අම්මා ගැන මතකය
අමතක කළ නොහැකිය - දිවියාගහ යසස්සි නා හිමි
මාතර දීයගහ අරඹේ වත්තේ ලොකු මහත්තයා කීවාම කවුරුත් දන්නා මගේ තාත්තා කුඹුරු වතුපිටි
බොහොම තිබුණු ගොවි මහත්මයෙක්. මම උප්පත්තිය ලැබුවේ 1935 අවුරුද්දේ ජනවාරි මාසේ
දෙවැනිදා. මාතර දීයගහදී. ඉස්සර ගමට නම තිබුණේ දිවියාගහ කියලයි.
අපේ පවුලෙ දරුවො පස් දෙනයි. එයින් බාලම දරුවා මම. මගේ අම්මා ඒ.එල්.ඩී. ප්‍රන්සිනා.
ගමේ අය කීවේ අත්තුඩාවේ මහ හාමිනේ කියලයි. මගේ ලොකු මාමා අම්මගේ ලොකු අයියාට කීවේ
පෝස් වත්තේ ලොකු මහත්තයා කියලා. ලොකු මාමාගේ පුතෙක් පැවිදිවෙලා සිටියා. රාජකීය
පණ්ඩිත අත්තුඩාවේ රාහුල මහා නායක හාමුදුරුවෝ. උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි.
මට අවුරුදු පහක් විතර වයසේදී මගේ තාත්තා මා ඉස්කෝලෙට එක්ක ගියා මට මතකයි. දිවියාගහ
බටහිර රජයේ පාසලට. එදා මුළු ඉස්කෝලෙම ගුරුවරුන්ටයි, ළමයින්ටයි අපේ තාත්තා කිරිබත්
බෙදා දුන්නා. මම පස්වෙනි පන්තිය තෙක් එහි ඉගෙනීම කළා.මේ අතර කාලයේ තමයි මගේ ජීවිතයේ
පරිවර්තනයකට හේතු වුණේ. පැවිදි වීමේ කැමැත්ත ඇතිවේගන ගිය කාලය.
දිවියාගහ පන්සල් දෙකක් තිබෙනවා. එකක් පරණ පන්සලක්, රට්ඨපාල මහා විහාරය අනෙක
දිවියාගහ අරෑමුදුගොඩ බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය. රට්ඨපාල විහාරයේ වැඩ විසූ
හාමුදුරුනමක් තමයි දිවියාගහ විපුලතිස්ස හිමියෝ. ඒ පන්සල ආරම්භ කළේ උන්වහන්සේ. මහණ
වෙන්න ආශාව ඇති වුණේ ඒ පන්සලේ දී.
අපේ අම්මා සිල් ගන්නේ ඒ පන්සලේ. තාත්තා ඒ පන්සල ගොඩ නඟන්නට තවත් යාළුවෝ සමග
එකතුවෙලා බොහොම උත්සාහයෙන් වැඩ කළා. මට තාම මතකයි. පොල් අතු සෙවිලි කරලා, මැටියෙන්
බිත්ති බැඳලා සුද තිබූ ශාලාවක් තිබුණා ඒ පන්සලේ. තාත්තා වැඩ කරන හැටි මම බලාගෙන
හිටියා. පොහොය දාට ඒ පන්සලට විශාල සෙනඟක් එනවා. ගිලන්පස බුද්ධ පූජාවක් ඉහළින්
පවත්වනවා. මම ඒ පුජාවට අතගහන්නේ පුදුම සතුටකින්. පූජාවෙන් පස්සේ ලොකු හාමුදුරුවෝ
ධර්ම දේශනා කරනවා. මමත් බණ අහනවා. තාත්තා කියනවා බණ මතක තියා ගන්න කියලා.
