Print this Article


තෙවළා බුදු වදන් අතරින් 52 : ප්‍රිය වස්තු යම්තාක් වේ ද දුක ද එපමණ ම වේ

තෙවළා බුදු වදන් අතරින් 52 :

ප්‍රිය වස්තු යම්තාක් වේ ද දුක ද එපමණ ම වේ

" අත්පත්කර ගැනීමේ අරගලයේ නියුක්ත පුහුදුන් මිනිසා කල්පනා කරන්නේ ලෝකය අත්පත්කර ගත් පමණට සැප හා සතුට ලැබෙන බව යි. ඒ හෙයින් ඔහු ලෝකය අත්පත්කර ගැනීමේ අනවරත අරගලයක නිරත වේ."


බුදුරජාණන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, විශාඛා මහා උවැසියගේ ප්‍රියමනාප වූ මිනිබිරියක් කලුරිය කළා ය. එදින දවල් කාලයේ විශාඛා මහා උපාසිකාව තෙත් වූ කෙස් වැටිය හා තෙත් වූ වස්ත්‍ර ඇතිව බුදුරදුන් දැකීම පිණිස පූර්වාරාමයට ගියා ය.

තෙත් වූ කෙස් වැටිය හා වස්ත්‍ර සහිත විශාඛාව දුටු බුදුරජාණන් වහන්සේ එයට හේතු විමසූහ. තම ප්‍රියාදර මිනිබිරියක් මියගිය හෙයින්, තෙත් වූ කෙස් හා තෙත් වූ වස්ත්‍ර ඇතිව පැමිණියේ යැ යි පැවසුවා ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර යම් පමණ මිනිසුන් වෙසේ නම් එපමණ මුණුබුරු, මිණිබිරියන් කැමැත්තේදැයි විමසූ සේක. සැවත් නුවර වැසි මිනිසුන් හා සමාන ව ම මුණුබුරු මිණිබිරියන් කැමැති යැයි ඇය පැවසූවා ය. අනතුරුව විශාඛාව ඇමතූ බුදුරජාණන් වහන්සේ එසේ නම් සැවත් නුවර දිනපතා කොතෙක් මිනිසුන් මිය පරලොව යත්දැයි විමසූහ. එක් අයෙකුගේ සිට දස දෙනෙක් දක්වා මිනිසුන් දිනපතා මියයන බව ප්‍රකාශ කළා ය. එසේ නම් ඔබට දිනපතා ම තෙත් වූ කෙස් හා තෙත් වූ වස්ත්‍ර ඇතිව වාසය කිරීමට සිදුවන්නේ යැයි දේශනා කළ සේක. එය එසේ නොවිය යුතු යැයි පැවසූ විශාඛා උවැසිය තමන්ට එතරම් මුණුබුරු මිණිබිරියන් අවශ්‍ය නැතැයි පැවසුවා ය. අනතුරුව බුදුරජාණන් වහන්සේ විශාඛාව අමතා මෙසේ දේශනා කළ හ.

“විශාඛාවෙනි, යමෙකුට ප්‍රියවස්තු සියයක් වෙතොත් දුක් සියයක් ද, ප්‍රිය වස්තු අනූවක් වෙතොත් දුක් අනූවක් ද, ප්‍රියවස්තු අසූවක් වෙතොත් දුක් අසූවක් ද, ප්‍රිය වස්තු හැත්තෑවක් වෙතොත් දුක් හැත්තෑවක් ද, ප්‍රිය වස්තු හැටක් වෙතොත් දුක් හැටක් ද, ප්‍රියවස්තු පණහක් වෙතොත් දුක් පණහක් ද, ප්‍රියවස්තු හතලිසක් වෙතොත් දුක් හතලිහක් ද, ප්‍රියවස්තු තිහක් ඇත්නම් දුක් තිහක් ද, ප්‍රියවස්තු විස්සක් වෙතොත් දුක් විස්සක් ද, දහයක් වෙතොත් දුක් දහයක් ද, ප්‍රියවස්තු නමයක් වෙතොත් දුක් නමයක් ද, ප්‍රියවස්තු අටක් වෙතොත් දුක් අටක් ද, ප්‍රියවස්තු හතක් වෙතොත් දුක් හතක් ද, ප්‍රියවස්තු හයක් වෙතොත් දුක් හයක් ද, ප්‍රිය වස්තු පහක් වෙතොත් දුක් පහක් ද, ප්‍රියවස්තු හතරක් වෙතොත් දුක් හතරක් ද, ප්‍රියවස්තු තුනක් වෙතොත් දුක් තුනක්ද, ප්‍රියවස්තු දෙකක් වෙතොත් දුක් දෙකක් ද, ප්‍රියවස්තු එකක් වෙතොත් දුක් එකක් ද, ප්‍රියවස්තු එකක් හෝ නොමැති නම් කිසිදු දුකක් හෝ ශෝකයක් ද නැත.”

