බිහිසුණු
අපාය :
සුගතියේ දොරටු
විවර කර ගනිමු
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය,ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නුවණින් අපායේ තතු, නියමිත තත්ත්වය, එහි ආයුෂ
නියමාකාරයෙන් දේශනා කර වදාළා. පෘථිවියේ ගණකම යොදුන් දෙලක්ෂ හතළිස් දාහක් වන අතර ඉන්
යටට ජල පොළොව යොදුන් හාර ලක්ෂ අසූ දාහක් වෙයි. එයින් ද යොදුන් නව ලක්ෂ හැටදාහක් යට
වා පොළොව පිහිටා තිබෙයි. එයින් ද යොදුන් පහළොස් දාහකින් යටින් අට මහා නරකයේ සංජීව
නරකය පිහිටා තිබෙනවා.
අට මහා නරකය පිහිටා තිබෙනවා. එක නරකයක් වටා ඔසුපත් නරක දාසයක් වෙයි. එවිට සියල්ල ම
එකසිය තිස් හය යි. මේ අතුරෙන් නරකයන් අසූ එකක් පිළිබඳව ‘බියකරු අපායේ’ ලිපි පෙළින්
සඳහන් කළා. මේවා හොඳින් කියවා අපායට භය ඇතිකරගෙන පාපයෙන් නිදහස් වන්න. හැකිතාක්
පින් දහම් කර තමන්ගේ සුගති මඟ , නිවන් මඟ විවර කරගත යුතු යි. අපායේ භය හොඳින් වටහා
ගත් විට, සුගති මඟ යාම අපහසු කරුණක් නො වෙයි.
අසූ දෙවන අපාය වන්නේ මුත්තකරීසග්ගී නරකය යි. මෙහි අපායගාමී වන්නේ මනු ලොව සිටියදී
පුදබිම්වල කෙළ ගසා, සොටු දමා, මළ මූත්‍රා කිරීම, කුණු රොඩු දැමීමෙන් ආදිය තුනුරුවන්
වැඩ සිටින භූමිය අපවිත්‍ර කරන්නන් ය. එය දරුණු පාපයක්. එනිසා කවුරුත් තුනුරුවන් වැඩ
සිටින විහාරස්ථානය පිරිසුදු කරගෙන ගෞරව සම්ප්‍රයුක්ත ව කටයුතු කළ යුතු යි. කොළ රොඩු
ආදිය එක් තැනකට දමා, මල් අසුන් පිවිතුරු කර, එක් ස්ථානයකට දැමිය යුතු යි. අපිරිසුදු
නම් පිවිතුරු කළ යුතු යි. තණකොළ වැවී ඇතිනම්, කපා දමන්න. සුදුපිරියම් නොකළ ස්ථාන
නැවත සැකසීමෙන් මහා සැප විපාක ලැබෙයි. සමහර වෙහෙර විහාරස්ථානවල දේපොළ පවා මිනිසුන්
යටතට ගනි යි. ගස් කොළන් පවා කපා දම යි. ගෙඩි ටික කපා දමා විහාර අපිරිසුදු කර යි.
මේවා බොහොම භයානක පාපයන් වෙයි. සැදැහැවතුන් මේවා පූජා කළේ සුගති සැප, නිවන් සුව
පතාගෙන යි. ඒ අයගේ පැතුම් ඉෂ්ඨ කර ගන්නට ඉඩ හැර , වෙහෙර විහාර සතු වැලි කැටයක්වත්
ගෙන යන්නට එපා. වෙහෙර විහාරයන්ට පූජා කළ දේට අත නොතබා, ඒවා විනාශ නොකර රැක ගන්නට වග
බලා ගන්න. එවිට මනුෂ්‍ය සම්පත්, දේව සම්පත්, බ්‍රහ්ම සම්පත් ආදී සියලු සම්පත් ලැබිය
හැකි යි. මේ ගැන හොඳින් කල්පනා කර කොයි කවුරුත් මේ නරකයෙන් වැළකීම සඳහාම වග බලා ගත
යුතු යි. පූජනීය ස්ථාන පිරිසුදු කිරීමෙන් සුගතියකට පත් විය හැකි යි. පූජනීය ස්ථාන
අපිරිසුදු කිරීමෙන් මේ නරකයට වැටී දුක් විඳිනු ලබයි. හොඳින් නුවණින් කල්පනා කර බලා
සුදුසු ක්‍රමය සිතට ගත යුතු අතර නුසුදුසු ක්‍රමය අත් හැර දමන්න.
අසූතුන්වන නරකය දූසමාලග්ගී නරකය යි. මේ අපායේ නිරි සතුන් ගින්නෙන් දැවි දැවී දිගු
කලක් ම දුක් විඳිනු ලබයි. මෙහි අපාගත වන්නේ මනු ලොව සිටිය දී පූජනීය ස්ථානයන්හි කා
බී, එම ස්ථාන පිරිසුදු නොකරන්නන් ය. බත් ඇට වැටී, ඉඳුල් වැටී, කොළ කැබලි දාපු
තැන්වල එලෙස ම තිබියදී මඟ හැර යන්නන් ය. මෙය භයානක පාපයක්. හොඳින් මතක තබා ගන්න
වෙහෙර විහාරස්ථානවල දී, ධර්ම ශාලාවලදී සිල් සමාදන් වන අය බොහොමයක් කෑම බීම ගන්නවා.
