Print this Article


සිව් පදයෙන් වෑහෙන සදහම් අමාදිය: ලෝ වැඩ සඟරාව

සිව් පදයෙන් වෑහෙන සදහම් අමාදිය:

ලෝ වැඩ සඟරාව

" මිසදිටු වීම ලොව බලවත් නපුරකි. දසවස්තුක මිසදිටු බව ආදිය පිළිබඳ ව සොයා බැලීමෙන් ඒ බැව් වඩාත් පැහැදිලි වේ. මිසදිටු වූවන් හට තෙරුවන පිළිබඳ ව ඇත්තේ ද බලවත් අප්‍රසාදයකි. මූඪව හා කෙල තොලු වීමද පින් කිරීමට නොහැකි අවස්ථාවක් බව මනාව දිස් වේ."

අතීත, අනාගත, වර්තමාන යන තුන් කල් දකිමින් අංගීරස බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මුදාහළ සද්ධර්ම වර්ෂාව වනාහි සසර මරුකතර අතරමං වූ සත්වයනට දාහ නිවනා සිසිලක් වැනි ය. සරතැස නිවනා දිය උල්පතක් බඳුය. එවන් බුදු වදන් සිව් පදයකට ගොනු කොට කීමට හැකි වන්නේ ප්‍රතිභාපූර්ණ කවියෙකුට පමණි. එසේ සිව්පදයෙන් කී බුදු වදන් මිණි පොකුරේ දිදුළන මාණික්‍යක් ලෙස ලෝ වැඩ සඟරාව අර්ථ දැක්වීමේ වරදක් නැත. කෝට්ටේ යුගයෙහි දී වීදාගම මෛත්‍රීය ස්වාමින්ද්‍රයන් විසින් රචිත ලෝවැඩ සඟරාව වූ කලී දහම් මිණිමුතු ඉහිරෙන දහම් කොටුගුලුවකි. එබැව් යථෝක්ත කාව්‍ය ග්‍රන්ථයෙහි දිස්වෙන පහත නිදසුනින් සනාථ වේ.

සියල් සසර දුක් දුරු කර නොයෙකී
අසල් කරන මොක් සිරි සැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටකි පින්කම් කළ නොහැකී

මෙම පද්‍ය බොහෝ දෙනෙකු විසින් අසා ඇති බව නම් නොරහසකි. එහෙත් මෙහි අර්ථය යළිත් සිහිපත් කර ගැනීම දන්නා වූ කරුණු දියුණු තියුණු කර ගැනීමට උපනිශ්‍රය වේ.

සකල සත්ත්වයිනි, සියලු සසර දුක් නැති, කොට ඒකාන්තයෙන් ම නිවන් සුව ළඟා කර දෙන කුසල් ම කරව් යැයි මුනිවර වූ බුදුන් වහන්සේ වදාළ සේක. එනමුත් එවන් පින්කම් කළ නොහැකි අකාල අටක් ද වේ. යනු මෙහි අරුතයි. මෙම අදහස වනාහි ලෝ වැඩ සඟරාව රචනා කිරීමට පාදක වූවායැයි වියතුන් විසින් අදහස් දක්වන අභයගිරි කවි චක්‍රවර්තී භදන්ත ආනන්ද තෙරුන් විසින් රචිත සද්ධම්මෝපායනයේ දී මෙලෙසින් දැක්වේ.

අට්ඨක්ඛණ විනිමුත්තං - ඛණං පරම දුල්ලභං
උපලද්ධේන කත්තබ්බං - පුඤ්ඤං පඤ්ඤාවතා සදා

අට වැදෑරුම් වූ අයෝග්‍ය අවස්ථාවන්ගෙන් මිදුණා වූ , අතිශයින් දුර්ලභ වූ , යෝග්‍ය අවස්ථාවක් ලැබුවා වූ නුවණැත්තා විසින් පින් කළ යුතු ය.

