දුලබ මිනිසත් භවයේ දිගාසිරි ලබමු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක,
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
මරණය ස්වභාවික සංසිද්ධියකි. ධර්මානුකූලව බැලුව ද, තර්කානුකූල ව බැලුව ද එය හැඬීමට,
ශෝක වීමට කරුණක් නො වන්නේ ය. එහෙත් මරණය බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වේදනාවකි. එය
වඩාත් ම දුක්ඛ වේදනාවක් වන්නේ මරණයට අරමුණු නො වූ මොහොතක මරණය සිදුවූයේ නම් ය.
කෙනෙක් කාලයේ මිය යති. කෙනෙක් අකාලයේ මිය යති. කාල මරණ, අකාල මරණ යැයි කියන්නේ
එහෙයින් ය. කාල මරණය නම් නියමිත ආයු කාලය ගෙවා වයෝවෘද්ධ වී මිය යාම ය.
වයෝවෘද්ධත්වයට පත් නො වී, දීර්ඝායු නො විඳ කෙනෙක් ළමා වියේ, තරුණ වියේ, මධ්‍යම වයසේ
මිය යනවා නම්, එය දරාගත නොහැකි වේදනාවකි. වෙසෙසින් මිය ගිය පුද්ගලයාගේ නමින්
ජීවත්වන අයට බලපාන්නකි.
මරණය ගැන කියැවෙන ජපන් සෙන් කතාවක් ඇත. එක්තරා උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්
සිටියේ ය. උන්වහන්සේ ආශිර්වාද ගාථා, ධර්ම පාඨ ලිවිමෙහි සමත් ය. දිනක් ගමේ එක්
ප්‍රභූවරයෙක් උන්වහන්සේ හමුවීමට ආවේ ය. තම නිවසේ නිතර ඇස ගැටෙන තැනක එල්ලා තැබීමට,
නිතර කියවීමට සෙත් ශාන්තියක් ලැබෙන ධර්ම පාඨයක් ලියාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
සෙන් භික්ෂූන් වහන්සේ ද ඒ ආරාධනාව පිළිගෙන කඩදාසියක ආශිර්වාද පාඨයක් ලියා දුන්හ.
ගෙදර ගොස් දරු මුනුපුරන්, වැඩිහිටියන් සියලු දෙනා එකතු කරගෙන කියවන ලෙස ද අවවාද
කළහ. ප්‍රභූවරයා එසේ කළේ ය. එහෙත් ආශිර්වාද පාඨය කියවා නිවසේ හැමෝම හඬන්නට පටන්
ගත්හ. ප්‍රභූවරයාගේ කෝපය ඉවසුම් නැති විය. වහාම භික්ෂූන් වහන්සේ හමුවීමට ගියේ ය.
හාමුදුරුවනේ, මේ කරලා තිබෙන විපත්තිය කුමක් ද? ඔබ වහන්සේගෙන් මා ඉල්ලා සිටියේ
ආශීර්වාද පාඨයක් මිස මෙවැනි ශාපලත් වාක්‍යයක් නොවෙයි.
ප්‍රභූවරයා දැඩි ස්වරයෙන් කීවේ ය.
“කලබල නො වන්න, ලියා තිබෙන දේ මොනවා ද? මට ඇසෙන්නට කියවන්න.”
ප්‍රභූවරයා කඩදාසියෙහි වූ පාඨය හඬ නඟා කියවන්නට විය.
“1. සීයා මැරේවා 2. පියා මැරේවා 3. පුතා මැරේවා 4. මුනුපුරා මැරේවා ආදී ලෙස
අනුපිළිවෙළට එහි ලියා තිබුණි.
“මෙවැනි විනාශකාරී දෙයක් ලියා දුන්නේ කුමක් නිසා ද? අපේ පවුලේ හැමෝම එය කියවා හඬා
වැළපෙනවා.” ඔහු නැවත තර්ජනාත්මක ව කීවේ ය.
‘පින්වත, කලබල වන්නේ කුමට ද? මරණය හැමෝට ම පොදු ධර්මතාවයක්. එය දුකක් තමයි. ඒත් එය
බරපතළ දුකක් වන්නේ ඔය අනුපිළිවෙළ වෙනස් වුණොත් නොවේ ද?’ සෙන් හිමියෝ පැහැදිලි කළහ.
ධර්මානුකූල ව ජීවිතය ගත කරන කෙනෙකුට දීර්ඝායුෂ ලැබීම අපහසු නැත. එය ධර්මය අනුගමනය
කිරීමේ එක්තරා ප්‍රතිඵලයක් බවට පත්වන්නේ ය. මිනිසත් බව ලැබෙන්නේ ඉතා කලාතුරකින් ය.
සසර සුවපත් කර ගන්නට, බව දුක නිවාලන්නට පින්, කුසල් දහම් රැස්කර ගත හැකිවන්නේ
මනුෂ්‍යාත්මයක් ලැබුවේ නම් පමණි.