නමුත් එය තමන් පිරිසුදු කළ යුතු යි. මේ සුළු දේ නොකළොත් තමන් දිගු කලක්ම දූසමාලග්ගී
නරකයේ දුක් විඳිනු ලබයි. ගේ දොරෙහි ද, වැසිකිළි, මුළුතැන්ගෙය, ගෙමිදුල ආදිය ද
පිරිසුදුව තබා ගන්න. මේවා අමුතුවෙන් කිව යුතු නැති අතර තම තමාට අයිති දේ වෙයි.
මෙලෙස බාහිර පිරිසුදුකම ඇතිනම්, ආධ්‍යාත්මික පිරිසුදු බව ද හොඳින් තබා ගත හැකි යි.
අසූ හතරවන අපාය වන්නේ අනුපට්ටිතග්ගී නරකය යි. මෙහි අපාගත වන්නේ සංඝයාට පූජා කළ දේ
අනුභව කරන්නන් සහ ලබා ගන්නන් ය. සඟ සතු දානය දවල් දොළහ වෙද්දී අහෝසි වන අතර එය යම්
කෙනෙක් අනුභව කළාට වරදක් නොවෙයි. සඟ සතු දේ ඉඩ කඩම්, ගස් කොළන්, ආදිය ලබා ගන්නට
උනන්දු නොවන්න.
තමන්ට අවශ්‍ය දෙයක් වේ නම්, එය වෙළෙඳ පොළෙන් ලබා ගත යුතු අතර පන්සලෙන් කිසිවක්
ගන්නට එපා. සඟ සතු දේ අනුභව කිරීම, සඟ සතු දේ ලබා ගැනීම තුළින් අනපට්ටිතග්ගී නරකයට
වැටෙයි. මෙහි අපාගතව දිගු කලක්ම ගිනි ජාලාවන් මධ්‍යයේ ලෝහ ගුලි ගිල දමමින්, ලෝ දිය
බොමින්, අසීමිත දුකක් විඳිනු ලබයි. සඟ සතු පූජාව ලොව උතුම්ම පූජාව වන අතර, එයට
අගෞරව නොකරන්න. සංඝ සන්තක දේ ද නොගත යුතු යි. සඟ සතු දේ මේ දේ අවශ්‍යය යි යනුවෙන්
කිසිවෙක් නොඉල්ලිය යුතු යි. මෙය ස්වාමීන් වහන්සේලාද විශාල ප්‍රශ්නයකට මුහුණ පාන
අවස්ථාවක්. හේතුව, මේවා පින්වතුන් පූජා කරන්නේ ශ්‍රද්ධාදී ගුණ දියුණුවෙන් නිවන් සුව
ලැබේවා යන පැතුමෙනි. මෙලෙස පූජා කරන දේ විනාශ කළොත් බොහොම භයානක යි. සඟ සතුව යමක්
පූජා කරන අය නිවන් දකිනා තුරු සුගතිගාමී වෙයි. අසූපස්වන නරකය කුම්භග්ගී නරකය යි.
මෙහි අපාගත වන්නේ මනු ලොව සිටියදී විහාරස්ථානවල , ආරණ්‍යසේනාසනවල අයත් දේ වලින්,
වැඩගන්නන් ය. තෙරුවන්ට අයත් භාණ්ඩ , ඇතැම් විට විල්බැරැක්ක, ඉනිමං ආදී සඟ සතු දේ
නිවසට ඉල්ලා ගෙනවිත් ඉන් වැඩ නොගන්න. එවැන්නෝ කුම්භග්ගී නරකයේ අපමණ දුක් විඳිනු
ලබයි. රාජ්‍ය දේපොළ ද අනිසි ලෙස පරිහරණය කරන්නන් ද මේ විපාකය විඳිනු ලබයි.
හොඳින් ඉගෙන ගෙන, දහම් දැනුම වැඩි දියුණු කරගෙන, අපායේ තතු වටහාගෙන, දෙව්ලොව, බඹලොව
තතු හොඳින් වටහාගෙන, හැකිතාක් පින් දහම් සිදුකරගෙන තම ජීවිතය වාසනාවන්ත බවට පත්
කරගත යුතු යි. එවිට කිසිවකින් තමන්ට කරදර පීඩාවක් නැතිව සංසාර ගමනෙන් නිදහස් විය
හැකි යි. මේ ගැන සිතා කල්පනාවෙන් අපායෙන් අත්මිදීමේ ක්‍රමය ඉගෙන කියාගෙන අපායෙන්
නිදහස් විය යුතු යන ප්‍රතිපත්තිය හොඳින් මතක තබා ගන්න. දෙව් ලොවට , බඹ ලොවට යන මඟ
හොඳින් තිබෙයි. මේවාට දාන, ශීල, භාවනා, පින්කම් තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් කළ
යුතු යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කර, නිවන් සුව පතාගෙන පින්කම් සිදු කිරීමෙන්
නිවනට පත් විය හැකි යි. ඒ නිසා අනිවාර්යන් පාපයෙන් නිදහස් ව, තුන්දොර සංවර කරගෙන
දාන ආදී පින්දහම් කර, මෙලොව ජීවිතය සුඛිත, මුදිතව තම ජීවිතය සැපවත් කරගෙන, තම
ජීවිතය වාසනාවන්ත ව ඉදිරියට යන්නට අවශ්‍යය යි. එසේනම්, මෙලෙස අපායේ දොරටු වසාගෙන
සුගතියේ දොරටු විවර කරගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආදී නිවන් මඟ විවරව කවුරුත්
සැදැහැ සිතින් නිවන දෙසටම ඉදිරියට යා යුතු යි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |