ත්‍රිවිධ සම්පත්ළඟා කර ගනිමු
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මිළිඳු රජුගේ සහ නාගසේනයන් වහන්සේ ගේ ධර්ම සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා
වසර පන්සියයක් ඉක්ම ගිය තැන සිදු වූ සිදුවීමකි. ඒ ධර්ම සංවාදයතුළින් අපගේ ජීවිතයට
ගලපා ගත හැකි ධර්ම කරුණු බොහෝ ය.
මිළිඳු රජු නාගසේනයන් වහන්සේගේ පා කමල් ඉදිරියේ බිම වැටී සිරසින් වන්දනා කොට මෙසේ
පැවසුවේ ය.
“ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ මෙසේ කියති. “බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ පුද පූජා
පිළිගනිත් නම්, උන්වහන්සේ පිරිනිවන් නො පෑවේ ය. ලෝකය හා එක් ව සිටියි. ලෝකයට ඇතුළත්
ව සිටියි. එහෙයින් බුදුරදුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ
ය. ඉදින් පිරිනිවන් පෑවේ නම් ලෝකයෙන් වෙන් වී සිටින්නෙකි. ලෝකයෙහි සියලු භවයන්ගෙන්
බැහැරට ගිය කෙනෙකි. එබඳු උතුමෙකු උදෙසා පූජාවන් ප්‍රයෝජන නැත්තේ ය. පිරිනිවන් පෑ
හෙයින් කිසිවක් නො පිළිගනියි. නො පිළිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ
ප්‍රතිඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය.
මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. රහත් ඵලය නො ලැබූ කෙනෙකුට මේ ප්‍රශ්නය විෂය නොවෙයි. මහා
ප්‍රඥාවන්තයන්ට ම මෙය විෂය වූවකි. මේ දෘෂ්ටි ජාලය බිඳිනා සේක්වා. ඔබ වහන්සේ වෙත මේ
ප්‍රශ්නය පැමිණියේ ය. අනාගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රඥා ඇස උදෙසා දෙවා වදාරණ
සේක්වා!
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ
පුද පූජාවන් නො පිළිගන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙහි දී ශ්‍රී
සම්බුද්ධත්වය ලබා නික්ලේශී ව අරහත්වයට පැමිණි මොහොතේ දී පුද පූජා පිළි ගන්නා ආශාව
ප්‍රහීණ වූයේ ය. කිම, එසේ ඇති කල්හි අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා
වදාළ භාග්‍යවතුන් වහන්සේ පුද පූජා නො පිළිගනිති යි යන්න අමුතු කරුණක් ද?
මහරජාණෙනි, අපගේ සාරිපුත්ත ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙය වදාරන ලද්දේ ය”.
අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා
සත්කාරයන් උන්වහන්සේලා නො ඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවකි.
එවිට මිළිඳු රජු මෙසේ කීවේ ය.
“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, පුත්‍රයා පියාගේ ගුණ කියයි. පියා පුත්‍රයාගේ ගුණ
කියයි. මෙය නිග්‍රහයට කරුණක් නම් නොවෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි
ප්‍රසාදයෙන් කරන ලද ප්‍රකාශයකි. එසේනම් එහිලා ඔබ වහන්සේ මා හට ස්වකීය පිළිතුර මනා ව
පිහිටීම පිණිසම දෘෂ්ටි ජාලය ලිහා දැමීම පිණිස අන්‍ය කාරණයක් වදාරන සේක්වා!
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද
පූජාවන් නො ඉවසන සේක. එසේ පුද පූජා නො පිළිගන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන්
වහන්සේ මුල්කොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහානීය රත්නය අරමුණු කොට, යහපත්
ව ප්‍රතිපත්තිය සේවනය කරමින් දෙව් මිනිස්හු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති.
මහරජාණෙනි, යම් සේ මහා ගිනි කඳක් ඇවිළී නිවි යයි ද එකල්හි මහරජාණෙනි, ඒ මහා ගිනි කඳ
වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසන්නේ ද?”