ඒ.එල්.ඩී. ප්‍රන්සිනා
මෑණියන් |
ඩී.එන්.රත්නායක
පියාණන් |
සමහරදාට
ගිලන්පස පූජාව බාර දෙන්නේ තුණ්ඩු ලියලා. දවසක් තාත්තා මටත් කීවා පූජාවක් බාර ගන්න
කියලා. මම සතුටින් තුණ්ඩුවක් ගත්තා. තමන් පූජාවක් බාර ගත්තත් ගමේ හැමෝම ඊට සහභාගි
කර ගැනීම ගමේ සිරිතක්. මමත් පූජාව දවසට දින කීපයකට කලින් මගේ යාළුවෝ එක්කරගෙන ගමේ
හැම තැනකම බෝතලයක් අරගෙන තෙල් සම්මාදමේ යනවා. පහන් පූජාවට. මල් නෙළනවා. පූජාව
සංවිධානය කරනවා. පූජාව ඉවරවෙලා ගෙදර ඇවිත් මමත් බණ කියනවා. පුටුවක් අරගෙන ගේ මැද්දේ
තියලා, අම්මගේ සිල් රෙද්දක් ඉල්ලාගෙන ඒ පුටුවට දානවා. තවත් සිල් රෙද්දක් පෙරව
ගන්නවා. වටා පතක් වගේ දෙල් කොළයක් අරගෙන, අම්මටයි, අක්කලාටයි බණ කියනවා. පාලි තැතත්
හාමුදුරුවෝ දේශනා කළ ධර්මය මට කටපාඩම් තිබුණා. පන්සිල් දීලා, දේවාරාධනාවත් කරලයි
එදා මම පුංචි අවධියේ බණ කීවේ.
තාත්තා මේ ගැන පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කීවා. උන්වහන්සේ ඒ ගැන බොහෝ අගය කළා. ටික
කාලයක් යන විට, මට අවුරුදු දහයක් එකොළහක් පමණ වෙද්දී ඉස්කෝලේ යන්න කම්මැලි කරනවා.
මහණ වෙන්න ඕනෑ කියලා අම්මට, තාත්තට කියනවා. මගේ අක්කලා තුන් දෙනාම ගුරුවරියෝ. අයියා
ලිපිකරුවෙක් රජයේ පත්වීමක් . පසු කාලෙක ඒ තනතුරෙන් ඉහළට ගියා. තාත්තා මා
කඹුරුපිටියේ ලොකු අක්කාගේ නිවෙසේ නතර කළා. ඒ මහණ වීමේ ආශාව අමතක කරවන්න ද කියලා
හිතෙනවා. ඒත් මම එහේ හිටියේ ටික කාලයයි. නැවත දිවියාගහ ඉස්කෝලෙට එක්කරගෙන ගියා.
මම මහණ වීමේ කැමැත්ත හමුවන හැමෝටම කීවා. ඒ ගැන කරදර කළා. මගේ කරදරය ඉවසන්න බැරිම
තැන තාත්තා කීවේ ‘තාත්තා පන්සල හැදුවේ පුතාට දෙන්න කියලා මිනිස්සු කතා හදයි. ඒ නිසා
දිවියාගහ පන්සලේ නම් මහණ වෙන්න දෙන්නේ නෑ.” කියලයි. අන්තිමේ දී මාතර පොල්හේන පුරාණ
විහාරයට පැවිදිවීමට බාර දෙන්න තීරණය කළා.
මට තවමත් මතකයි. 1947 අවුරුද්දේ තාත්තා මාව තිරික්කලයක නංවාගෙන, ගිලන්පස බඩු
බාහිරාදිය බොහෝ පටවාගෙන පොල්හේන පන්සලට එක්කරගෙන ගියා. එදා පන්සලේ මහා පින්කමක්.
චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළඳවීමේ උත්සවය. බෙර දවුල් ගහනවා. ගාන්ඨාර ශබ්ද පූජා
කරනවා. මම පන්සලට ගියෙත් ඒ පින්බර අවස්ථාවේ. පන්සලේ නායක හාමුදුරුවෝ ගණේගම
අත්ථදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේත්, හරිම කරුණාවන්ත, ගුණවන්ත,
සිල්වන්ත, කාගෙන් ගෞරවයට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. පන්සලේ නතර වූ මා
සාමණේර බණ දහම් පොත පාඩම් කළා. ඒ කාලේ උගත් ස්වාමීන් වහන්සේ නමක් එහි වැඩ සිටියා.
