Print this Article


කොස්සින්න රජමහා විහාරය

කොස්සින්න රජමහා විහාරය


සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, විශ්‍රාමික විදුහල්පති තෝරපිටියේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස සහ ලේක්හවුස් ආයතනයේ කළමනාකරණ කර්තෘ (විශේෂ ප්‍රකාශන) ඉන්දික කුඩාහෙට්ටි යන මහත්වරුන් පිළිම වහන්සේ නිරාවරණය කළ අවස්ථාව.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියෙහි සිදු කළ දුෂ්කරක්‍රියා අවධිය නිරූපණය කෙරෙන ප්‍රතිමා වහන්සේ සහ අලංකාර ප්‍රතිමා ගෘහයක් පසුගිය ඉල්පුර පසළොස්වක ‍පොහෝදින ගණේමුල්ල කොස්සින්න යටවත්ත රාජමහා විහාරයේ දී සැදැහැවත් ජනයාගේ වන්දනාව පිණිස නිරාවරණය විය.

කෝට්ටේ යුගයේ හයවන ශ්‍රී පරාක්‍රමබාහු රජ සමයට අයත් එම විහාරස්ථානය ප්‍රදේශයේ ඇති සම්භාවනීය පුදබිමකි. එම ස්ථානයෙහි ඓතිහාසිකත්වය කියැවෙන හොඳම සාධකය වූයේ කුඩුමිරිසේ සෙල්ලිපියයි. පිතෘ මහරජාණන් සමයෙහි බමුණන් සන්තක කර පිදූ කොස්සින්න ගම්වරය තෙරුවන් සන්තක කර පිදූ බව එම සෙල්ලිපියේ සඳහන් වේ. ක්‍රි.ව. 1835 දී පමණ නුංගමුවේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ස්ථානයට වැඩමකර පැරැණි නටබුන් මත විහාරස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත.‍

නුංගමුවේ ශ්‍රී පියදස්සී හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර කොස්සින්න රාජමහා විහාරය වර්තමානය දක්වා සංවර්ධනය කරවූවා පමණක් නොව, ප්‍රදේශය පුරා වෙහෙර විහාර ඉදිකරමින් කොස්සින්න සඟ පරපුර ව්‍යාප්ත කරවී ය. 1936 වර්ෂයේ දී සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද කොස්සින්නේ සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී කොටගත් මහා සංඝරත්නය කොස්සින්න, කටුවාලමුල්ල, පරකන්දෙණිය යන තෙගම්වාසී ජනයා වෙත නායකත්වය සපයමින් යුගයෙන් යුගය විවිධ සංවර්ධන කටයුතු සිදුකරමින් අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට පත්කර ඇත. කෝට්ටේ යුගයට අයත් චෛත්‍යරාජයාණන් වහන්සේ, ගල්කණු සහිත ආසනය, ශ්‍රී විෂ්ණු දේවාලය විහාරස්ථානයේ අභිමානය තව තවත් වර්ධනය කර ඇත. කලින් කලට නවාංග එක් කරමින් විහාරස්ථානයේ සම්භාවනීයත්වය වැඩි වී ඇත.

ජාතික, ආගමික හා සාමාජිය කර්තව්‍යයන් හි ප්‍රමුඛ ව ක්‍රියාකරන ඓතිහාසික කොස්සින්න රජමහා විහාරස්ථ මහා සංඝරත්නය වත්මන් විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, තෝරපිටියේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලික අනුශාසනාව මත තත් විහාරාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධර්මකීර්ති ශ්‍රී සරභඤ්ඤ උඩුගම්පල ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කැපවීම මත සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් සිදුකරනු ලබයි.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය නිමිතිකොට පුරා දෙමසකට අධික කාලයක් බෝධිපූජා, ධර්මදේශනා, පිරිත් දේශනා, පෙරහර ආදී අංගයන්ගෙන් සමූපලක්ෂිත මහා පින්කම් මාලාව විහාරස්ථානයේ අභිමානය ලොවට කියාපෑමට සමත් වී ඇත. සිසුන් 2000 ක් පමණ අධ්‍යාපනය ලබන විහාරස්ථ ශ්‍රී සීලානන්ද ධර්ම විද්‍යාලය ද ප්‍රදේශයට ලබා දී ඇත්තේ සුවිශාල ශක්තියක් වීම ද විශේෂත්වයකි.

සත්‍ය සොයා මහාභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එවක භාරතීය සමාජයේ පැවති විවිධ වෘතක්‍රම අනුගමනය කරමින් උතුම් බුදු බව සාක්ෂාත් කර ගැනීමට වෙර වීරිය දැරී ය. සය වසරක් අසීමිත දුක් වේදනා සිය ශරීරයට දෙමින් අත්තඛිලමථානුයෝගී ව ක්‍රියා කළ සේක. එ සමයෙහි උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ පවා විග්‍රහ කර ඇත.

අතීතයේ සිටම බෝධිසත්ත්වයන් වහන්සේ උදෙසා ප්‍රතිමා නිර්මාණය කර පුද පූජා කළ බව ඓතිහාසික තොරතුරුවලින් පවා සනාථ වී ඇත. එම පූජා විධිය අනුව යමින් දුෂ්කර ක්‍රියා ප්‍රතිමා වහන්සේ සහ වැඩසිටින කුටිය ඉදිකර පූජාකිරීම අතිශයින් අගය කළ යුතු ක්‍රියාවකි.

විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා සහ උපදෙස් මත ලේක්හවුස් ආයතනයේ 36 වසරක් සේවය කිරීම නිමිතිකොට ගෙන එහි කළමනාකරණ කර්තෘ (විශේෂ ප්‍රකාශන) ඉන්දික කුඩාහෙට්ටි මහතා ප්‍රතිමා වහන්සේ සහ ප්‍රතිමා ගෘහය සාදවා සඟ සතු කර විහාරස්ථානයට සුවිශේෂී අංගයක් එක් කර විහාරස්ථානයේ අභිමානය නැංවීමට ගත් පියවරක් ලෙස හැඳීන්විය හැකි ය.