තථාගත ශ්‍රී සද්ධර්මය අදත් ජීවමානව පවතී. ඒ දහම් මග යමින් ජීවිතය සුවපත් කරගන්නට
හැකියාව ඇත. ලද මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙළා නො ගත්තේ නම්, අප තව තවත් මේ සසර කතරේ
බොහෝ දුක්ඛ පීඩාවන්ට ගොදුරු වෙමින්, ඉපදෙමින්, මිය යමින් සසර දිගු කරගන්නට සිදුවනු
ඇත. ඒ අනුව අප අධිෂ්ඨාන කරගත යුතු වූ දෙයක් ඇත. ඒ කාල මරණයට පත් ව ජීවිතය අවසන්
කරනවා යනුවෙනි. ඒ ජීවිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන පින් කුසල් දහම් රැස් කරනවා
යනුවෙනි.
ධම්මං චරෙ සුචරිතං
න නං දුස්චරිතං චරෙ
ධම්ම චාරි සුඛං සේති
අස්මිං ලොකෙ පරම්හිච
යන බුදු වදනෙහි සඳහන් වන්නේ දුෂ්චරිතයෙහි නොයෙදී සුචරිතයෙහි කටයුතු කරන පුද්ගලයා
මෙලොව දී ද, මරණින් මතු පරලොවෙහි දී ද ඉතා හොඳින් ජීවත්වන බව ය.
මේ අනුපිළිවෙළ ආරක්ෂා කර ගැනීම ය, ධර්මයෙහි හැසිරීමේ ප්‍රතිඵලය. අප හැම දෙනාම මිය
යා යුතු වයෝවෘද්ධ වියේ ය. අප අධිෂ්ඨාන කරගත යුතු එය යි. වැඩිහිටි වී මිය යන්නට නම්
ධර්මානුකූල ජීවිතයකට හුරු විය යුතු ය. ධර්මානුකූල ජීවිතය කියන්නේ ආහාර සප්පාය,
විහරණ සප්පාය ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම ය.
අපගේ ආහාර රටාව බුද්ධිමත් ව හසුරුවා ගැනීම ආහාර සප්පාය යි. ක්‍රියාකාරකම්, හැසිරීම්
බුද්ධිමත් ව සංවිධානය කර ගැනීම විහරණ සප්පාය යි. සත්‍ය වශයෙන් ම මරණයට මුහුණ දීමට
සිදු වුවද එය සිදුවන්නේ ආහාරයත්, අපගේ හැසිරීමත් ධර්මානුකූල වූ විට, ක්‍රමානුකූල වූ
විට හා බුද්ධිමත් වූ විට ජීවිතය පූර්ණ කාලීනව ගත කිරීමෙන් පසුව ය. එම නිසා
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කො තරම් වැඩ කටයුතු තිබුණ ද, කාර්යය බහුල වුවද
තමන්ගේ ශරීර සෞඛ්‍ය අත නොහැර ආරක්ෂා කරගත යුතු ය.
“මට මෙපමණ වැඩ තිබෙනවා. ආහාර ටික ගන්න වෙලාවක් නෑ . හරියට නින්දක් නෑ. විවේකයක් නෑ.
ආදි ලෙස කෙනෙක් ලෙඩ දුක් ඉදිරියේ නිදහසට කරුණු කියනවා නම්, ඒ බුද්ධි විරහිත කතාවකි.
කාර්ය බහුලයි කියන්නේ අනුවණ මිනිසෙකුගේ කතාවකි. කරණීයමෙත්ත සූත්‍රයේ දී නිවන හෙවත්,
සුගතිය, එසේත් නැතිනම් දුකෙන් මිදීමේ වැඩ පිළිවෙළට යොමු වූ කෙනෙක් සුබර,
සල්ලහුකවුත්තී ආදී ගුණයන්ගෙන් යුතු විය යුතුම ය.
පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, ලද දෙයින් සතුටු වීම, සරල ජීවිතය, වැඩ අඩු බව,
සංවිධානාත්මක ව වැඩ කටයුතු කර ගැනීම කෙනෙකුගේ ජීවිතය දියුණුව කරා ගෙන යයි. තමන්ට කළ
හැකි වැඩ තෝරා ගතයුත්තේ ක්‍රියාකාරී ශක්තියට හා ආත්ම ශක්තියට අනුව ය.
මේ ධර්මතා අනුගමනය කරන කෙනා සාමාන්‍යයෙන් අකල් මරණයකට ගොදුරු වන්නේ නැත. සැබැවින් ම
ජීවිතය අංග සම්පූර්ණ වන්නේ ස්වභාව ධර්මය හා සමග එක්ව යන ජීවිත ගමන ක්‍රමානුකූලව
පාලනය කරගත් පුද්ගලයාගේ ය. මේ ජීවිතය මෙන් ම පරලොව ජීවිතය ද සුවසේ ගෙවන්නේ එවැනි
පුද්ගලයාම ය. මේ කරුණ තේරුම් ගැනීම සම්මා දිට්ඨියට පිවිසීමේ වැදගත් පියවරක් බවට ද
පත්වන්නේ ය.
- රමණී සුබසිංහ |