සසර පුරා
පෙරුම් පුරා
බත්තරමුල්ල , සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති මෙම අවස්ථාවෙහි, එමගින් ලැබිය හැකි උතුම් ම ඵලය වන
දහම් ඇස පාදාගෙන, සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යග් ප්‍රධන් වීර්ය පවත්වා ගත යුතු
බවට නිතර මෙනෙහි කරන්න. පස් පව්, දස අකුසල්වලින් මිදෙන්නට යැයි මොනතරම් පැවසුව ද
වැඩි පිරිසක් ඒ ගැන නොසිතන්නේ කුමක් නිසා ද?
එයට හේතුව නම් දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නො ගැනීම නිසා ය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් තිස් එකක් සක්වළයන් හි උපත් ලබා ඇති සියලු
සත්ත්වයෝ ම ඔවුන්ගේ අතීත සසරෙහි උපත ලබා ඇත්තේ සතර අපායේ ය. සතර අපායේ ඉපිද ඉන්
නිදහස් වීමට නොහැකි ව කල්ප ගණන් දුක් විඳ ඇත. එළුවන්, කුකුළන්, ගවයන් ආදී සතුන් ලෙස
ඉපිද, ගෙල කැපී, ඉන් ගලාගිය රුධිරය සිව් මහා සාගරයේ ජලයට වඩා වැඩි බව ය. ප්‍රේත
විෂයෙහි අපි ද අපවිත්‍ර දෑ ආහාරයට ගනිමින් වචනයකින් කියා නිමකළ නොහැකි තරම් දුක්විඳ
ඇත්තෙමු. “දුල්ලභංච මනුස්සත්තං” මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ බව ඔබට අපට
පියවී ඇසින් දැක ගත හැකි තිරිසන් අපාය දකින විට අවබෝධ නොවේ ද? අසනීපයක් නොවේ නම්,
උපතින් ලද ශරීර වර්ණය හෝ උස මහත ගැන කලබල විය යුතු නොවේ. ඉතා ම දුර්ලභ වූ මනුෂ්‍ය
ජීවිතය අප ලබා ඇති බව සිහිපත් කොට ඉන් උතුම්ම ප්‍රයෝජන ලැබීමට වීර්යය ආරම්භ කළ යුතු
ය. සම්මුතියෙහි පිහිටා සම්මත ලෝකයෙහි ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවන්, ගේ දොර ආදී
කටයුතු සීලයෙහි පිහිටා පවත්වා ගැනීම ගෘහස්ථ ජීවිත ගත කරන පිරිස සඳහා අනුමත ය. ඒවා
නිසා පස් පව් දස අකුසල් නොකළ යුත්තේ අතීත සසරෙහි අපමණ දුක් නැවත නැවත සිහිපත්
කිරීමෙන් හා ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගැන සිහිපත් කිරීමෙන් ය.
ලෞකික වශයෙන් සීලයෙහි පිහිටා එම පැවැත්ම පිණිස කටයුතු කළේ ද පරමාර්ථ ධර්මයට අනුව
ලැබූ ජීවිතයෙහි සහ බියකරු සසරෙහි යථා ස්වභාවය අමතක නොකොට භාග්‍යවතුන් වහන්සේ විසින්
මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් යුතුව දේශනා කළ දහම් මඟට බැස ගැනීම ද, ඵල ලැබීම ද
අත්‍යන්තයෙන් ම කළ යුතු දෙයකි. මෙම දහම් මඟට බැස ගැනීම සහ ඵලයන් ලබා ගැනීම ද
කල්දැමීමට ද නොහැකි ය. එයට හේතුව නම්, සම්මතයෙහි අවුරුදු සීයක් ආයු ඇත්තේ ය යනුවෙන්
පැවසුවත් බොහෝ පිරිසකට සීයක් ආයු විඳින්නට අවස්ථාව නොලැබේ. මව් කුසයේ කළලය හටගත්
මොහොතේ පටන් ඕනෑම මොහොතක් ජීවිතයේ මරණය හෙවත් අවසන් මොහොත විය හැක්කේ ය. අනුමාන
වශයෙන් “තිබෙනවාය කියන” අවුරුදු සීය ද ලෙඩවීම්, දිරාගෙන යාම්, ප්‍රියයන්ගෙන්
වෙන්වීම්, අප්‍රිය අරමුණු සමඟ ගැටීම්, කැමැති අරමුණු ඉටු නොවීමෙන් සිදුවන සෝක
සන්තාප, හඬා වැළපීම්, දුක්ඛ දෝමනස්ස සමඟින් ගත කරන්නට සිදුවෙයි.
