Print this Article


බෝසත් දරුවන්ට : සංසාර පුරුද්දයි පින්දහම් සිදු කිරීමයි

සංසාර පුරුද්දයි පින්දහම් සිදු කිරීමයි

පින්වත් දරුවනේ, අද මම කියා දෙන්නේ තමන්ගේ අලංකාරවත් කෙස් කළඹ විකුණා ලද මුදලින් දානමය පින්කමක් කිරීමේ අනුහසින් දෙවියන් අතර, මිනිසුන් අතර මහා සැප සම්පත් විඳ අවසානයේ ඍද්ධිබල සම්පන්න මෙහෙණීන් වහන්සේ නමක් වූ, උතුම් නිවන් මඟට යොමු වූ ඉතාමත් වටිනා කාන්තා රත්නයක් ගැන යි.

දරුවනේ, මේ ලෝක සත්ත්වයන් සසර සැරි සරන්නේ , සසර ඇවිදින්නේ තණ්හාව මුල්කරගෙන යි. ආශාව, ඇලීම, තෘෂ්ණාව ආදී වචනවලින් හඳුන්වන්නේත් තණ්හාව පිළිබඳව ම යි. තණ්හාව තමයි සසර ගමනට අත්වැලක් වන්නේ. තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා අප ආත්මයෙන් ආත්මයට බැඳෙනවා.

මේ අත්වැල සිඳ බිඳ දමනතුරු ම මේ සසරේ ඉමක් කොණක් නැතිව අපට දුක් විඳින්නට සැරිසරන්නට සිදුවෙනවා. ලෝභ, ද්වේශ, මෝහ වගේ අකුසල මූලයන් මේ සසර දුක් නැතිකර ගැනීමේ ගමනට මහා බාධාවක්. මේ අකුසල් මුල් සහමුලින් ම උදුරා දැමීමට නම් දාන, සීල, භාවනා දී කුසල කර්මයන් සිදු කරන්නට ඕනෑ. නිතර, නිතර කුසල් සිත් පහළ කරගැනීමෙන් තමයි දරුවනේ අපට මේ සසරින් එතෙර වෙන්නට ලැබෙන්නේ. නිතර නිතර පින් දහම් කරනවිට එය සසර පුරුද්දක් බවට පත් වෙනවා. එයට පාරමිතා කියලත් කියනවා.

මේ විදියට දරුවනේ, පින් කිරීම සිදුවන්නේ සසර පුරුද්දකට අනුව යි. අඩුම තරමින්, පෝය දිනයේ හෝ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කර ආමිෂ පූජාවෙන්වත් බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීමට තරම් සමහර අයට වාසනාවක් නෑ. පින් දහම්වල යෙදීමට අධිෂ්ඨානයක් වගේ ම කැපවීමක් ද තිබෙන්නට ඕනෑ. පින් කිරීමේ දී ඇතිවන පිරිසුදු බව, ඒ තුළින් ඇතිකර ගන්නා වූ සතුට, යහපත් ප්‍රාර්ථනාවන් සඳහා බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා උපකාරි වෙනවා. විභාගවලට මුහුණ දෙනවිට, ජීවිතයේ වැදගත් අවස්ථාවන්හි, යහපත් බලාපොරොත්තු ඉටුකර ගන්නට ප්‍රාර්ථනාවක් කරන්නට අවශ්‍ය නම්, තමන් යම් කුසලයක් සිදුකර තිබීම ඉතාමත් ම වැදගත් වෙනවා.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට බොහෝ කාලයකට පෙර, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ “ඛේමා” නම් වූ මහත් ඍද්ධි ඇති රහත් තෙරණින් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා දුගී පැල්පතක දැරියක් ව ඉපදුණා. දිළිඳු වුවත් ඇය පංච කල්‍යාණයෙන් හෙබි ඉතාම රූමත් තරුණියක්. දරුවනේ, පංච කල්‍යාණයෙන් වඩාත් ම ලස්සන වුණේ ඇයගේ කේශ කල්‍යාණය යි. නීල වර්ණයෙන් යුතු ඉතා දිගු කෙස් කළඹක් ඇයට තිබුණා. ඇය තම කෙස් වැටියට හරිම ආදරෙයි. පරෙස්සමෙන් රැක බලා ගත්තා. හොඳින් සැලකුවා. දුප්පත් වුවත් මේ තරුණිය පෙර ආත්මයේ කරන ලද පින් ඇති තැනැත්තියක් වුණා. ඇය තමන්ට හැකි සැම අවස්ථාවක ම සැදැහැ සිතින් පිළියෙළ කරන ලද රසවත් ආහාර බුදුරජාණන් වහන්සේට පූජා කරමින් සතුටට පත් වුණා.

