Print this Article


තමා තුළින් ලෝකය දකින්න

තමා තුළින් ලෝකය දකින්න

විශ්ව ධර්මතාව වන අනිත්‍යතාව මනා ලෙස වටහා ගැනීම කෙනෙකුට තමන්ගේ භව ගමන් නිරුද්ධ කර ගැනීමට, සසර ගමන කෙළවර කර ගැනීමට කෙතරම් නම් ඉවහල් වෙනවාදැයි වටහා ගත හැකියි. අනිත්‍යතාව මෙනෙහි කිරීම සඳහා වැදගත් වන ගාථාවක් දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් වේ. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රකාශ කරන ලද ගාථාව මෙසේ ය.

අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තේසං වූපසමෝ සුඛෝ

එම ගාථාවෙන් කියැවෙන්නේ ද අප විසින් නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු ජීවිත ස්වභාවය යි. ඒ අනිත්‍යතාවය යි . මෙය බොහෝ දෙනා කෙනෙක් මිය ගිය මොහොතේ පමණක් කියන්නට තිබෙන ගාථාවක් සේ සලකා භාවිතාවෙන් ඉවත් කර තිබෙනවා. බොහෝවිට මේ ගාථා සජ්ඣායනය අද මළ ගෙවල්වලට පමණක් සීමා වී තිබෙනවා. නමුත් මෙහි අන්තර්ගත වී තිබෙන්නේ මුළු මහත් විශ්වයේ ම යථාර්ථය යි. අනිච්චා වත සංඛාරා යන පදයේ තේරුම වන්නේ ඒකාන්තයෙන් ම සියලු සංස්කාරයන් නිත්‍ය නොවේ යන්න යි. අස්ථිරය යන්න යි. අනිත්‍යයි යන වචනයේ අදහස වෙනස් වෙන සුළු කියන එක යි. සියලු සංස්කාර ධර්මයන් මොහොතක් මොහොතක් පාසා ගලා යන දිය දහරාවක් සේ වෙනස් වෙමින් පවතිනවා. එය එකදු මොහොතක් නොවෙනස් ව පවතින්නේ නැහැ. සංස්කාර ධර්මයන් මොන මුහුණුවරකින් පැවැතියත් ඒ සියල්ල වෙනස් වන ස්වභාවයෙන් යුක්ත යි. ඉපදී, වැය වී, ගෙවී යන සුළු යි. ඉපදී නිරුද්ධ වන සුළු යි. මේ ඉපදී නිරුද්ධ වන සුළු දේ යම් නො බැඳීමක් වේ නම්, ඒ නො බැඳීමෙන් ඇතිවන සන්සිඳීම උතුම්ම සුවය යි.

අවබෝධයෙන් කළකිරුණ තැනැත්තා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් වටහා ගන්නවා. දුක් වශයෙන් වටහා ගන්නවා. සියලු ධර්ම අනාත්ම වශයෙන් වටහා ගන්නවා. අනිත්‍ය වූත්, දුක්ඛ සහගත වූත්, අනාත්ම වුත් ධර්මතා කිසිවක් වැළැඳ ගත යුතු නො වන බව වටහා ගත යුතුය. සංස්කාර කියන්නේ ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුසල මුල් තුන මූලික වෙලා සිතින්, කයින් සහ වචනයෙන් කර්ම සැකැසීම යි. කර්ම සැකැසීමක් නැතිනම් සත්ත්වයාගේ පැවැත්මක් ද නැහැ. අකුසල් මුල් නැති සිත පිරිසුදු යි. සිත සැකැසීමේ දී සිත තුළ මුලින් ම අකුසල් මුල් ඇති වන බැවින්, ඒ සිත් අපිරිසුදු වෙනවා. අකුසල් මුල් නැති සිත තුළ පින් හෝ පව් වශයෙන් ක්‍රියාත්මක විසුද්ධ කර ගන්නේ ඒ ආකාරයට යි.

