Print this Article


භව නාටකය බලා සංවේගී වෙමු

භව නාටකය බලා සංවේගී වෙමු

මෙම ලිපියේ මුල් කොටස උඳුවප් පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

කළකිරීම හා සංවේගය යනු අප අතර පවතින සමාන පද දෙකකි. කිසිවක් කෙරෙහි කළකිරීම වැදගැම්මක් ඇති දෙයක් නොවේ.

බුද්ධ කාලයේ දී ද බොහෝ දේ කෙරෙහි කළකිරුණු භික්ෂූහු සිටියහ. එහෙත් එම කළකිරීම බුදුන් වහන්සේ කිසිදු විටක අගය නො කළහ. කළකිරීම වූකලී ආත්ම ශක්තිය හීන පුද්ගලයන් තුළ පවතින මානසික ස්වභාවයකි. බුදුන් වහන්සේ එම පුද්ගලයන්ට කළකිරීමෙන් අත්මිදී ධෛර්යමත්ව ක්‍රියා කිරීමට අනුශාසනා කළහ. චුල්ලපන්ථක නම් භික්ෂුව තමාගේ දුර්වල මතක ශක්තිය පසුබිම් කොට ගෙන සිදු වූ අකරතැබ්බයන් නිසා කළකිරීමට පත්වී සිටි අවස්ථාවත්, අවසානයේ අර්හත් තත්වයට පත්වීමත් මෙයට කදිම නිදසුනකි.

මේ නිසා බුදුදහමේ කළකිරීම අනුමත නොකරයි. එහෙත් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවෙහි තථාගත ශ්‍රාවකයන් ධර්ම සංවේගයට පත් වූ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. එහෙයින් සංවේගයට පත්වීම බුදුදහමට විරුද්ධ වූවක් නොවේ. සංවේගය යනු සංස්කාරයන්ගේ නිසරු බව දැක බුද්ධිමය වශයෙන් ඇතිවන කම්පනයයි. එය කෙලෙස් තවන වීර්යය ඇති කර ගැනීමට පදනමක් වේ. (ආතාපිනො සංවෙගිනො භවාථ).

භවය යනු කවරකු විසින් හෝ අපට සාදා ඇති ලෝකයක් නොවේ. එය සකසා ගනු ලබන්නේ අප විසින් ම ය. එයතුළට රිංගා ගනු ලබන්නේ අප විසින් ම ය. එහි ක්‍රියාකාරකම් කරනු ලබන්නේ අප විසින් ම ය. එම ලෝකය අතහැර දමන්නේත් වෙනත් ලෝකයක් සාදා ගනු ලබන්නේත්, අප විසින් ම ය. මෙහි සුළු ආස්වාද ලබමින් වැඩි වශයෙන් ලබනුයේ දුක් වේදනාවන් ය. භව නාටකයේ සිදුවන රංගනය බුදුන් වහන්සේ මැනවින් පසක් කළහ. ඉපදීම, ජරාවට පත් වීම, ලෙඩවීම, මරණය, අප්‍රියයන් හා විසීම, ප්‍රියයන්ගෙන් සමුගැනීම, බලාපොරොත්තු ඉටු නොවීම වැනි දේ නිසා අනේකවිධ සිත් තැවුල්, දුක් කම්කටොළු මෙහිදී අනන්තවත් ලෙස හමු වේ. භව නාටකයේ කරනු ලබන රංගනයේ පුදුම සහගත දේ නම් තේරුම් නො ගැනීමයි. බුදුරජාණන් වහන්සේ අරිය පරියෙසන සූත්‍රයේ දී එය හෙළි කළේ මෙලෙසිනි. භවයෙහි දුක් ස්වභාව ඇති සත්ත්වයෝ දුකම සොයති. ජරාව (මහලුවීම) ස්වභාව කොට ඇති සත්ත්වයෝ ජරාව ම සොයති. ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්ත්වයෝ ව්‍යාධිය ම සොයති. මරණය ස්වභාව කොට ඇති සත්ත්වයෝ මරණයම සොයති. මෙසේ ශෝක වෙමින් ශෝකය ගෙන දෙන දෙයම, වැළපෙමින් වැළපීමට සිදුවන දෙයම, කෙලෙසෙමින් කෙලෙසට පත් වන දෙයම සොයති යනුවෙනි. භව නාටකයේ විහිළුව එයයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ බෝසත් අවධියේ දුෂ්කර ජීවිතයක් ගෙවමින් අධ්‍යාත්මික ගවේෂණයක යෙදෙමින් නො උපදින, මහලු නොවන, ව්‍යාධියට පත් නොවන, මරණයට ශෝකයට වැළපීමට හා කිළුටට පත් නොවන තත්ත්වයක් ඇති කරගන්නේ කෙසේ ද යන මඟ පසක් කොට එය පැහැදිලි කර දුන් සේක. එය ආර්ය පර්යේෂණය යි. එය උසස් හා උතුම් පර්යේෂණය යි.

තථාගතයන් වහන්සේ ලොවට විවර කළේ අප විසින් දුක සේ සොයගත යුතු, දුක සේ අවබෝධ කටයුතු දෙයකි. සත්‍ය වූ, යථාර්ථවත් වූ නියාම ධර්මයකි. එහෙයින් අපි ගිහියන් හා පැවිද්දන්, ස්ත්‍රීන් හා පුරුෂයන්, ස්වාමිපුරුෂයන් හා භාර්යාවන්, මව්පියන් හා දූදරුවන්, බාලයින් හා මහල්ලන්, ගුරුවරුන් හා ශිෂ්‍යයන්, රෝගීන් හා වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්, වෘත්තිකයන් හා සේවාලාභීන්, පාලිකයන් හා පාලිතයන්, විනිසුරුවරුන්, නීතිඥයින්, චුදිතයන් හා චෝදකයන් ආදී වශයෙන් විවිධ පදවි හා වෘත්තීන් ද, ඊට සරිලන සළුපිළි හා අබරණවලින් ද, ඊට අනුකූල වූ ගමනින් බිමනින්, මානයන් හා පෞරුෂයන් ද මතු කෙරෙමින් භව නාටකයක රංගනයෙහි යෙදෙමින් සිටින්නෝ වෙමු.

මරණින් මතු උසස් භවවල මෙන්ම, පහත් භවයන්හි උපදිමින් උද්ධම්භාගීය සංයෝජන මගින් උඩට ඇදෙමින් ද, ඕරම්භාගීය සංයෝජන මගින් පහතට ඇදෙමින් ද භව චක්‍රයේ සැලෙන රූකඩ ය. මෙම තත්ත්වය මැනවින් තේරුම් ගෙන සංස්කාර ධර්මයන් කෙරෙහි සංවේගය උපදවා මානයෙන් උඩඟු නොවී, ලෝභයෙන් පළුදු නොවී, ද්වේෂයෙන් නො දැවී, මෝහයෙන් මුළා නොවී යථාර්ථයට මුහුණු දෙමින් සැබෑ මිනිසුන් ලෙස නිවනින් මිදෙන අයුරු පසක් කළ යුතු ය.