දරුවනේ, දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා. ඒ දවසේ මේ තරුණියට දානය සූදානම් කරගන්නට අවශ්‍ය දේ මිලදී ගන්න කිසිදු මුදලක් තිබුණේ නෑ. ඉතින් ඇය කල්පනා කළා. ඇයට තිබුණු වටිනා ම වස්තුව කෙස් කළඹයි. කිසිම ලෝභකමක් නැතිව ඒ කෙස්ටික කපා විකුණා ලද මුදලින් තමන් සිත් සේ සකස් කර ගත් දානය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පූජා කළා.

මේ විදියට ධනය ලැබුණු වෙලාවට දාන මාන පින්කම් කරමින්, ධර්මය ශ්‍රවණය කරමින්, දාන සීල ,භාවානාදී කුසල් දහම් සිදුකරමින් කුසල් රැස්කර ගත්තා. දවසක් මේ තරුණිය බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. ඒ අවස්ථාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙහෙණින් වහන්සේලා විශාල ප්‍රමාණයක් පිරිවරාගෙන, ඒ මෙහෙණින් වහන්සේලාට ධර්මය දේශනා කරනවා දුටුවා. ඒ විතරක් නොවෙයි. එක් රහත් තෙරණින් වහන්සේ නමක් ඍද්ධිබල සම්පන්න, මහා ප්‍රඥාවෙන් යුතු තෙරණිවරුන් අතර අග්‍රස්ථානයට පත් කරනවා දුටුවා. එම ධර්ම දේශනාව මෙම තරුණියට අසන්නට ලැබෙනවා. එයින් ඉතා සතුටට පත් වූ මේ ශ්‍රද්ධාවන්ත , දුප්පත් තරුණිය “යම් බුද්ධ ශාසනයක ඍද්ධිබල සම්පන්න රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්නට වාසනාව ලැබේවා” කියලා ප්‍රාර්ථනා කළා. දරුවනේ, යම් බලාපොරොත්තුවක් ඉටුකර ගන්නට ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ සඳහා මහන්සි වෙන්නටත් ඕනෑ. ඉතින් එදා පටන් මේ තරුණිය ගුණදම් වඩමින්, කුසල් රැස් කරමින් ජීවත් වුණා. කලෙකදී වයෝවෘද්ධ වුණා. ඇය කළ පින්කම්වල ආනිශංස ලෙස වරින්වර මිනිස් ලොව, දෙව්ලොව ඉපදෙමින්, සැප සම්පත් විඳිමින් කටයුතු කළා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේත් පුණ්‍යවන්තියක් වී ඉපදී , කල්යාමේ දී විපස්සී බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ පැවිදිව ධර්මධර භික්ෂුණියක් වී බොහෝ ගිහි මිනිසුන් පවින් වළකා , සුමඟට යොමු කළා. පසුව අපවත් වුණා. මේ විදිහට මේ සසර ඇවිදිමින් මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ කාලයේත් වරින් වර ඉපදී මහා ධනස්කන්ධයක් ඇති කාන්තාවක් වී ඉපදෙමින් බොහෝ පින්කම් සිදු කළා. වෙහෙර විහාර, දාගැබ් , ගිලන්හල් සෑදුවා. මේ අතර දරුවනේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඇය රාජ කුමාරිකාවක් ව ඉපදුණා. මුළු ජීවිත කාලයම කුමරි බඹසර රකිමින්, සිත, කය, වදනින් වැරැදි නො කරමින් ජීවත් වුණා. ඉතින් ඒ ආත්මාභාවයෙන් මිදිලා අවසන්වරට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ මගධ රටේ සාගල කියන නුවර මහත් සම්පත් රාජ කුමරියක් ව ඉපදුණා. අතිශයින් රූමත් ඇති ඇයට දුන් නම තමයි “ඛේමා”. නව යොවුන් වියට පත්වූ ඛේමා කුමරිය සුදුසු කාලයේ දී බිම්බිසාර මහ රජතුමාට අග මෙහෙසිය වුණා. බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ මහා උපාසකතුමෙක්. නිතර දෙවේලේ බුදුරජාණන් වහන්සේ දකින්නට වේළුවනාරාමයට යනවා. බණ අහනවා. හැබයි දරුවනේ ඛේමා නම් අග බිසව කිසිම දවසක බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්නට ගියේ නෑ. ඊට හේතුව දන්නවා ද? ඇය රූප මානයෙන් මත් වෙලා සිටියා. තමන්ට වඩා ලස්සන කෙනෙක් නෑ කියලා අධික මානයෙන් සිටියා.