සත්ත්වයාට සංසාරික දුකට ගොදුරු වන්නට සිදු වූයේ කාගේ හෝ වරදක් නිසා නොව, ඒ ඒ සත්ත්වයා ම විසින් කර ගන්නා ලද පින් පව්වලට අනුරූපීව යි. ඒ අනුව අප විඳින යම් දුකක් වේ නම්, ඒ සියලු දුක්වලට වගකිව යුත්තා අපයි. අප විසින් ම ගොඩ නඟන ලද දුක ගැන යමෙකුට වැටහෙන්නේ නම් සැබැවින් ම අප ඒ ක්‍රියාව කෙරෙහි කළකිරෙනවා. තමන් කෙරෙහි කළකිරෙනවා. තමන්ගේ ම අඥානකම නිසා තමන් සසරට වැටුණු බව කල්පනා කරන තැනැත්තා එලෙස නැවත සසරට වැටෙන්නේ නැතිව සිටීමට නම් තමන් විසින් සංස්කාර ගොඩ නැගිය යුතු බවත්, අවබෝධයෙන් සංස්කාර ගොඩ නැගීමෙහි කළකිරිය යුතු බවත් තේරුම් ගන්නවා. එසේ කළකිරීමට නම් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකිය යුතු වෙනවා. නිත්‍ය වූ ස්වභාවයක් නැති දේ, නිත්‍යත්වයෙන් වැළැඳ ගැනීම මෝඩ ක්‍රියාවක් බව වටහා ගන්නවා. ඒ සියල්ල අවබෝධයෙන් අත්හරිනවා. අවබෝධයෙන් අත් හැරීම නිසා නැවත සංස්කාරයන්ගේ රැස්වීමක් වන්නේ නැහැ. නැවත සංස්කාරයන් යම් සිතක රැස් වන්නේ නැතිනම්, ඒ සිත සංස්කාරයන්ගෙන් තොරවීම සංඛාරගත සිතක්. සංස්කාරයන් නැති සිත පිරිසුදු යි.

එලෙසම යමෙක් මේ මනුෂ්‍ය ලෝකයේ දි අපට අත් විඳින්නට වෙන අරමුණු නිසි ලෙසින් හඳුනා ගෙන, මේ ලෝක ස්වභාවය නිසි ලෙසින් හඳුනාගෙන කටයුතු කරන්නේ නම්, මේ සම්මත ලෝකය තුළ අත් විඳින්නට වෙන බොහෝ දුක් වේදනා අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. අෂ්ට ලෝක ධර්මය මැනැවින් තේරුම් ගෙන කටයුතු කරනවා. අනිත්‍යතාවෙන් පිරි ලෝකය තුළ අෂ්ට ලෝක ධර්මය ද නිරන්තරයෙන් වෙනසකට ලක් වන බව තේරුම් ගැනීමට හැකියාව තිබෙන නිසා ඉඳුරන්ට ගොදුරුවන අරමුණු පරිහරණය කිරීමේ දී කිසිවිටෙකත් ඒවායේ අනවශ්‍ය ලෙසින් ඇලෙන්නේ ද නැතිව,ගැටෙන්නේ ද නැති ව අරමුණු පරිහරණය කිරීමට උත්සාහවත් වෙනවා. දුකෙන් මිදෙන්නට හැකි වන්නේ එවිට යි. අනිත්‍යතාව නිසි ලෙසින් දැකීම දුක්ඛ සත්‍යය වටහා ගැනීමක් වන්නා සේ ම, දුක ඇතිවන දේට නො ඇලී සිටීම දුක්ඛ නිරෝධය ඇති කර ගැනීමක්. නිවන සාක්ෂාත් කර ගැනීමක්. ඒ අනුව දුක ද, දුකට හේතුව ද දුකින් නිදහස්වීම ද තිබෙන්නේ මේ ලෝකය මත ම බව අප වටහා ගත යුතු වෙනවා.

මෙහිදී ලෝකය යනුවෙන් සඳහන් කරන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු පමණක් නොව , ඒ අරමුණු ග්‍රහණය කර ගන්නා ඉන්ද්‍රියයන්ගෙන් සුසැදි මේ බඹයක් පමණ වූ ශරීරයට බව අප සිහිපත් කර ගත යුතුයි. තමා තුළින් ලෝකය දකින්නට යැයි බුදුපියාණන් වහන්සේ අපට උපදෙස් දී තිබෙන්නේ ඒ නිසා යි.