Print this Article


ඇලීමෙන් තොරව සෞන්දර්ය විඳීම

ඇලීමෙන් තොරව සෞන්දර්ය විඳීම

නිස්කලංක බව, ජන ශූන්‍ය බව, පාරිසරික වියවුලින් තොර බවවිමුක්තිගාමී යෝගියෙකුට සිය කටයුතු සඳහා අතිශය ප්‍රයෝජනවත් වේ. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට නිර්දේශ කළේ ද එවැනි වූ නිදහස් පරිසරයක් ය.

එහි ඇති අලංකාර බව යෝගීන්ට බාධා නොවේ. එම අලංකාර බව ගමන් මග හා බද්ධ කර ගැනීමට යෝගීන්ට අපහසු නොවේ. එසේ හෙයින් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් තමන් වහන්සේ මෙන්ම, ශ්‍රාවක ප්‍රජාව සොඳුරු ස්ථානවල හැසිරීම සුදුසු බව තහවුරු කොට තිබේ. බුදුන් වහන්සේ සෞන්දර්යය පි‍්‍රය කළ බවට සම්බුද්ධ ජීවිතය තුළ සාධක මෙන්ම ඒ ආශි‍්‍රත බොහෝ සිදුවීම් තුළින් තහවුරු කොට තිබේ. බුදුරදුන් වරක් ඉන්දසාර ගුහාවේ වාසය කරන කල්හි පංචසිඛ නම් ගාන්ධර්වයා උන්වහන්සේ සතුටට පත් කිරීමේ අභිලාසයෙන්, කළ අපූර්ව ගායනාවක් ‘දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ’ සඳහන් වේ. එහිදී සිය ‘බේලුව පණ්ඩු’ නම් වීනාව වයමින් සිය පෙම්වතිය පිළිබඳ ව අපූර්ව වර්ණනාවක් කිරීමට පංචසිඛ පෙළඹේ. බුදුන් වහන්සේ ඉතා සාවදානව මෙයට සවන් දුන් බවත් , ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ බවත් එහිම සඳහන් වේ.

සොඳුරිය සුරිය වච්චසාවෙනි,
මා හද පිනවීමට ඔබව මෙලොවට බිහි කළ
ඔබේ දයාබර පියාණන් තිබ්බරූහට
බැතියෙන් වඳිමි.

දහදියෙන් තෙමුනෙකුට මද පවනක් සේ
වින් ද
පිපාසාවෙන් පෙළෙන්නෙකුට දිය පොදක්
මෙන් ද
මහ රහතුන්ට ධර්මය මෙන්ද
සොඳුරිය ඔබ මට පි‍්‍රය ය.

අක් බඹරු කෙස් ඇති තැනැත්තිය
ඔබ පි‍්‍රය දසුනින්
මා තුළ පැවති කාමය
දහසක් නයින් ඔදවැඩී ගියේ ය
රහතුන් විසෙයෙහි දුන් දානයක් මෙනි.

රහතුන් කෙරෙහි යම් පිනක් වේ නම් මා කළ
සුපුන් සොඳුරිය ඒ හැම
ඵල දේවා ඔබටම
මේ මිහිමඬල මත
මා කළ සියලු පින්කම්
සොඳුරිය ඔබට හිමි වී
විපාකය හිමි වේවා

දැහැනට සමවැදුන
දිරියෙන් තවුස්දම් වඩන
මුනිතුමෙකු පතනුමෙන් අමා සුව
සුරිය වච්චසාවෙනි, මමද ඔබ පතමි

මුනිවරයෙක් දිනන
උතුම් සම්බුදු පදවි ලැබ
තුටුවන විලසින් ඔබ හා එක් ව මම
සතුටු වන්නෙමි සැමදා

සක්දෙව් රද දිනෙක
දෙතොත් වරයක් මා හට
පතනුයේ අනෙකක් නොව
ඔබ ම ය පි‍්‍රය සොඳුරිය

ඔබ වැනි දියණියකට
හිමිකම් කියන
සුපිපි සල් රුකක් වන්
පින්වත් පියාණෙනි,
නමදිමි දෑත් එක්කර

ඉහත සඳහන් කළ සක්කපඤ්ඤ සූත්‍රයේ සංක්ෂිප්ත පරිවර්තනයෙන් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ විවිධ සංකල්ප සමූහයක එකතුවක් වූ මෙම ගීතයට සවන්දුන් බවයි. මෙම ගීතය තුළ ප්‍රේමය, ආදරය, දානය, රහත්භාවය, පින, කාමසංකල්පය, නිවන් සුවය ආදී විවිධ අංශයන් හා තත්ත්වයන් නියෝජනය වේ. විවිධ උපමා භාවිත කිරීමට පංචසිඛ පෙළඹී ඇත. සිය පෙම්වතියගේ ස්වරූපය හා ඇගේ ලැබීමට අපේක්ෂිත සතුට බුදුන් හමුවේ සුගායනීය ලෙස ඉදිරිපත් කොට ඇත.