බුදුරදුන් විසින් විශාඛාව අමතා කළ ඉහත දේශනයෙන් පැහැදිලි වන්නේ ලොව ඇති අනේක විධ දුක් වේදනා, දොම්නස් සියල්ල ප්‍රියවස්තු නිසා ඇති වෙන බව යි. කෙනෙකුට යම් පමණ ප්‍රිය වස්තු වෙත් ද, ඒ පමණට ම දුක් වේදනා විඳීමට සිදුවෙ යි. කෙනෙකුට ඇති ප්‍රියවස්තු විවිධ ය. ජීව, අජීව වශයෙන් ඒ සියල්ල ප්‍රභේද දෙකකින් යුක්ත ය. ප්‍රිය වස්තු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. භින්න රුචික ලෝකයක එසේ වීම ස්වභාවික ය. කෙනෙකුට ප්‍රිය දෙය තවත් අයෙකුට අප්‍රිය ය. තවත් කෙනෙකු රුචි නොකරන දෑ වෙනත් කෙනෙකුගේ සිත් ගත් දෙයක් විය හැකි ය. මේ අනුව රුචි, අරුචි බව අනුව ප්‍රියවස්තූන්ගේ ස්වභාවය ද වෙනස් වේ.

විශාඛාව ඇමතු බුදුරදුන් පැහැදිලි කොට වදාළේ, මිනිසා මුහුණ දෙන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්, ප්‍රියවස්තු මුල්කොට පවතින බව යි. සාමාන්‍ය ලෝකයේ පිළිගැනීම වන්නේ දේවල් අත්පත්කර ගත් පමණට ම සැප හා සතුට ලැබෙන බව යි.

එහෙත් බුදුරදුන් වදාළේ කෙනෙකුට ප්‍රිය වස්තු වැඩිවන තරමට ම දුක් වේදනා ද වැඩි වන බව යි. එසේම ප්‍රියවස්තු නිසා කලකෝලාහල නිර්මාණය වන බව වෙනත් බුද්ධ දේශනාවක ඇතුළත් වේ (පියා පහුතා කලහවිවාදා). මිනිසා එකිනෙකා හා අනවරත ගැටුමක නිරතව සිටින්නේ ප්‍රිය වස්තු කෙරෙහි දක්වන ලැදියාව නිස යි. එක් අයෙකු ප්‍රියකරන දෑට තවත් අයෙක් ප්‍රියත්වයක් දක්වන්නේ නම් දෙදෙනා අතර ගැටුම් නිර්මාණය වේ. අත්පත්කර ගැනීමේ අරගලයේ නියුක්ත පුහුදුන් මිනිසා කල්පනා කරන්නේ ලෝකය අත්පත්කර ගත් පමණට සැප හා සතුට ලැබෙන බව යි. ඒ හෙයින් ඔහු ලෝකය අත්පත්කර ගැනීමේ අනවරත අරගලයක නිරත වේ. එහෙත් ලෝකය අත් හළ පුද්ගලයාට දුකක්, වේදනාවක්, වැළපීමක් නොමැත.