මේ නිසා වඩාත් ම සතිය,ද කායික මානසික ශක්තිය ද පැවැත්විය හැකි මොහොතේ පටන් ධර්ම
මනසිකාරයට සිත ද, සිහිය ද පුරුදු කිරීම් උතුම් ය.
අපි මෙසේ මනසිකාරය කරමු. අපිරිසුදු සිතිත් යුතුව සිතන, කියන, කරන සියලු දෙයම නිසා
දුක් සහගත ප්‍රතිවිපාක ලැබෙන බවත්, පිරිසුදු සිතින් සිතන, කියන, කරන දේ නිසා යහපත්
වූ ඵල විපාක ම ලැබෙන බවත් ය. සියලු සත්වයින් ම කර්මය දායාද කොට ගන්නා බවත්, කර්ම
සිදු වන්නේ ඒ ඒ මොහොතේ බවත් සිහිකරමින්, එළඹ සිටින මොහොතෙහි පිරිසුදු සිතම පවත්වා
ගැනීමට අධිෂ්ඨාන කරගනිමු. සිතින් යමක් සිතා වචනයෙන් පිට කරන්නට පෙර, ක්‍රියාවෙන්
හැසිරෙන්නට පෙර එය තමාටත්, අන් අයටත් යහපතක් හෝ අයහපතක් සිදුවන දෙයක්දැයි පිරිසුදු
ධර්ම මාර්ගය අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස මෙනෙහි කරන්න. එය තමාට හෝ අන් අයටත්
යහපතක් නම් සුදුසු පරිදි, සුදුසු කාලයෙහි සිදු කරන්න. අයහපතක් නම් “මුතු මැණික්
රත්තරන්” දෙනවා යැයි පැවසුවත් “කෝටියක්” මුදලක් දෙනවා යැයි පැවසුවත් නොකිරීමට තරම්
ධර්ම මාර්ගයෙහි තිර අධිෂ්ඨානයක් ඇත්දැයි විමසා බලන්න.
තමා සමාදන් වූ සීලය, වචනයට පමණක් සීමා නොකොට, ඒ ඒ සිල්පදවල අර්ථය ද මනාව ආරක්ෂා
කිරීමෙන් සමාධියට, සම්‍යක් ප්‍රඥාවට බලවත් සේ උපකාර වන ආකාරය ද සිහිපත් කරන්න.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “භික්ඛු සීලවා හෝති. පාතිමොක්ඛ සංවරො විහරති. ආචාර
ගෝචර සම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවි, සමාදාය සික්ඛති සික්ඛාපදේසු”
භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුව වත් පිළිවෙත්හි යෙදෙමින් කුඩා
අණුකුඩා වරදෙහි පවා බිය දක්නා යුතුව සික්ඛාපදයන් හි හික්මෙන්න. එනම් අවබෝධයෙන්
යුතුව සීලය පවත්වා ගන්න. ගෘහස්ථ ජීවිත ගත කරන අය ද එසේ ම සීලය කෙරේ කැමැත්තක්,
ගෞරවයක්, අවබෝධයක් ඇති කර ගැනීම අවශ්‍ය ය. “සීල පරිධෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා,
පඤ්ඤාපරිධෝතං සීලං. යත්ථ සීලං තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං. සීලවතො පඤ්ඤා
පඤ්ඤාවතො සීලං. සීලං පඤ්ඤාණඤ්ච පන ලෝකස්මිං අග්ගමක්ඛායති” (සෝණදණ්ඩ සූත්‍රය)
“ප්‍රඥාව සීලයෙන් පිරිසුදු වෙයි. සීලය ප්‍රඥාවෙන් පිරිසුදු වෙයි. සිල් ඇති කල්හි
ප්‍රඥාව වෙයි. ප්‍රඥාව ඇති කල්හි නිවන අරමුණු කරගත් සීලය වෙයි. සීලය ඇත්තාට සම්‍යක්
ප්‍රඥාව ඇත. සම්‍යක් ප්‍රඥාව ඇත්තාට ආර්ය කාන්ත සීලය ඇත. සීලය සහ ප්‍රඥාව ලොව අග්‍ර
යැයි කියනු ලැබේ”.
තමන්ටත් , අන් අයටත් හානියක් නොවන නිවැරැදි ජීවනෝපාය මාර්ගයන්හි පමණක් නිරත වන්න.
