූ අයහපත් සිතිවිලි තුළින් තමාම විනාශයට පත්වුණත් එම විනාශය සිදුවනතෙක් තමන්ට වැටහීමක්, අවබෝධයක් නැතිවීම එහි භයානක කමයි. සියලු සිදුවීම් අවසන් වූ බවත් නොදන්නා පුද්ගලයන් සිටිනවා. ඒ නිසා තමන් ගන්නාවූ උත්සාහයට බාධා පමුණුවන, තමාගේ සිතිවිලි සමූහය වන මාර සේනාව පරාජය කර ජය ගැනීමට අධිෂ්ඨාන කරගන්න. තමන් ජීවත්වන පරිසරය, තමාගේ යහළු මිත්‍රයන්, හිතවතුන් අතින් ද මෙවැනි බාධා කිරීම් සිදුවන නිසා, අභ්‍යන්තරික බාධාවන් හා බාහිර බාධාවන් වශයෙන් ද එය හඳුනාගත ගැනීමට පුළුවන්.

ඔබ උත්සාහ නොගත හොත් බාධා හමුවේ, ඔබ පරාජයට පත්වේවි. වැඩ කරන බවට ප්‍රකාශ කරමින් වැඩනොකර සිටී මේ ස්වභාවයක් ඇති වේවි. එනිසා එම තත්ත්වයන් හොඳින් අවබෝධ කරගෙන තමන් කරන ක්‍රියාව වැදගත් උත්සාහයකින් හා යහපත් ඇරඹුමකින් සිදුකිරීම වැදගත් වෙනවා. හැම ජයග්‍රහණයක් ම ආරම්භ කරන්නේ කුඩා ස්ථානයකින්. හැම දුරගමනක් ම පටන් ගෙන ඇත්තේ එක අඩියක් ඉදිරියට තබමින්. එනිසා ඇරඹුම කුඩා වුවත්, ප්‍රතිඵලය විශාල බව අවබෝධ කරගන්න. ඕනෑම පුද්ගලයකු විශාල ජයග්‍රහණයක් කරා ගමන් කර ඇත්තේ කුඩා ආරම්භයකින් මිස, විශාල ඇරඹුමකින් නොවෙයි. චුල්ල සෙට්ටි ජාතකයේ කතාවට, අනුවත් කුඩා තැනකින් පටන්ගෙන ඉදිරියට යාම වැදගත් වන බව වැටහෙනවා. කෙතරම් දුරක් ඉදිරියට ගමන් කළ යුතු ද? යන්න තමාගේ මනස තුළ තිබිය යුතු කරුණක්. එනිසා පුද්ගලයකු ලෙස ධෛර්ය සම්පන්න ව කටයුතු කළ යුතු බව සිහිපත් කළ යුතු යි.

“පුතේ උඹ බුදු වෙයන්” යන අම්මාගේ වචනය තුළ අධිෂ්ඨානය, චිත්ත ශක්තිය, කැපවීම තුළ තම අරමුණ කරා ගමන් කළ ආකාරය බුදුදහමේ සඳහන් වෙනවා. ඕනෑම පුද්ගලයකුට බලාපොරොත්තුවන අරමුණු සාර්ථක කරගැනීමට බැරිකමක් නැහැ. කළ යුත්තේ කරන්නේ කෙසේද? යන සැලසුම සිතට ගෙන ක්‍රමානුකූල ව, ඉවසීමෙන් කල්පනාවෙන්, කටයුතු කිරීම පමණයි අවශ්‍ය වන්නේ. යහපත් සිතිවිලි තිබෙන පුද්ගලයකුට ඕනෑම ස්ථානයකින් යහපත් ආරම්භයක් ලබාගෙන ඉහළ තත්ත්වයක් කරා ගමන් කළ හැකි බව චුල්ල සෙට්ටි ජාතක කතාවෙන් පැහැදිලි වන කාරණාවක්. එහි සඳහන්වන ආකාරයට සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙළෙඳාමක් ආරම්භ කරමින් අවසානයේ සිටු තනතුරු දක්වා ගමන් කළ ආකාරය පැහැදිලි වෙනවා. හොඳ ඇරඹුමක් සහිත ව ගමන් කරනවා නම්, ඒ සඳහා කැපවීම තිබෙනවා නම්, තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබත් මේ වර්ෂය තුළ අර්ථවත් අදහස්වලින් මේ රට පෝෂණය කරන්නට, ඔබගේ ජීවිතය පෝෂණය කරගන්නට ශක්තිය, ධෛර්ය අධිෂ්ඨානය ඇතිකර ගත යුතුයි.