Print this Article


ස්වර්ණමාලී සෑ රදුන් අබියස මහා චීවර පූජාව

ස්වර්ණමාලී සෑ රදුන් අබියස මහා චීවර පූජාව


ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අබියස පැවැත්වීමට යන උතුම් පින්කමකි. ඒ සාමාන්‍ය පින්කමක් නොවේ. හැටදහසක් සිවුරු පූජා කරන මහා චීවර පූජාවකි. මෙවැනි උතුම් පින්කමක් මීට පෙර වාර්තා වී ඇත්තේ අනුරාධපුර යුගයේ මහසිළු මහතිස් රාජ්‍ය පාලනයේ දී පමණි.

වළගම්බා රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් මහසිළු මහතිස් (මහා චූලික මහා තිස්ස) රජු විසින් සුඛිත මුදිත සමාජයක් නිර්මාණය කිරීම වස් ආධ්‍යාත්මික බලය ගොඩනැංවීම අරමුණු කොටගෙන මහ සඟරුවන වෙත සැට දහසක (60000) සිවුරු පූජා පින්කම් දෙකක් සිද්ධ කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. මහසිළු මහතිස් රජුගේ නායකත්වය යටතේ සිද්ධ කෙරුණු එම උතුම් පින්කම්වලින් පසු ස්වාභාවික විපත්, සතුරු අනතුරු නොමැති ව සශ්‍රීක ලෙස රට ගොඩනැඟුණු බව ද ඉතිහාසයේ සඳහන් වේ.

මේ නිර්මාණය වෙමින් ඇත්තේ ද සංගායනාවට ඇවැසි කාලයකි. ඒ සඳහා දියුණු ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් ආරම්භ විය යුතු ය. ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සංකල්පයක් සහ අනුශාසකත්වය යටතේ මේ උත්තම ගනයේ සිවුරු පූජාව සිද්ධ කරනු ලබන්නේ යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ඇවැසි ආධ්‍යාත්මික වැඩපිළිවෙළේ ආරම්භයක් ලෙසය. එහෙත් මේ දැවැන්ත පින්කම ඤාණසාර හිමි ඇතුළු තවත් කිහිපදෙනකුට පමණක් කළ නොහැකිය. අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අභියස සිවුරු පූජා කිරීම සඳහාම හැටදහසකට වැඩි සැදැහැවත් පිරිසක් සිටිය යුතුය. එමෙන්ම සිවුරු හැටදහසක් මිලට ගැනීම යනු විශාල මුදලක් වැය වන දැවැන්ත කර්තව්‍යයකි. එම සිවුරු පූජා කිරීමට මහ සංඝයා එක්රැස් කිරීම ඊටත් වඩා අසීරු කටයුත්තකි.

මේ පිළිබඳව ඤාණසාර හිමියෝ මෙසේ අදහස් දක්වති.

“මෙවැනි පින්කමක් කරන්න මට අදහස ආවේ 2016 වර්ෂයේදී. සිරගත වෙලා ඉන්නකොට බොහොමයක් පොත්පත් කියවන්න අවස්ථාව ලැබුණා. ඒ අතර ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ලියපු ජාතික තොටිල්ල පොත, උඩරට කැරැල්ල, මහාවංශයේ පරිච්ඡේද ගණනාවක් කියවන්න මට අවස්ථාව ලැබුණා. ජාතික තොටිල්ල පොතෙන් හරි අපූරු කවියක් කියවන්න ලැබුණා...”

මහ සිළු මහතිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම සිතනු සොඳා

“ඒ කවියෙන් කියැවෙන්නේ අනුරාධපුර යුගයේ මහසිළු මහතිස් රජතුමා විසින් කරපු සිවුරු පූජාවක් ගැන. මේ කවිය මගේ හිතට තදින් කා වැදුණා. දෙවතාවක් කියනකොට කටපාඩම් හිටියා. මේ කවිය ඇතුළේ විශාල පින්කමක් ගැන කතාවක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම තේරුම් ගත්තා. ඊට පස්සේ මම මහාවංශය කියවාගෙන යනකොට තිස්හතර වැනි පරිච්ඡේදයේ දී මහසිළු මහතිස් රජතුමා ගැන සඳහන් වෙලා තිබුණා. ඒ රජතුමාගේ කාලයේදී රටට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරලා අවස්ථා දෙකක දී සිවුරු පූජාවන් පවත්වලා තිබුණා. එක අවස්ථාවක දී මහතිස් රජතුමාගේ වියදමින් සිවුරු තිස්දහසකුත්, දෙවැනි අවස්ථාවේදී සිවුරු හැටදහසකුත් පූජා කරලා තිබුණා.

