Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: කර්ම ශක්තියට අනුව දරුවන්ගේ සිතුම් පැතුම් තීරණය වෙයි

කර්ම ශක්තියට අනුව දරුවන්ගේ සිතුම් පැතුම් තීරණය වෙයි

" මවගේ සිතිවිලි යහපත් කර ගැනීම පිණිස අංගුලිමාල පිරිත ශ්‍රවණය කිරීම සිංහල සංස්කෘතික ලක්ෂණයට වඩා එහාට විහිදී ගිය මනෝවිද්‍යාත්මක සත්‍යයකින් පිරි එකකි."

පෙරදිග සාහිත්‍යයේ උගන්වනු ලබන්නේ ගුණවත්කම මිනිසකුට තිබිය යුතු අවශ්‍ය ම ලක්ෂණයක් බවට ය. උගත්කම තිබිය යුත්තේ ද, ගුණවත්කම සහිත පුද්ගලයකුට ය. ගුණවත් බව හා නැණවත් බව නොමැති පුද්ගලයන් මනුෂ්‍යත්වයට වඩා සමීප වන්නේ තිරිසන් ගති සිරිත්වලට ය.

මව්පියෝ දරුවන් ලබති. දරුවෝ ද, දෙමාපියන් ලබති. සත්තු ද දරුවන් ලබති. මිනිසුන් මෙන් ම සතුන් විසින් ද, තම පැටවුන්ට කැවීම් පෙවීම් කරනු ලබති. එසේ වුව ද, සත්ත්වයාට වඩා මිනිසා බුද්ධිමත්ව කල්පනාකර වැඩ කටයුතු කරයි. යම් පුද්ගලයකුට තම මව පියා ලැබී තිබෙන්නේ පෙර සංසාරයේ සිට පැවත එන කර්ම සම්බන්ධය අනුව බව බුදු සමයේ උගන්වා ඇත. මව්පියන්ට දරුවන් ලැබෙන්නේ කර්ම සම්බන්ධය අනුව සේ ම, දරුවන්ට මව්පියන් ලැබෙන්නේ ද ඒ ආකාරයට ම ය. බොහෝ ආගම්වල මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු නොතිබුණ ද, බුදු සමයේ එවනි ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු ලබාදෙයි. පවුල්වල දෙමාපියන් හා දරුවන් අතර පවතින සම්බන්ධය අධ්‍යයනය කර බැලීමේ දී මව්පියන්ට ලැබෙන දරුවන් විවිධ ය. ඒ අනුව මෙසේ විග්‍රහ කළ හැකිය.

මව්පියන් සමඟ මනා සම්බන්ධතා පවත්වන දරුවන්

මාපියන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති දරුවන්

අම්මා සමඟ මිත්‍ර වුව ද, තාත්තා සමඟ අමනාප දරුවන්

තාත්තා සමඟ මිත්‍ර, අම්මා සමඟ අමනාප දරුවන්

මව්පියන්ගේ දේපළ ලබා ගැනීමට මව්පියන්ට සලකන දරුවන්

දේපළ ප්‍රශ්න නිසා මව්පියන් සමඟ අමනාප වන දරුවන්

මව්පියන්ගේ කිසිම දේපළක් නොලබා තමාට හැකි ආකාරයෙන් මව්පියන්ට සලකන දරුවන්.

තම දරුවන්ගේ වැඩ කරවා ගැනීම සඳහා මව්පියන්ට ගරු සත්කාර කරන දරුවන්.

විශ්‍රාම වැටුප ලබන දා මව්පියන් සිහිපත් වන දරුවන්

මව්පියන්ගේ අගුණම දකින දරුවන්

සමාජයේ දී මව්පියන්ගේ අගුණ ම ප්‍රකාශ කරන දරුවන්

අම්මා කළ දෙයම කරන, ගල හොඳනම් අඹරණ කහ මක්වේද? වැනි දියණිවරුන්

මවට වඩා උතුම් සිතිවිලි සහිත දියණියන්

වැදූ අම්මාටත් නිගා කරන දරුවන්

ලොකු මහත් වූ පසුවත්, මව්පියන්ගෙන් ම ජීවත්වන දරුවන්

මේ අයුරින් දරුවන් මව්පියන් පිළිබඳව සිතන, පතන ආකාරය අනුව සමාජයේ දී අපට හමුවන දරුවන් විවිධ ය.

තමාගේ සිතිවිලි වචන බවට පෙරළෙයි . ඇතැම් අවස්ථාවල දී එය ක්‍රියාවක් බවට පත්වෙයි. කුසලයට නැඹුරු වූ සිත කුසල් කරනු ලබන්නා සේ ම, අකුසලයට බර වූ සිත අකුසල් කරයි. ඇතැම් දරුවෙක් මව්පියන් අපට කළේ මොනවාදැයි සිතයි. එය ඇතැම් අවස්ථාවලදී වචනයෙන් ද ප්‍රකාශ කරයි. ඇතැම් දරුවෙක් මම මව්පියන්ට කළේ මොනවාදැයි සිතා තමා පිළිබඳ කම්පාවට පත්වෙයි. ඒ ආකාරයෙන් දරුවන්ගේ සිතට විවිධාකාරයේ සිතිවිලි නැගෙයි.