අවසානයේ බුදුන් වහන්සේ සඳහන් කරන්නේ,

“සංසන්දතී ඛො තෙ පඤ්චසිඛ
තනතිසස්රො ගීත සස්රෙන
ගීත සසාරො ච තනතිසසරෙන
න ච පන තෙ පඤ්චසිඛ
තන්තිස්සරො ගීතස්සරං අතිවත්තති
ගීතස්සරො ච තන්තිස්සරං”

පංචසිඛ ඔබ එය මැනවින් ගායන කළේ ය. කිසිදු අයුරකින් ස්වරය හා ගී හඬ අතර විභේදනයක් තිබුණේ නැත. මනා සංකලනයකින් යුක්තව ගී හඬත්, තත් ස්වරයත් ඒකායනීය ලෙස පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබුණි.

මේ අනුව පැහැදිලි වන්නේ පංචසිඛගේ වීනාවාදනය හා ගායනය බුදුන් වහන්සේ අගයා ඇති බවයි. එම ඇගයීමේ දී බුදුන් වහන්සේ තුළින් කලාව, සාහිත්‍යය, සංගීතය පිළිබඳව අපූර්ව දැක්ම ඉදිරිපත් වේ. එසේම ඇලීමකින් තොරව බුදුන් වහන්සේ එයට සවන් දී ඇති බවත් එයට විරුද්ධ නොවී එය පිළිබඳව නිර්වචනය ඉදිරිපත් කිරීම හා සෞන්දර්යය පිළිබඳව උන්වහන්සේ සතුව පැවති අවබෝධය හා ආකල්පය තහවුරු කරන කදිම සාධකයකි.

තවද බුදුන් වහන්සේගේ කිඹුල්වත්පුර ගමන සෞන්දර්යය අනූන වූ පරිසරයක් මැදින් වැටී තිබීම තවත් වැදගත් අවස්ථාවකි. කාලුදායී මහ රහතන් වහන්සේ තත්කාලයේ පැවති පරිසරය කිඹුල්වත් ගමන් මාර්ගය ගාථා 61 කින් ඉදිරිපත් කිරීමට සමත් වූ හ.

“ස්වාමීනි ගස් ගිනි අඟුරු වැනි ය. ඒවා කොළ හලා ඵල බලාපොරොත්තුවෙන් සිටියි. ගිනි සිලු වැනි ගස් හාත්පස බැබළේ. මෙය රසය එක් වූ කාලයයි.”

“ඇතැම් ගස් මල්වලින් බර වී ඇත. ඒවායේ සුවඳ හාත්පස පැතිරෙයි. ඒ අතර කොළ හලා ඵල බලාපොරොත්තුවෙන් සිටින ගස් වෙයි.”

“මෙය අතිශය උෂ්ණය නැති අතිශය සීතලය නැති වර්ෂයක් තුළ පවතින සැපවත් ම කාලයයි. ශාක්‍යයෝ හා කෝලියෝ ඔබ වහන්සේ වඩින තෙක් මග බලා සිටිති. ඉරට පිටු පා රෝහිණි නදිය තරණය කරන සේක්වා.”

උක්ත තෝරාගත් වර්ණනාත්මක ගාථා ත්‍රිත්වය තුළින් පරිසරය පිළිබඳව බුදුරදුන් ඇලුම් කළ බවත් ඒ පිළිබඳව මනා අවබෝධයක් කාලුදායි හිමියන්ට තිබූ බවත් මැනවින් තහවුරු වේ. අධික ශීතල හෝ අධික රශ්මිය නොමැති ගිනි අඟුරු මෙන් මල් හටගත් , ඵල බර වූ වෘක්ෂලතාවන්ගෙන් යුක්ත වූ පරිසරයක් මෙම ගමනට අතිශය යෝග්‍යය බව කාලුදායි හිමියන් සඳහන් කොට තිබේ.

බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල සිය ශ්‍රාවකයින් වහන්සේලාගේ ගායනයන්ට සවන් දුන් බව ද, ඒවා පිළිබඳ ව ඇගයීම්ශීලි අයුරින් කතා කළ බව ද සඳහන් වේ. එසේම මිහිරි හඬින් ගායනා කරන්නවුන් අතර අග්‍රස්ථානය සෝන හිමියන්ට ලබා දීම මෙහිලා සඳහන් කළ හැකි ය. මේ අයුරින් බුදුන් වහන්සේ තම ශ්‍රාවක ප්‍රජාව අගය කළා සේ ම බුදුන් වහන්සේගේ මුවින් පිට වූ ඇතැම් ගායනා සුගායනය ස්වරූපයෙන් යුතු ය. අතිශය මිහිරි ය.

“අනෙක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං”

බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල සෞන්දර්යාත්මක අවස්ථාවන් වර්ණනාවට ලක් කළා සේ ම ඒවා ඇසුරින් ලෝකයේ යතා ස්වරූපය දක්නට මිනිසුන් පොළඹවා ඇති බව පෙනේ. සමස්තයක් වශයෙන් ගත් කළ බුද්ධ ජීවිතය ම සෞන්දර්යාත්මක එකක් වූවා සේ ම උන්වහන්සේගේ දේශනා ද සොඳුරු බවින් පිරී පවතී. ඉතාම නම්‍යශීලී වූ ත්, මටසිලිටි වූත්, අලංකාර වූ ත් භාෂාවක් ලෙස පාලි භාෂාව හැඳින්විය හැකි ය. එම භාෂාව භාවිත කරමින් කළ ප්‍රකාශයන්හි සෞන්දර්යාත්මක බව තහවුරු වීමට තත් භාෂාවේ දී බලපෑමක් එල්ල වී ඇති බව සඳහන් කළ යුතු යි.