අධර්මයෙන් උපයන ධනය මහා ගින්දරක් සේ ද, උණු වූ ලෝදියක් සේ ද තමාට පමණක් නොව, ඒවා
පරිහරණය කරන අයට ද දෙලොව දී ම කටුක විපාකවලට මුහුණ දීමට සිදුවන බව ද දහම් ඇසින්
යුතුව දකින්න. ඔබ රකිනා සීලයේ පිරිසුදු බවත්, සීලයේ ආනිසංසත් මෙනෙහි කිරීම භාවනාවක්
කරගන්න. එය සීලානුස්සති භාවනාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි පදනම වන සීලය පිරිසුදු
වන විට සමාධියත් ප්‍රඥාවත් දියුණුවන වටපිටාවක් මනසේ පහළ වන බව අත් දකින්න.
“අප්පකිච්ච, සල්ලහුකවුත්ති” යනුවෙන් මෙත්ත සූත්‍රයෙහි දැක්වූ ආකාරයෙන් අවබෝධයෙන්
යුතුව අල්ප වූ කටයුතු සහ සරල සැහැල්ලු ඇවතුම්, පැවතුම් ඇති , පහසුවෙන් පෝෂණය කළ
හැකි අයකු වන්න. අත්‍යවශ්‍යම කරුණු ඉටුවන පරිදි පමණක් දේ සපයා ගැනීමට සිත පුරුදු
කරන්න. නිමක් නැති ආශාවන්ට වහල් වෙමින් , බඩු බාහිරාදිය රැස් කිරීමේ පුරුද්ද
ක්‍රමයෙන් අත්හරින්න. දැනට ආශාවෙන් ම රැස් කරගෙන සිටිනා දේ ස්වල්පය බැගින් හෝ
අයිතිය අතහැර පරිත්‍යාග කිරීමට යොමු වී ඔබේ ම සිතේ ස්වභාවය ගැන තේරුම් ගන්න. තමන්
කළ පරිත්‍යාගයන් “තණ්හා මද මාන දෘෂ්ඨියෙන්” තොරව මෙනෙහි කරන්න. එය චාගානුස්සති
භාවනාව බවට පත්වෙයි.
නිතරම අන් අයගේ දොස් දකින, අන් අය විවේචනය කරන අයෙක් බවට පත් නොවන්න. භාග්‍යවතුන්
වහන්සේ වදාළ පරිදි ධර්ම මාර්ගයෙහි තමා නිවැරැදි අයෙක්දැයි ප්‍රත්‍යවේක්ෂා කරන්න. තම
ජීවිතයේ අසවලා ‘බැන්නා, දොස් කිව්වා, තමා සතු දේ ගත්තා” ලෙසින් සිතේ පවත්වා ගන්නා
වූ සියල්ල මුළුමනින් ම ඉවත්කොට දමන්න. එසේ නොවුනහොත් එම සිතිවිලි අකුසල සඤ්ඤා,
සංඛාර ලෙස ඔබ සුගති මාර්ගයෙන් බැහැර කොට දුගති මාර්ගයට යොමු කරවන බවත් සිහිපත්
කරන්න. මේ ජීවිතය ගැන පමණක් නොසිතා, සසර පුරා දුර ගමනක් ගෙවා පැමිණ ඇති බවත්,
කෙලෙසුන්ගෙන් හට ගැනීම සහ ක්‍රියාත්මක වීම නතර නොකර ගතහොත්, තව බොහෝ දුකින් පිරී
දිගු ගමනක් ඉදිරියට යාමට සිදුවනු ඇති බවත් මෙනෙහි කරන්න. සිතින් හා අතින් අල්ලාගෙන
සිටිනා සියලු දේ මරණයේ දී අත්හැරෙනා නිසා ම ඒවා මුල් කරගෙන ජීවිතය පුරා අකුසල්
රැස්කර ගැනීමෙන් පලක් නොවන බවට සිත පුරුදු කරන්න. අනිත්‍ය දේ නිත්‍ය ලෙසත්, අසුබ දේ
සුබ සෙලත්, දුක්ඛ දේ සැප ලෙසත්, අනන්ත දේ අන්ත ලෙසත් පටලවා ගෙන අවිද්‍යාවෙන්
යුක්තවීම නිසා එක් රැස් වූ කර්ම ශක්තියෙන් දුක් සහිත භවය සකස් වන බව තේරුම් ගන්න.
සියලු දුක්වල අවසානය යනු හටගෙන නැති වී යන සියලු දේ (සංඛාර) නැවත හට නොගන්නට ම සිඳී
යාමයි. තථාගතයන් වහන්සේ ලොවට පෙන්වා දුන් පරම සත්‍ය වූ නිවන යනු ඒ පරම ශාන්ත වූ
සන්සිඳීමයි.
දීපා පෙරේරා |