අතුරලියේ ඉන්දරතන හාමුදුරුවෝ . අත්ථදස්සි හාමුදුරුවන්ගේ හොඳ ශිෂ්‍ය රත්නයක්.
උන්වහන්සේ මට බොහෝ උපකාර කළා. ලොකු හාමුදුරුවෝ තරමටම. ගුරු හාමුදුරුවන් වහන්සේ හා
සමානව මට හැමදේම කියා දුන්නා.
මා පැවිදි කිරීමේ උත්සවය පැවැත්වුණේ 1947 දහවෙනි මාසේ අට වෙනිදා. ඉතාම උසස්
ආකාරයෙන් මහණ පින්කම සිදු කළා. මගේ අම්මා එදා බොහෝ සතුටු වුණා. ඒත් ඇස්දෙකේ කඳුළු
පිරී තිබෙනවා දුටුවා.
මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ, ගණේගම අත්ථදස්සී නායක හාමුදුරුවෝ සහ දිවියාගහ
විපුලතිස්ස නායක හාමුදුරුවෝ . 1948 අවුරුද්දේ මා පොල්හේනේ සිට සැතපුම් එක හමාරක්
පමණ දුරින් පිහිටි ශ්‍රී සුදර්ශී පිරිවෙනට බාර දුන්නා. එහි පරිවේනාධිපති වහන්සේ,
විද්‍යෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යයෙක් වූ කඩවැද්දුව සිරි නිවාස ස්වාමීන් වහන්සේයි.
එහිදී මම හොඳින් ඉගෙන ගත්තා. ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගය සමත් වුණා. මම උපසම්පදා
වුණේ 1955 අවුරුද්දේ. සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මූලස්ථානය වූ මහනුවර දී, ඒ
වසරේ ම කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් කළා.
ඒ කාලේ එහි පරිවේනාධිපති හාමුදුරුවෝ බද්දේගම පියරතන නායක ස්වාමීන් වහන්සේ. මගේ
අධ්‍යාපන කටයුතුවල භාරකාරත්වය ලැබුණේ වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේටයි. ඒ
වගේම පළන්නොරුවේ විමලධම්ම නායක හාමුදුරුවෝ, දෙහිගස්පේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ,
වේරගොඩ අමරමෝලි නායක හාමුදුරුවෝ, වැලිවිටියේ පේමරතන නායක හාමුදුරුවෝ වැනි ලෝකයේ ම
ප්‍රසිද්ධ වූ, ග්‍රන්ථ ලියා පළ කළ උගත් හාමුදුරුවන් වහන්සේලාගේ ගුරු ඇසුර මට
නිරන්තරයෙන් ලැබුණා.
මට මතකයි මා කුඩා කල, මගේ අම්මා හැම පෝයටම සිල් සමාදන් වෙනවා. මට සීවලී මහරහතන්
වහන්සේ ගැන, රාහුල හාමුදුරුවෝ ගැන කියා දෙනවා. තාත්තාට පිරිත් පොතම හොඳින් කට
පාඩම්. අක්කලා රෑට කෑම සූදානම් කරනතුරු, තාත්තා ඇඳේ හාන්සිවෙලා, මා ද ළඟ තියාගෙන
පිරිත් කියනවා. මටත් කියන්න කියනවා. මගේ අම්මා, තාත්තා දෙන්නාම හරිම කරුණාවන්තයි.
පිටිසර ම හැදුණු අයනේ. අනුන්ට උපකාර කරන්න හරිම කැමැතියි. තාත්තා සමහර දවසට කෑම
සූදානම් කරවාගෙන ගමේ වැඩිහිටියන්ට ගෙන ගොස් දෙනවා. මමත් තාත්තා සමග යනවා. ඒ කාලේ
මාතර පාලටුවේ පන්සලේ වැඩ හිටියා. ඇටම්පල රතනපාල කියලා ස්වාමීන් වහන්සේ නමක්.