ඉතින් මට කල්පනා වුණා අධර්මය බලවත් වී අධර්මවාදී බලවේගවල පහසු ගොදුරක් බවට පත්ව තිබූ අපේ රටේ ධර්මය දිනවීමට නම් මෙවැනි උතුම් පින්කමක් සිද්ධ කිරීමට ඇවැසි බව. ඒ වගේම රට වෙලාගෙන තිබෙන මිථ්‍යා දෘෂ්ටික අධර්මවාදය පරදවලා ධර්මය දිනවීමට නම් අපේ හාමුදුරුවෝ එක්ක යම්කිසි බුද්ධිමය සංවාදයක් ගොඩනඟාගැනීමට අවශ්‍ය බවත් තේරුම් ගත්තා. ඒ අනුව කල්පනා කරනකොට ‘සංඝානු භාවේන ජාතියේ චීවර පූජාව’ කියලා පින්කමට සුදුසු නමකුත් මගේ සිතට ආවා. මහසිළු මහතිස් රජතුමා සිද්ධ කරපු ඒ චීවර පූජාව අදට ගැලපෙන පරිදි කෙසේ හෝ සිද්ධ කරන්න ඕනෑ කියලා තීරණය කළා.

“මේ පින්කම සිද්ධ කිරීමේ ප්‍රධාන පරමාර්ථ තුනක් තියෙනවා. නිදහසින් පසු ගෙවුණු 71 ක් වසරක කාලය තුළ මේ රට තුළ අභ්‍යන්තර කෝලාහල නිසා අවම වශයෙන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් මිය පරළොව ගිහින් තියෙනවා. කැලඹුණු සිතින්, ද්වේෂසහගත, පටිඝ සිතින් මරණයට පත් වෙච්ච ඒ අය වෛරක්කාර සිතින් නැවත පුනර්භවය ලබා බොහෝ තැන්වල උප්පත්තිය ලබලා ඇති. එහෙම ජන්මලාභීන් මේ රටට යහතින් ගොඩනැඟෙන්න දෙන්නේ නෑ. තිරෝ කුඩ්ඩ ආදී සූත්‍රවල පවා එවැනි පුනර්භවයන් ගැන සඳහන්කොට තියෙනවා. රටේ භික්‍ෂූන් වහන්සේලා විදිහට අපි මේ ප්‍රශ්න දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලා විසඳුම් සෙවීමට කටයුතු කරන්න ඕනෑ. ඒ අනුව තමයි, ඒ ආකාරයෙන් මිය පරලොව ගිය සියලුම දෙනා සිහිපත් කොට රුවන්මැලිසෑය ඉදිරිපිට සාධුකාර හැටදහසක් පවත්වලා පැන් වඩා පින් අනුමෝදන් කර ඒ අයට සුගතිය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ...”

“ඒ වගේම පහුගිය කාලයේ දී හිටි හැටියේ ආයුධ ගබඩා පිපිරුණා. කඳු නාය ගොස් ගම් පිටින් වැළලුණා. බලාපොරොත්තු නොවුණු ගනයේ ස්වභාවික විපත්වලට මේ රට ගොදුරු වුණා. මගේ රටට නැවත කිසිදු ආකාරයක ස්වාභාවික විපත්තියක් නැතුව, රටේ මිනිස්සුන්ට දුකක් කරදරයක් නැතිව සතුටින්, සාමාදානයෙන් ජීවත්වීමට මේ බුද්ධ භූමිය ස්වාභාවික විපත්තීන්ගෙන් ආරක්‍ෂා වේවා කියා ප්‍රාර්ථනා කිරීම තමයි මේ පින්කමේ දෙවැනි අරමුණ. ඒ වගේම ලංකාවේ වැඩ සිටින සියලුම හාමුදුරුවෝ එකතැනකට වැඩමවීම අසීරු කටයුත්තක්.

