Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: හදවතට දැනිය යුතු යුතුකම් සහ වගකීම්

හදවතට දැනිය යුතු යුතුකම් සහ වගකීම්

බුදු දහම ලෝකයේ තිබෙන ආගම් අතර වැරැදි සිදුවන පුද්ගලයන්ට ඉන් ඉවත්වී නිවැරැදි මාර්ගය වෙත ගමන් කිරීමට අවකාශ සලසන දහමකි. සමාජීය වශයෙන් ඉටුකළ යුතු යුතුකම් සම්බන්ධයෙන් විමසා බලන්නේ පුද්ගල ජීවිතය සමාජ සම්බන්ධතාවෙන් වෙන් වූවක් නොවන නිසයි. අප බොහෝ සේ උත්සාහ කරනු ලබන්නේ රටට ලෝකයට යුතුකම් ඉටුකරන ගුණගරුක පුරවැසියකු වීමට ය.

එනිසා ම අප සිදුකරනු ලබන හොර, බොරු, වංචා හැකිතරම් හොර රහසේ සිදුකිරීමට උත්සාහ කරයි. එහෙත් කළ යුතු සියලු දෙය තමාගේ හෘද සාක්ෂියට එකඟව, කළ යුතු ය. අප ජීවත්වන කාලය තුළ අප වෙනුවෙන් ජීවිතේ කැප කළ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකළ යුතු ය. එම යුතුකම් ඉටුකරනවාද? නැද්ද? යන්න තීන්දු කළ යුත්තේ ද ඔබම ය. ඔබ කෙතරම් රටට සමාජයට ගුණගරුක, යුක්තිගරුක, නීති ගරුක පුරවැසියකු වුව ද, තම හෘද සාක්ෂියට අනුකූල වන සිතේ යුතුකමට පිටුපා කටයුතු කරන්නේ නම්, ඔබට සතුටින් ජීවත්වීමට හැකියාව ලැබෙන්නේ නැත. සෑම මොහොතකම තමාගේ හෘද සාක්ෂිය වද දීමට පටන් ගැනීම නිසා තමාගෙන් අතහැරී ගිය හෝ මඟහැරී ගිය යුතුකම සිහිපත් කරමින් ජීවිත කාලයම, පසුතැවීමට සිදුවෙයි. එසේ නම්, මවුපියන් වෙනුවෙන් කළ යුතු දේ කුමක් ද? යනුවෙන් සැනසිල්ලේ සිතට සිතීමටවත් හෘද සාක්ෂියට ඉඩ ලබා දිය යුතු ය.

“ඉමස්ස ලෝකස්ස දස්සෙතාරො” ලෝකය පෙන්වා දෙන, ලෝකය හඳුන්වාදෙන පුද්ගලයන් වශයෙන් මවුපියන් හඳුන්වා දී ඇත.

“බහුතාරා භික්ඛවේ මාතා පිතරො පුත්තානං ආපාදකා

පොසකා ඉමස්ස ලෝකස්ස දස්සෙතාරෝ”

මහණෙනි, මවුපියවරු දරුවන්ට බොහෝ සේ උපකාර වෙති. දරුවන් මෙහෙයවන්නෝ වෙති. දරුවන් පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති.

සුප්පතිකාර සූත්‍රයේ මව්පිය කාර්යභාරය පිළිබඳ සඳහන් කරුණුවලින් පෙනෙන්නේ දරුවා සමාජයට යෝග්‍ය, එහි ක්‍රියාත්මක වීමට හැකි පුද්ගලයකු ලෙස නිර්මාණය කිරීම මවුපියන්ගේ කාර්ය භාරයක් වන බවයි. බ්‍රහ්මාති මාතා පිතරො යනුවෙන් ද මවුපියවරුන් හඳුන්වති. එනම් ව්‍යාජ නොවන ලෙස දරුවාට මිතුරු ගති පැවැත්වීමත්, (මෙත්තා) දරුවා දුකට පත්වන විට සසල හදින් පිහිට වීමත් (කරුණා) දරුවාගේ සැපතේ දී දියුණුූවේ දී අවංක ව සතුටුවීමත් (මුදිතා )වරදක් කළ දරුවා කෙරෙහි මැදහත් සිතින් කටයුතු කිරීමත් (උපේක්ඛා) යන බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වීමයි.

මව්කිරි දී, නැළවිලි ගී ගයා නළවා, ශරීරය ස්පර්ශ කරමින්, උණුසුම ලබාදෙමින්, හඬන්නා වූ දරුවා සනසන බැවින් අම්මා ‘පෝසෙන්තී’ යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. කුස පිළිසිඳගත් දරුවාට නිරෝගී උපතක් ලබාදෙන බැවින් මව “ජනෙත්තී” යන නාමයෙන් ද හඳුන්වා ඇත.

