[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ බෝ පෙළහර

මහ බෝ පෙළහර

" මහා පෙරහරෙන් නැව් නැංවූ මේ රාජකීය සම්භාවනීය පිරිස හා බෝධි ශාඛාවත් අතර මග දී දෙවියන්ගේ හා නාගයන්ගේ නොයෙක් පූජා ලබමින් උඳුවප් පුර පසළොස්වක් පොහෝදා ලක්දිව දඹකොළ පටුනට පැමිණියහ"

සිරිමා බෝ රදුන් බුදුන් වහන්සේ ගේ ආත්ම විමුක්තියේ විජයග්‍රහණය මුළු ලෝකයට ප්‍රදර්ශනය කරන සංකේතයකි. සිංහල ජනවංශයේ සකල පුණ්‍ය ඵලයක් ම එක් තැනක ඵල දුන් කලක් මෙන් ලංකා ධරණි තලයේ අනුරාධපුර පුද බිමේ, අපරාජිත ශුද්ධ භූමියේ, ඒ මහා ජය භූමියේ ජයසිරි මහ බෝ හිමි මුල් බැස ගියේ ය.

මුළු ලෝකයේම තිබෙන ඓතිහාසික ලේඛනයන්හි සඳහන් පැරැණිතම වෘක්ෂ රාජයාණන් වූ ද, සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුව වූ ද සිරි මා බෝ හිමි ලක්දිවට වැඩම වීම පිළිබඳ මංගල පුවත සිදුවුණු උඳුවප් පොහොය ශ්‍රේෂ්ඨ ආගමික දිනයකි.

බුද්ධත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පණිවුඩය සමස්ත ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන ජය සිරි මහ බෝ හිමියන්ගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට ලැබීමත් මේ දක්වා එය නිර්මලව ආරක්ෂා වීමත් සිංහල බෞද්ධයන් වූ අපගේ මහා වාසනාවකි. බුදු රජාණන් වහන්සේගේ නිකෙලෙස් සිරුරේ සිසිල් පහස ලත් බෝ හිමි පාරිභෝගික චෛත්‍යයකි.

ඓතිහාසික වංස කථා ග්‍රන්ථයනට අනුව ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සිදුකරන ලද මහා අධිෂ්ඨාන පහකි. එනම්

1. “ලංකාවෙහි රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන් ම ගැළවී රන් කටාරමෙහි පිහිටීම,

2. බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වළා ගැබක් අතරට වැද සිටීම,

3. සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන් ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදීම,

4. දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුන් වහන්සේ පිහිටන කල්හි යමාමහ ප්‍රාතිහාර්ය පෑම හා

5. සර්වඥ ධාතු ද්‍රෝණයක් පමණ රුවන්මැලි මහසෑයෙහි පිහිටන කල්හි බුද්ධ වේශය ගෙන අහසට පැන නැගී යමාමහ පෙළහර පෑම ය.

යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළ බව සඳහන් වේ. එසේම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් ද මේ පිළිබඳව ධර්මාශෝක මහ නිරිඳුන්ට සිහිපත් කොට ඇත. ඒ ඇසූ ධර්මාශෝක රජතුමා අතිශයින් සතුටුව පැළලුප් නුවර පටන් බෝධින් වහන්සේ දක්වා සත් යොදුන් මග සරසවා, රන් කටාරමක් ඒ සඳහා පිළියෙල කරවා, සිවුරඟ සෙනග පිරිවරා ගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගොස් ඇත.

දහස් ගණන් මහ රහතන් වහන්සේලා ද, අභිෂේක ලත් රජ දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් ද, අප්‍රමාණ ජන සමූහයක් ද බෝධීන් වහන්සේ වෙත රැස් ව සිටිද්දී අශෝක අධිරාජ්‍යයා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා ඇඳීලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලු විට දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය ද ඉතිරි කොට තබා සියලුම ශාඛාවෝ අන්තර්ධාන වී ඇත. මේ අසිරිමත් පෙළහර දුටු රජතුමා අතිශය ප්‍රීතියට පත්ව දඹදිව රාජ්‍යයෙන් පුදමි යි අභිෂේක කෙළේ ය. නැවත සුගන්ධාදිය පූජා කොට, තුන් යලක් පැදකුණු කොට අට තැනක දී ඇඳීලි බැඳ බෝධිය ප්‍රදක්ෂිණා කර නමස්කාර කොට සත්‍යක්‍රියා බලයෙන් බෝධිය ගනු පිණිස මහා බෝධි ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රන් කටාරම තබ්බවා රුවන් පුටුවකට නැගී රන් තෙලි කූරක් ගෙන ශාඛායෙහි ඉරක් ඇඳ “මේ බෝධි ශාඛාව ලක්දිවට යා යුතු නම්, මා සර්වඥ ශාසනයෙහි විමති රහිත නම්, මේ බෝධි ශාඛාව තමා ම බිඳී රන් කටාරමෙහි පිහිටාවා” යි සත්‍යක්‍රියා කෙළේ ය.

මේ සත්‍යක්‍රියාව අවසානයෙහි බෝධි ශාඛාව තමා ම අයත්නයෙන් සි¼දී රන් කටාරම මත්තෙහි පිහිටියා ය. එය දුටු රජතුමා ඇතුළු මහා පිරිස ප්‍රීති ඝෝෂා පැවැත් වූ අතර මහා රහතුන් ප්‍රධාන සංඝයා වහන්සේ සාධු නාද පැවැත් වූ හ. බෝධි ශාඛාව මුල් සියයකින් කටාරමෙහි පිහිටි අතර මහ පොළොව කම්පා විය. නානාප්‍රකාර ප්‍රාතිහාර්ය පහළ විය. මිනිස් දෙව් බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව තලයම ඒකකෝලාහල විය. බෝධි ශාඛාවේ ඵලයන්ගෙන් හා පත්‍රවලින් සවණක් රැස් විහිදෙන්නට වූ අතර රජතුමා නැවතත් බෝධිය දඹදිව රාජ්‍යයෙන් පුද ා රාජ්‍යයෙහි අභිෂේක කොට මහා බෝධි පූජා පවත්වා ඇත.