“ස්වාමීනි දැල්වෙන්නා වූ ඒ මහා ගිනි කඳක ත් , වියළි තණ දර ආදිය වැළඳ සතුටින්
ඉවසීමක් නැත්තේ ය. කිම, එසේ ඇති කල්හී නිවී ගිය සංසිඳී ගිය අචේතනික වූ දෙය ඉවසන්නේ
ද?
“මහරජාණෙනි, නිවී ගිය, ශාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්හී ලොව ගින්නෙන් හිස්
වී ගියේ ද?”
“නැත, ස්වාමීනි, වියළි තෘණ, දර ආදිය පමණක් ගින්නට මූලික අරමුණ වූයේ, හේතුව වූයේ
නොවෙයි. යම්කිසි මනුෂ්‍යයෙක් ගින්න කැමති වෙත් ද? ඔවුහු තමන්ගේ සවිබල වීර්යයෙන් ද,
තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද ගිනිගානා දණ්ඩෙහි වියළි දරකඩ මඬිමින් ගිනි උපදවා ඒ
ගින්න කරණ කොට ගෙන ගින්නෙන් කළ යුතු කර්මාන්ත කරති.”
“එසේ වී නම් මහරජාණෙනි, නො ඉවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ ය. නිෂ්ඵල
වන්නේ ය. අන්‍ය තීර්ථකයන්ගේ වචනය බොරුවක් වෙනවා නොවැ.
මහරජාණෙනි, මහා ගිනි කඳ දැල්වෙන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස
සහශ්‍රී ලෝකධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබළ වූ සේක. ඒ මහා ගිනි කඳ බැබළී නිවී
ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකාධාතුව බුද්ධශ්‍රීයෙන්
බබුළුවා පිරිනිවන් පා වදාළ සේක.
මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ තෘණ, දර ආදිය වැළඳ ගැනීමක් නැත්තේ යම් සේ ද, එසෙයින්
තථාගතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්‍රහාණය වී, සංසිඳී ඇත්තේ ය.
මහරජාණෙනි, නිවී ගිය ගිනිකඳ කිසිවක් නො වැළඳ ගන්නා හෙයින් සවිබල වීරියෙන් යුතු
මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඬිමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරත්
ද, එසෙයින් ම මහරජාණෙනි, පිළිගැනීමේ ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ
ධාතු රත්නයන් වහන්සේ පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නය
අරමුණු කොට මනා වු පිළිවෙත් සේවනය කරමින් දෙව් මිනිසුන් ත්‍රිවිධ සම්පත්තිය අත්පත්
කරගනිති.
මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද
පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.
තව ද මහරජාණෙනි, අන්‍ය වූ කාරණයකුත් ඇත්තේ ය. යම් කරුණකින් පුද පූජා පිළිගැනීමෙහි
ආශා නැති, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා කරන පුද පූජා වඳ නැත්තේ ද, ඵල සහිත
වන්නේ ද, එය අසනු මැනැව.
මහරජාණෙනි, මහා සැඩ සුළඟක් හමා ගොස් නවතින්නේ ය. එසේ නැවතී ගිය සුළඟ යළි උපදින
ආශාවෙන් ගස් කොළන් වැළඳ ගන්නේ ද?”
“ස්වාමීනි යළි උපදින ආශාවෙන් සිතා බැලීමක් හෝ මනසිකාරයක් හෝ ඒ නැවතුනු සුළඟට නැත්තේ
ය. ඒ මක් නිසා ද යත්, වායෝ ධාතුවට සිතක් නැති නිසා ය”.
“එමෙන්ම මහරජාණෙනි, ඒ සුළඟ නැවතී ගිය පසු “සුළඟ” යන නාමය පැවසීම ලොවෙහි නැතිව යන්නේ
ද?”
“නැත, ස්වාමීනි තල් අතු, අවාන ආදියෙන් යළි සුළඟ හටගැනීමට හේතු ඇති වන්නේ ය.
උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත වු යම් මිනිස්සු වෙත් ද, ඔවුහු තල් අත්තෙන් හෝ
අවානෙන් හෝ සවිබල වීර්යයෙන් ද තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද, සුළං උපදවති. ඒ
සුළඟින් උණුසුම නිවා ගනිති. පරිදාහය සංසිඳුවා ගනිති.”
“මහරජාණෙනි, මේ කරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන
ලද පුද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.