බුදුහාමුදුරුවෝ රූපයේ අසුබ බව කියන නිසා කවදාවත් බණ අහන්නට ගියේ නෑ. ඒ වුණාට බණ අසා එන කාන්තාවෝ, වේළුවනාරාමයේ අලංකාරවත් බව, බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ගැන කියනවා. මේ ඇසු ඛේමාවෝ දවසක් බිම්බිසාර රජතුමාටත් දන්වලා වේළුවනාරාමයේ ලස්සන බලන්නට ගියා. වේළුවනාරාමයේ ලස්සන බලන්න ගිය ඛේමාට බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්නේ නැතිව ඉන්න බැරිවුණා. ඔන්න ඉතින් පෙර කරන ලද පින් මතු වෙන්නට පටන් ගත්තා. රූප මානයෙන් සිටි ඛේමා බුදුරජාණන් වහන්සේගෙන් බන අහලා ජීවිතය ගැන කළකිරුණා. මේ රූපයෙන් ඇති වැඩක් නෑ නේ ද? උඩඟු වීමෙන් වැඩක් නෑ නේද කියලා කල්පනා කළා, ධර්මය වටහා ගත්තා. සෝවාන් ඵලයට පත්වුණා. ඉන්පසු බිම්බිසාර මහරජතුමාගෙන් අවසරගෙන එතුමිය පැවිදි වෙන්නට ගියා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥා සම්පන්න වූ ත් මහා ඍද්ධිබල සම්පන්න අග්‍ර ශ්‍රාවිකා, ඛේමා නම් රහත් තෙරණිය බවට පත්වුණා. එක් දවසක් ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් සහ දේවතාවියන් සමඟ බුදුරජාණන් වහන්සේ හමුවීමට ආවා. ධර්ම ශ්‍රවණය කරමින් සිටින විට එක් ඍද්ධිබල සම්පන්න තෙරණින් වහන්සේ නමක් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුවමින් බුදුරජාණන් වහන්සේ අබියසට අහසින් වැඩම කළා. අහසෙහි සිට ම උන්වහන්සේට නමස්කාර කර අහසින් ම ආපසු වැඩියා. මේ ආශ්චර්යය දුටු ශක්‍ර දේවේන්ද්‍රයා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඒ සා මහත් ආලෝක ධාරාවක් විහිදුවමින් ප්‍රාතිහාර්ය පාමින් පැමිණි ශෝභාසම්පන්න රහතන් වහන්සේ කවුද කියලා, ඇසුවා. එසේ අසාමාන්‍ය පුණ්‍ය සම්පත්තියක් ලැබීමට මොන වගේ කුසල සම්පත්තියක් කළාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. ඛේමා රහත් තෙරණිය අතීතයේ කළ මහත් කුසල කර්ම ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා.

දරුවනේ සුළු තරමින් වුණත් දෙන දානයෙහි ආනිශංස සුළු නෑ. ඒවායින් මහත්ඵල මහානිශංස ලැබෙනවා.