පුද්ගල සන්තානගත ජන්දරාගය ප්‍රිය වස්තු නිර්මාණය වීමට නිදානය වෙයි (ජන්දනිදානානි පියානි ලොකෙ). එය මනසේ නිර්මිතය කි. සංකල්ප රාගය පුරුෂයාගේ කාමය යැයි (සංකප්පරාගො පුරිසස්සකාමො) දැක්වෙන්නේ ඒ හෙයින් ය. ෂඩින්ද්‍රියන්ගෙන් ලබාගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ස, ධම්ම යන අරමුණු පිළිබඳ ඇති කර ගන්නා ජන්දරාගය නිසා පුද්ගලයා කල්පනා (මඤ්ඤනා) කරන්නේ ඒ සියල්ල නිත්‍ය සුඛ ආත්ම වශයෙනි. එසේ කල්පනය කිරීම හේතුවෙන් භෞතික ලෝකයේ පවතින සියල්ල මෙන් ම ඒ සම්බන්ධයෙන් මනසින් ප්‍රතිනිර්මාණය කරගන්නා සංඥා සංකල්ප අදහස් ආදිය ද, නිත්‍ය දෑ ලෙස ගෙන ඒ කෙරෙහි ඇලීමටත්, ඒ සියල්ල වෙනස්වන විට ගැටීමටත් පත් වේ. මේ ඇලීම හා ගැටීම තිබෙනතාක් දුක නිර්මාණය වේ. පුහුදුන් මිනිසා ප්‍රිය වශයෙන් සලකන සැම දෙයක ම පවතින්නේ මෙබඳු යථාර්ථය කි.

විශාඛා මහා උැවැසියට බුදුරදුන් දුන් අවවාදය භෞතික ලෝකය අත්පත්කරගත් පමණට ම සතුට ඇතිවේයැයි සිතන නූතන මිනිසාට බෙහෙවින් අදාළ වේ. සතුට ලැබේයැයි සිතා භෞතික දෑ එක් රැස් කිරීමේ අරගලයේ නියුක්ත නූතන මිනිසාට ඔහු අත්පත් කරගත් භෞතික දෑ පමණට ම දුක් විඳීම ට සිදුව තිබේ. අත්පත්කරගත් දෑ ආරක්‍ෂා කර ගැනීමටත්, නඩත්තු කිරීමට ත් අනවරත අරගලයක නිරතවීමට නූතන අධිපරිභෝජනවාදි මිනිසාට සිදුව තිබේ. ගොඩගසාගත් පමණට සැප ඇති වේ යැයි සිතීම හුදෙක් ම සිතිවිල්ලක් පමණි. එහෙත් කිසිවක් අප සිතන පරිද්දෙන් ම සිදු නොවේ (යෙන යෙනහි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤතා). පංචකාම වස්තූන් සම්බන්ධයෙන් මිනිසා තුළ කිසිදු තෘප්තියක් නොමැත. නැවත නැවැතත් පංචකාම ලෝකයට ම ඇදෙන සිතට එයින් සෑහිමක් නොමැත.

ඇතැමෙක් බලයට ප්‍රිය කරන අතර, තවත් කෙනෙකු ධනයට ප්‍රියතාවක් ඇතිකර ගනී. තනතුරු, කීර්ති, ප්‍රසංසා ආදිය ප්‍රිය කරන පුද්ගලයෝ ද වෙති. මේ සියල්ල කෙරෙහි ජන්දරාගයෙන් බැඳුන පුද්ගලයාට සැනසීම හා සතුට ඉතා ඈත ය. දුක හා ශෝකය ඉතා සමීප ය. මෙම යථාර්ථය වටහාගත් ආර්ය ශ්‍රාවකයා ලෝකය අත්පත්කර ගැනීමේ අරගලය වෙනුවට ලෝකය අත්හැරීමට සුදානම් ව සිටී. පංචකාම ලෝකයෙන් මිඳීය යුතු යැයි යන ආකල්පය හා අදහස නෙක්ඛම්ම සංකල්පය යි. යමක පවතින ආස්වාදයත්, ආදීනවයත්, වටහාගත් ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා ඒ සියල්ල අත්හැරීමේ නුවණින් යුක්ත ය(නිස්සරණ පඤ්ඤො). ප්‍රියවස්තු කිසිවක් නොමැති තැනැත්තාට දුකක් හෝ ශෝකයක් නොමැති බව බුදුරදුන් වදාළේ එබැවිනි. එබැවින් ලෝකය අත්පත්කර ගැනීමේ සටන අතහැර දැමුවොත් තිරසාර මානසික සාමයක් උදාකරගත හැකි ය.