විද්‍යොදය පිරිවෙනේ රන් පදක්කම් ලැබූ උගත් හාමුදුරු කෙනෙක්.
තාත්තා බොහෝ දවසට උන්වහන්සේට දානය ගෙනයනවා. සැතපුම් හතරක් විතර දුර. දානය ගෙන යන්නේ
හට්ටිවල අඩුක් කරගෙන, කදකින් කද අරගෙන යන්නත් තාත්තාගේ හිතවතෙක් හිටියා. මමත්
තාත්තා එක්ක දානය අරගෙන පයින් ම යනවා. මේ දේවල් මම ඉතාම ආශාවෙන් කළේ.
1959 අවුරුද්දේ විද්‍යොදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. මම ඒ උපාධියත්
සමත් වුණා. ඒ මොහොතේ අම්මා තරම් සතුටු වූ කෙනෙක් නෑ කියලයි මා සිතුවේ.
මේ අතර මා රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනට සම්බන්ධ වූණා. ආචාර්ය මාපලගම විපුලසාර
හාමුදුරුවන් වහන්සේ සමඟ සම්බන්ධතා ගොඩනැගුණා. ඒ කාලේ ගිහි පැවිදි අයගේ
සහභාගිත්වයෙන් ප්‍රසිද්ධ සංවිධානයක් තිබුණා. ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය. 1972
අවුරුද්දේ මා එහි ලේකම් වශයෙන් පත්වුණා. සභාපති විපුලසාර හාමුදුරුවෝ. එදා පටන් ඒ
සම්මේලනයෙන් ශාසනික වශයෙන් විශාල සේවාවක් කළා.
උපාධිය සමත් වූ පසු විවිධ පාසල්වල ගුරුවරයෙක් ලෙස සේවය කළා. 1970 දී කොළඹ ආනන්ද
විද්‍යාලයට පත්වීමක් ලැබුවා. 1974 ඉන්දියාවේ නවදිල්ලි නුවර මහා සම්මේලනයක් තිබුණා.
ඊට සහභාගි වුණා. ජපානය, රුසියාව, මොංගෝලියාව, තායිලන්තය, ප්‍රංශය ආදී රටවල විවිධ
ආගමික සම්මේලනවලට සහභාගි වුණා. මේ හැම අවස්ථාවක ම මගේ අම්මා බොහෝ සතුටු වුණා.
තමන්ගේ පුතා ශාසනය වෙනුවෙන් කැපවෙන බවට අම්මාගේ හිතේ තිබුණේ බොහොම විශ්වාසයක්.
මගේ අම්මා අවුරුදු 96ක් ජීවත්වුණා. මීට වසර ගණනාවකට පෙර 1988 නොවැම්බරයේ දී අම්මා
මිය ගියත් අම්මා ගැන මතකය යම් තරමකින්වත් අමතක කළ නොහැකියි. මගේ තාත්තාත් ඒ වගේ. අද
මාතුළ තිබෙන කරුණාව, දයාව, පරිත්‍යාගශීලි බව, මේ හැම ගුණාංගයක් ම මට ලැබුණේ මගේ
අම්මාගෙන් හා තාත්තාගෙන්. අම්මා, තාත්තා දෙදෙනා ම කුඩා අප වරදින් මුදවා ගත්තා. පව්
පින් ගැන කියා දුන්නා. යහපතෙහි යෙදවූවා. බොරු කියන්න, බොරු කරන්න, සෙල්ලමටවත්
සොරකමක් නොකරන්න ඉගැන්නුවා.
මගේ අම්මා, තාත්තාගේ නිවැරැදි මග පෙන්වීම, කුඩා කල මට ලැබුණ උතුම් දායාදයක්. බුද්ධ
පුත්‍රයෙක් ලෙස මේ සම්බුද්ධ ශාසනයේ මගේ අරමුණ සාක්ෂාත් කර ගන්නට හැමදාමත් අම්මගේ
තාත්තාගේ ආශිර්වාදය ලැබෙන බව මට විශ්වාසයි.
- රමණි සුබසිංහ |