අම්මා ආහාරයට ගන්නා වූ සෑම ආහාරයක ම පෝෂණය අපට ලබාදෙයි. සොඳුරු ලලනාවකගේ හැඩරුවට හිමි අඟපසඟ අවලස්සන වුවත්, පුරා මාස නවයක් ම ජීවත්වීමට උදරයෙන් කොටසක් අපිට වෙන්කර දුන්නී අම්මා ය. එම අම්මාට අවශ්‍ය කරන පෝෂණය හදලා දුන්නේ අපේම තාත්තා ය. නොකා නොබී සිටියත්, අම්මාගේ පෝෂණය පිළිබඳ ව සිතමින් ඒ වෙනුවෙන් දහදුක් වින්දේ තාත්තා ය. මවුකුසින් එළිය දුටු කිරි කැටියකු වූ දරුවාට රතුපාට රුධිරය කිරි කර දෙමින් කුසගිනි නිව්වේ අම්මා ය.

අම්මලා තාත්තලාගේ කුසට රසවත් ආහාර පාන නොවැටුණත්, ඔවුන් දරුවන්ට කුස ගින්දර දැනෙන්නට ඉඩ තබන්නේ නැත. මව්පියන්ගේ දෑතේ, දෙපයේ සවි ශක්තිය දියවුණේ දරුවන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටුකිරීමට ය. අනෙක් දරුවන් ඉදිරියේ තම දරුවා අඩුවක් නැතිව තැබීමට නොගන්නා උත්සාහයක් නැත. ඒ ආකාරයෙන් කටයුතු කළ තම මව්පියන් වෙනුවෙන් දරුවෙකුට කළ නොහැක්කේ කුමක්ද? නීති පොතේ වත් සටහන් වී නැති, දණ්ඩ නීති සංග්‍රහයට අදාළ වුණේ නැති අපගේ හදවතට පමණක් අදාළ වුණ, අනිවාර්යය යුතුකමක් අපට සිහිපත් විය යුතු ය. එම අපගේ වගකීම අපගේ සංවේදී නහරවලට දැනිය යුතු ය. එම යුතුකම නොදැනෙනවා නම්, එය සිහිපත් නොවෙනවා නම්, එම දරුවා අනිවාර්යෙන් ම දරුණු මංකොල්ලකරුවකුටත් වඩා පාපතරයෙකි.

දරුවාගේ ලෝකයට හිරු, සඳු සේ එළිය ලබාදුන් ආදරණීය අම්මා, තාත්තා පෝෂණය කිරීම, ආදරයෙන් රැක බලා ගැනීම දරුවන්ගේ යුතුකමක් සේ ම වගකීමක්. ඔබ අප දැන් වැඩිහිටියන් වුවත්, කුඩා කල හැකි සෑම අයුරකින් ම ඔබව පෝෂණය කරනු ලැබුවේ ඔබගේ මව, පියා හැර අන් කවරකු හෝ නොවේ. එම යුතුකම හා වගකීම ඔබගේ හදවත්වලට දැනිය යුතු ය. තමාගේ ආදායම කීය වුවත්, තමාගේ අම්මයි තාත්තයි වෙනුවෙන් කොටසක් වෙන්කළ යුතු ය. ආහාරපාන, ඇඳුම් පැළඳුම් ලබා දෙන්නා සේ ම මවුපියන්ගේ සිත සතුටුවන ආකාරයෙන් කටයුතු ඉටුකරදීමත් දරුවන්ට අයිති කාර්යයකි.

මවුපියන් තම දිවි හිමියෙන් ආරක්ෂා කළ දේපළ, මිල මුදල් උරුම වුණෙත් දරුවන් වන ඔබට නිසාම ඒ සෑම දෙයක් ම ඔවුන් ජීවතුන් අතර සිටියදී ම විනාශකර දැමීම දරුවාගේ යුතුකම නොවිය යුතු ය. දරුවන් උත්සාහ කළ යුත්තේ මවුපියන් සතුටින් තැබීමට ය. මවුපියන්ගේ ලැබුණ පෙළපත් නාමය ද වටිනාම සම්පතක්. ඔවුන් ආරක්ෂා කළ පෙළපත් නාමය ආරක්ෂා කිරීම දරුවන්ගේ ද වගකීමක් වෙයි. පෙළපත අපගේ සංස්කෘතියයි. මවුපියන් අපට පවරන ලද එම උරුමය අපේ පරපුරයි. අපේ සංස්කෘතියයි. එම නිසා මවට පියාට කැළලක්වන ආකාරයෙන් නොහැසිරීම දරුවන්ගේ වගකීමක් වෙයි. එය හැම දරුවෙකුටම හදවතට දැනිය යුතු යුතුකමක්.

එනිසාම මවුපියන් වෙනුවෙන් කළයුතු යුතුකම් මේ ආත්මයේ ගෙවා නිමකළ නොහැකි බව අවබෝධ කරගත යුතුය. හැම යුතුකමක් ම ඉටුකිරීමට වෙහෙසවන අප සියලු දෙනාටම එම යුතුකම පමණක් මග හැරීමට ක්‍රමයක් නැත. හිරු, සඳු වැනි අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට ලබාන්න වූ නව වසරේදීවත් අධිෂ්ඨාන කරගනිමු.