සද්ධම්මෝපායනයට හා ලෝවැඩ සඟරාවට පාදක වූ පින්, කුසල් කිරීමට අයෝග්‍ය වූ කාල අටක් පිළිබඳ ව දක්වන දේශනාවක් අංගුත්තර අට්ඨක නිපාතයෙහි අක්ඛණ සූත්‍රයෙහි දක්නට ලැබේ. සැබවින් ම මෙහි පින් කළ නොහැකි කාල අටක් ලෙස දැක්වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කුසලයෙහි නිරතවන්නට අවකාශ නොලැබෙන අවස්ථාවන් අටක් බව තේරුම් ගත යුතුව ඇත. එම සූත්‍රයෙහි මේ බැව් දක්වා ඇත්තේ බඹසර හැසීරීමට නොහැකි කාල අටක් ලෙසයි.

එම කාල අටනම්

තෙරුවන ලෝකයෙහි බැබළෙන නමුත් 1. නිරයෙහි උපන් කාලය, 2. තිරිසන් යෝනියෙහි උපන් කාලය, 3. ප්‍රේත ව උපන් කාලය, 4. පරතෝඝෝෂය නොමැති අසංඥ භවයෙහි උපන් කාලය, 5. සිවුවනක් පිරිස නොපැමිණෙන ප්‍රත්‍යන්ත දේශයන්හි උපත ලත් කාලය, 6. මිසදිටු ව උපන් කාලය 7. මූඪව, කෙළ තොලුව උපන් භවය හා 8. බුදුන් වහන්සේ නමක් ලොව පහළ වී නැති කාලය යනුවෙන් මෙම කාල අට විග්‍රහ වේ.

නිරයෙහි උපත ලබා ඇති විනිපාතික සත්ත්වයා හට බුදුවරයෙක් පහළ වී ඇති නමුත් ධර්මය අසන්නට, පින් දහම් කරන්නට අවකාශ නොම සැලසෙන්නේ කර්මය ගෙවී යන තෙක් එම තත්වයෙන් අත් මිදෙන්නට අවකාශය නොමැති හෙයින් ය.

තිරිසන් භවයෙහි උපන් සත්වයාටද එසේ ම ය. ප්‍රේත ව උපන් කල්හිද එම විපාකය ගෙවී යන තෙක් හෝ පින් අනුමෝදන් වී එම තත්වයෙන් අත් මිදෙන තෙක් කාලය ගෙවා දැමිය යුතුය.

අසංඥ තලයේ උපන් සත්ත්වයාට ද එයින් චුත වන තුරු පින් කළ නොහැකි ය. ධර්මය නොඇසෙන ප්‍රත්‍යන්ත දේශ අදටත් දක්නට ඇත. එහි වෙසෙන ඇතැම් ජනයා බුදුන් වහන්සේ පිළිබඳ ව ශ්‍රවණ මාත්‍රයෙන් වත් අසා නැති බව නම් නො රහසකි. එබැවින් ඔවුන්ගෙන් බඹසර හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි ය.

මිසදිටු වීම ලොව බලවත් නපුරකි. දසවස්තුක මිසදිටු බව ආදිය පිළිබඳ ව සොයා බැලීමෙන් ඒ බැව් වඩාත් පැහැදිලි වේ. මිසදිටු වූවන් හට තෙරුවන පිළිබඳ ව ඇත්තේ ද බලවත් අප්‍රසාදයකි. මූඪව හා කෙල තොලු වීමද පින් කිරීමට නොහැකි අවස්ථාවක් බව මනාව දිස් වේ. වම, දකුණ නොදත් මෝමූහ ගතියෙන් යුක්ත වීම පිළිබඳ ව එසේ දක්වා ඇත.

අවසන් කරුණ වශයෙන් දැක්වෙන දුර්ලභ උපතක්වන බුදුන් වහන්සේ නමක් පහළ නොවන කාලයේ පින කුසලය වෙත නැඹුරු වීමට තරම් සත්වයා උත්සුක නොවේ. එබැවින් සිව් පදයෙන් විග්‍රහ කොට දක්වන මෙම දුර්ලභ උපත් අතරින් විනිර්මුක්ත වූ පෙර පින් ඇති ඔබ තව තවත් කුශලයෙහි නිරත වී නොකල් අටකට වැටීමට පෙර සසරින් නිදහස් වන්නට උත්සුක වීම වටී.