බුදුදහමට අනුව මව්පියන්ට ලැබෙන දරුවන් ඒ පුද්ගලයන්ගේ සිතිවිලිවල පවතින විවිධත්වය අනුව කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.

අතිජාත දරුවෝ

ප්‍රඥාවෙන් හා ගුණධර්මවලින් මව්පියන්ට වඩා ඉහළ තත්ත්වයට පැමිණි දරුවන්. මව්පිය කුල පරම්පරාවට ආශිර්වාදයක් වී ඊට වඩා කුල පරම්පරාව දියුණු කරන දරුවන් මේ ආකාරයෙන් හඳුන්වනු ලබයි.

අනුජාත දරුවෝ

ප්‍රඥාවෙන් හා ගුණධර්මවලින් මව්පියන් හා සමාන තත්ත්වයට පැමිණි දරුවන් තම කුල පරම්පරාව ද, පැවැති ආකාරයට ම රැගෙන යන දරුවන් මෙසේ හඳුන්වයි.

අවජාත දරුවෝ

ප්‍රඥාවෙන් හා ගුණධර්මවලින් මව්පියන්ට වඩා පහළ තත්ත්වයක සිටී. තම කුල පරම්පරාවට නින්දාවන් ඇතිවන අයුරින් කටයුතු කරන දරුවන්.

“අවජාතං න ඉච්ඡන්තී ඒසෝව කුලගන්ද කෝ”

මව්පියන් කැමැති වුවත්, අකමැති වුවත්, මෙම දරුවන් තෙවර්ගය ම දෙමව්පියන්ගේ කර්ම ශක්තිය අනුව ලබයි.

දරුවකු ලැබීම සඳහා කරුණු තුනක් හේතුවන බව දහමේ දක්වා ඇත.

ඉත්ථි උතුහි හෝති (ස්ත්‍රියගේ සරුකාලය වීම)

මව්පියන්ගේ එක්වීම

ගන්ධබ්බෝ පච්චුපට්ටිනාහෝති (ගන්ධබ්බයකු පැමිණීම)

ගන්ධබ්බ යනු, මවුකුස තුළ නිර්මාණය වන්නක් නොව, මවුකුස තුළට පිටතින් පැමිණෙන ජීව ශක්තිය යි. පෙර ආත්මයක ජීවත්වූ කෙනෙකි. ඒ ආත්මයේ කරනු ලැබූ පින් පව් ඇති පුද්ගලයෙකි. “ගන්ධබ්බෝ මාතු කුච්ඡිජිඩිමිං ඔක්කමති” පිටතින් පැමිණෙන ඒ ජීව ශක්තිය මව්කුසට ඇතුළු වන බව බණපොතේ දක්වා තිබේ. ශරීර ලක්ෂණ ඔවුනට ආවේණික ආකාරයට පිහිටා තිබුණ ද, දරුවන් උපන් පසු ඔවුන් සිතන, පතන ආකාරය තීරණය වන්නේ ඔවුන්ගේ කර්ම ශක්තීන් අනුවයි.

බුදු දහමට අනුව දරුවන් පිළිසිඳ ගැනීම සහ දරුවා බිහිකිරීම හා සම්බන්ධ කරුණු කාරණා බලන විට පැහැදිලි වන්නේ මව තුළ තිබිය යුතු ආගමික, මානසික සම්බන්ධතාවයි.

මවකට ගැබිණි සමයේ දී ආගමික මානසිකත්වයෙන් හිත සංවර කරගැනීම සඳහා අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍ය ක්‍රියාව ඇතුළත් අංගුලිමාල පිරිත වැදගත් වෙයි. මවගේ සිතිවිලි යහපත් කර ගැනීම පිණිස අංගුලිමාල පිරිත ශ්‍රවණය කිරීම සිංහල සංස්කෘතික ලක්ෂණයට වඩා එහාට විහිදී ගිය මනෝවිද්‍යාත්මක සත්‍යයකින් පිරි එකකි. “යථොහං භගිනි අරියායජාතියා ජාතෝ නාභිජානාම් සංවිච්චපාණං ජීවිතා වෝ රෝ පේතා” අංගුලිමාල මහ තෙරණුවෝ සමාජයේ මිනිසුන් අතින් අපමණ පීඩාවට පත්වූ බව බුදුරජාණන් වහන්සේ දැන සිටියහ. අංගුලිමාල තෙරුන් ඒ පිළිබඳ සිහිපත් කරන හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ තමා කළ කර්ම විපාකවලින් මිදීමට කිසිවෙකුටත් නොහැකි බවයි. ඒ පිළිබඳව කම්පා නොවී අධිෂ්ඨානශීලීව තම අරමුණ කරා සිතිවිලි සකස්කරගත යුතු බවයි.