අශෝක මහ රජතුමා බෝධීන් වහන්සේ ආරක්ෂා කරනු පිණිස පරිවාර සෙනගත් ඇති ව ගංගා නම් නදියෙහි සරසන ලද නැවට බෝධීන් වහන්සේ නංවා එකොළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා තෙරණින් වහන්සේත් මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාම්‍රලිප්ති නම් තොටට පැමිණියේ ය. එහි දී දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් උදාර පූජාවෙන් බෝ සමිඳුන් පුදමින් සත් දවසක් ගමන් කර ඇත. අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පුදා උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධි රාජයා ඔසවාගෙන ග්‍රීවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කොට සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේලාත්, මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසත් නැවට නංවා මෙසේ ප්‍රකාශ කර ඇත. “මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මගේ මිත්‍ර රජතුමා ද එසේ ම කෙරේ වා” යනුවෙනි.

මහා පෙරහරින් නැව් නැංවූ මේ රාජකීය සම්භාවනීය පිරිස හා බෝධි ශාඛාවත් අතර මග දී දෙවියන්ගේ හා නාගයන්ගේ නොයෙක් පූජා ලබමින් උඳුවප් පුර පසළොස්වක් පොහෝදා ලක්දිව දඹකොළ පටුනට පැමිණියහ. නැව වෙරළට ළං වූ පසු දේවානම්පියතිස්ස රජතුමා ග්‍රීවය තෙක් ජලයටබැස අටළොස් කුල ජනයන් සමග බෝධි ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් මහත් ගෞරව භක්තියෙන් යුක්තව පිළිගෙන පසුව රාජකීය සම්මාන සහිතව මහ පුද පෙරහරෙන් අනුරාධපුර මහ මෙවුනා උයන වෙත කැඳවා ගෙන ගොස් ඇත.

අවුරුදු දෙදහස් තුන්සිය විසි හතකට පෙර ලෝකයේ සිදුවුණු ඓතිහාසික අපූර්වතම සංග්‍රාමයක තොරතුරු ලෝකයා හමුවේ කියාපාන අප ගෞතම බුදු රජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි පෙර තුන් බුදු වරයන්ගේ බෝධි ශාඛා පිහිටි ස්ථානයෙහි රෙහෙණ නැකතින් බෝධි ශාඛාව පෘථිවියෙහි රෝපණය කරන ලද අතර එකෙනෙහි ම මිහිකත තොමෝ සාධු නාද දෙන්නාක් මෙන් කම්පා වී ඇත.

සවණක් ඝන බුදුරැස් විහිදුවමින් සිදු වූ අසිරිමත් පෙළහර දුටු දෙවන පෑතිස් නිරිඳු එයට උපහාරයක් වශයෙන් ලක් රජයෙන් බෝ සමිඳාුන් පිදී ය. අනුරපුර පුදබිමේ ජයසිරි මහා බෝ හිමි මුල් බැස ගති. සිරිමා බෝ හිමි ලක් පොළොවේ මුල් බැස ගියා පමණක් නොව එය සිංහල ජාතියේ ද, සිංහල දේශයේ ද මුල් බැස ගියේ ය. ජයසිරි මහ බෝ හිමියන්ගේ සිසිල් පහස ලබා එන සීතල සුළං රැළි පවා බොදු බැතිමතුන්ගේ ගතට සිතට ලැබ දෙනුයේ මහා සැනසිල්ලකි. දෙවන පෑතිස් නිරිඳුන්ගෙන් ආරම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු - භාතිකාභය - ධාතුසේන - අඹහෙරණ සලමෙවන් - ජෙට්ඨතිස්ස ආදී පශ්චාත් කාලීන රජවරුන් විසින් ද මහත් ගෞරව භක්තියෙන් යුක්තව පවත්වා තිබෙන අයුරු අපේ ශාසන ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.

බුද්ධගයාවේ පිහිටි ජය සිරි මහා බෝ සමිඳුන්හට කලින් කල යෝනකයන්ගෙන් හා හින්දූන්ගෙන් සිදු වූ අතවර බොහෝ ය. එහෙත් එය කල්පාන්තය තෙක් නො නැසිය හැකි ය. දඹදිව බුද්ධගයාවේ අද පවත්නේ එදා බුදු රදුන් පිට දීමෙන් පරම පූජනීය බවට පත් මහා බෝධිය නොව විනාශයට පත් කිරීමෙන් පසු නැවත හටගත් අංකුරයකි. එහෙත් ධර්මාශෝක අධිරාජයාගේ දවස වනතෙක් එය නිර්මල ව නිරුපද්‍රිත ව, බැබළුණේ ය. දේවානම්පියතිස්ස නිරිඳුන් දවස ලක්දිවට ලැබුණේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පිට දී බුදු වී වදාළ නියම බෝධීන් වහන්සේගේ ශාඛාවකි. අද පවා අනුරපුර පුදබිමේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධි රාජයාහට ලංකා වාසී බෞද්ධ ජනතාව දක්වන ගෞරවය අසීමිත ය. ලක්ෂ ගණන් බැතිමතුන් ගේ සැදැහැබැති වඩවන ජය ශ්‍රී මහා බෝධි රාජයා සිංහල ජාතියේත්, සංස්කෘතියේත් ප්‍රෞඪත්වය මැනැවින් ලොවට කියාපාන්නේ ය.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]