ඒ නිසා අපි මේ පින්කම කොටස් වශයෙන් තමයි සිද්ධ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. පළමු කොට සිවුරු හැටදහසම රුවන්මැලිසෑය ඉදිරිපිට සාංඝික වශයෙන් පූජා කරලා නැවත ඒ සිවුරු ටික එකතු කරගෙන, තෝරාගත් දිස්ත්‍රික් දහඅටක් පුරා සංචාරය කරමින් අපේ හාමුදුරුවෝ මුණගැහෙමින් සිවුරු දෙක බැගින් පූජා කරනවා. ඒ සමඟ සංගායනාවට කාලය ගැන ඒ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනවා. අපේ රටේ බහුතර භික්‍ෂූන් වහන්සේලා මේ ආගමික අන්තවාදය, ආගමික මූලධර්මවාදය, සංස්කෘතික ආක්‍රමණය ගැන පූර්ණ දැනුවත් වීමක් නෑ. ඒ නිසා ගමේ රජුන් වගේ සිටින හාමුදුරුවන් මේ කරුණු ගැන දැනුවත් කරමින්, ජාතියක් විදිහට ඉදිරියට වැඩ කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම තමයි මේ පින්කමේ ඇති වැදගත්ම අරමුණ. ඒ ආකාරයෙන් රට පුරා වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා හතළිස් දහසෙන්, තිස්දාහකටවත් කතා කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය...”

“මේ, සාමාන්‍ය පින්කමක් නෙමෙයි. විශාල පිරිවැයක් දැරිය යුතු දැවැන්ත පින්කමක්. පින්කමේ ප්‍රධානම කටයුත්ත සිවුරු හැටදහස එකතු කරගැනීම.

ඉන්දියාවේ සිවුරු නිෂ්පාදන ආයතනයකට කතා කරලා පින්කම ගැන පැහැදිලි කරලා සිවුරකට වියදම් කළ හැකි උපරිම මුදල දැනුම් දුන්නා. ඒ ආයතනය විසින් අපේ උපරිම මුදලට හොඳම වර්ගයේ සිවුරක් ලබාදෙන්න කැමත්ත ප්‍රකාශ කළා. ඒ අනුව මේ වෙනකොටත් සිවුරු හැටදහස පිළියළ කරන්න ඉන්දීය ආයතනයට භාර දීලා තියෙනවා.

දැනට අපිට සිවුරු කන්ටේනර් දෙකක් ලැබිලා තියෙනවා. ඒවට අපි යම් මුදලක් ගෙවලත් තියෙනවා. දැන් ඒ කටයුත්ත බොහෝ දුරට අහවරයි. ඊළඟට අපිට තියෙන ප්‍රධාන කාරණය මේ සිවුරු මහා සංඝරත්නයට පූජා කිරීම සහ දායක, දායිකාවන් සම්මාදම් කරගැනීම...”

ජාති, ආගම් බේදයකින් තොරව ජීවිතයේ සුන්දරත්වයට ආධ්‍යාත්මික මං සොයන අපේ යෞවන යෞවනියන් සියලු දෙනා එළැඹෙන පෙබරවාරි 22 වැනිදාට අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අභියසට එක්රැස්ව ජාතියේ මහා චීවර පූජාවට සම්මාදම් වන බව අපගේ විශ්වාසයයි. මේ උත්තම පින්කම සාර්ථක කරගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබාදීමට කැමති ඔබට 0112866090 දුරකථන අංකය ඔස්සේ බොදු බල සේනා ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කළ හැකි ය. එමෙන්ම 0773222260, 0713222260, 0766880030 ජංගම දුරකථන අංක ඔස්සේ චීවර පින්කමේ සංවිධායක මහත්වරුන්ට කතා කළ හැකිය. විදේශීය රටවල සිටින සැදැහැවත් ඔබට ඹඹඹ.ඡධඤභඡචතචඵඥදච.ධපඨ ඊමේල් ලිපිනය හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

ගිණුම් අංක 73308824 බොදුබල සේනා ජාලය, ලංකා බැංකුව තිඹිරිගස්යාය ශාඛාවටද, ගිණුම් අංක 002960004011 බොදුබල සේනා ජාලය, සම්පත් බැංකුව ප්‍රධාන කාර්යාලයටද ආධාර කළ හැක.