මහරජාණෙනි, මහා සැඩ සුළං හැමුවේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී
ලෝක ධාතුවෙහි සිහිල් වූ, මියුරු වූ ශාන්ත වූ, සියුම් වූ මෛත්‍රී සුළං හමා වදාළ සේක.
මහරජාණෙනි, මහා සැඩ සුළං හමා නැවතී ගියේ යම් සේ ද. එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ
සිහිල් වූ, මියුරු වූ, ශාන්ත වූ, සියුම් වූ මෛත්‍රී සුළං හමා අනුපදිශේෂ පරිනිර්වාණ
ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
මහරජාණෙනි, නැවතී ගිය සුළඟ නැවත උපදවන ආශාවක් නැත්තේ ය. එසෙයින් ම ලෝකහිතයන්
වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්‍රහාණය වී ඇත්තේ ය. සංසිඳී ඇත්තේ ය.
මිනිස්සු උණුසුමෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිත් ද. එසෙයින් දෙව් මිනිසුන් රාග,
ද්වේෂ, මෝහ යන. ත්‍රිවිධ ගින්නෙන් තැවී, පරිදාහයෙන් පීඩිත ව සිටිති. තල් අත්තෙන්,
පවන් අත්තෙන් සුළං ඉපදවීමට හේතු වන්නේ යම් සේ ද, එසෙයින් ම තථාගතයන් වහන්සේගේ ධාතු
රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද, ත්‍රිවිධ සම්පත් ඉපදවීමට හේතුව වෙයි.
උණුසුමින් තැවී ගිය, පරිදාහයෙන් පීඩිත වූ මිනිස්සු තල් අත්තෙන්, වටා අත්තෙන්, සුළං
උපදවා උණුසුම නිවා ගනිත් ද, පරිදාහය සංසිඳුවා ගනිත් ද, එසෙයින් ම මහරජාණෙනි, පුද
පූජා පිළිගැනීමෙහි ආශාව නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන්
වහන්සේලාට ද, බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා ඒ කුසල් බලයෙන් රාග,
ද්වේෂ, මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා
ගනිති.
මහරජාණෙනි, මේ කාරණයෙනුත් නො ඉවසන්නහුට කරන ලද පුද සත්කාරයන් වඳ බවට පත් වන්නේ ය.
නිෂ්ඵල වන්නේ ය. යන තීර්ථකයන් ගේ වචනය බොරුවක් බවට පත්වෙයි.
තව ද මහරජාණෙනි, පුරුෂයෙකු විසින් උපදවන ලද යම් බෙර හඬක් ඇද්ද, ඒ හඬ නැතිවී යන්නේ
නම්, නැවත උපදවා ගැනීමේ ආශාවක් ඒ බෙර හඬට ඇත්තේ ද?”
“නැත, ස්වාමීනි, ඒ බෙර හඬ නැතිවී ගියේ ය. එය යළි උපද්දවන ආශාවක් හෝ සිතා බැලීමක් හෝ
මනසිකාරයක් හෝ ඒ බෙර හඬට නැත්තේ ය. ස්වාමීනි , ඒ හඬෙහි උපතට හේතු වූයේ බෙරය යි. එසේ
පුරුෂයා කරුණක් ඇති කල්හි තමා තුළින් හටගත් උත්සාහයෙන් බෙරයට පහර දී හඬ උපදවන්නේ
ය.”
“එසෙයින් ම මහරජාණෙනි. භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි ප්‍රඥා, විමුක්ති , විමුක්ති
ඥාන දර්ශනයෙන් දියුණුවට පත් ව ධාතුන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද ,
ශාස්තෘ තනතුරෙහි තබා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ සම්පත්ති ලාභය සිඳී ගියේ නැත්තේ ය. භව
දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද, ධර්මය ද, විනය ද, අනුශාසනාව ද, හේතු කොට
සැප කැමති අය සැප ලබා ගනිති.
මහරජාණෙනි, මේ කාරණයෙකුත් පුද පූජා නොඉවසන්නා වූ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ
උදෙසා සිදුකරන ලද පූජා සත්කාරයෝ වඳ නොවෙති. නිෂ්ඵල නොවෙති. |