මිනිස් උපත
අතිශය අල්පය
සිතින් සිතන දේ ගැන කල්පනාකාරී වීම වටී. වචනයෙන් ප්‍රකාශ කිරීමටත්, කයින්
ක්‍රියාත්මක කිරීමටත්, පළමුව දෙවරක් සිහියෙන් විමසිය යුතු වේ. කෙ තරම් ආවේගයක්,
කේන්තියක් පැමිණිය ද ඊර්ෂ්‍යාවක් ලෝභකමක්, මසුරුකමක් සිතට පැමිණිය ද දෙවරක් සිතීමට
හිත
හුරු කළයුතු ම ය.
අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්ඡාජායෙන්ති
(මිනිස් භවයෙන් මරණයට පත්ව නැවත මිනිස් ජීවිත ලබන සත්ත්වයෝ අතිශය අල්ප ය.)
මේ ජීවිතයේ තමන් ලද වටිනාම සම්පත කුමක්දැයි කෙනෙකු අපගෙන් විමසුවහොත්, බොහෝ
දෙනෙකුගේ එකම පිළිතුර වන්නේ තමන්ගේ අම්මා, නැත්නම් තාත්තා හෝ මේ දෙදෙනා ම වන බව යි.
එම පිළිතුරට අමතර ව ලබාදෙන පිළිතුරු ද නැතුවා නොවේ. මගේ දරුවා, මගේ ගේ දොර, මගේ
රැකියාව, මගේ ආගම, මගේ ජාතිය මෙවැනි කොතෙකුත් පිළිතුරු ඉදිරිපත් වේ. එම සියලුම
වර්ගයේ පිළිතුරු අතර ‘මා ලද උතුම් ම වටිනාම සම්පත මගේ මේ ජීවිතය’ යැයි ද තවත්
කෙනෙක් කියන්නට ඉඩ තිබේ. සත්‍ය නම් එයයි. ඔබත්, මමත් ගෙවන මෙම ජීවිතය අප ලද ඉහළම
සම්පතකි.
පින්, කුසල් රැස්කිරීමට මෙන්ම, සසර නැවත නැවත ඉපදීම දුක් සහිත බවද තමන් මෙතෙක් උගත්
දෑ තුළින් යම් පමණකට හෝ අවබෝධ කොට ඇත්තේ නම්, ඒ සියලු දෙනාටත් නො පසුබට වීර්යයෙන්
කෙලෙස් මුලිනුපුටා දැමීම උදෙසා ලද වටිනාම තැන මිනිසත් බවයි.
ඉඩ ලැබෙන නිරතුරුව මේ බව නැවත නැවත සිහිකිරීම අතිශය වැදගත් ය.
උපතින් ම හෝ, පසු කාරණයකින් හෝ දෑස් නො පෙනෙන, දෙකන් නෑසෙන, කතා කළනොහැකි, දෑත්
දෙපා නො ලද, එම අංශයන් අක්‍රීය වූ සහ තවත් බොහෝ අඩුපාඩුකම් සහිත පිරිස් අප අතරත්
නැතුවා නොවේ. ඒ සියල්ලන් අතර අංග සම්පූර්ණ ජීවිතයක් ලැබුයේ වාසනා මහිමයත්, පින්
මහිමයත් නිසාවෙනි. නිරතුරුව තමන් ලද මේ ජීවිතය යහපතෙහි ම යෙදවිය යුත්තේ ඒ නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කරුණු අතර ‘කිච්චෝ මනුස්ස පටිලාභෝ - කිච්චෝ මජ්ඡාන
ජීවිතං’ යනුවෙන් මිනිසත් බව ලබනවා සේ ම අංග සම්පූර්ණ මිනිස් ජීවිතයක් ලැබීම ඉතාම
දුර්ලභ වූ දෙයක් ලෙස පෙන්වා දී ඇත.
මිනිස් බව ලද ඔබට මට නැවතත් ඊළඟ භවය ස්ථිර ලෙස ම මනුස්ස ජීවිතයක් ලැබේ යැයි කිව
නොහේ. දිව්‍ය ලෝක හයත්, බ්‍රහ්ම ලෝක දහසයත්, මිනිස් ලොවත් හැරුණු විට තවත් බොහෝ
ස්ථාන සත්ත්වයාගේ උපත පිණිස පවතී. එම ස්ථාන පොදුවේ හඳුන්වන නාමය නම් ‘සතර අපාය’
යන්නයි.
නරක, තිරිසන්, ප්‍රේත, අසුර යනු එම ස්ථානයන් ය. මෙම සිව් ස්ථානයන්ගෙන් ‘නරකය’ ඉතා
කටුක, වේදනාකාරී, බිය සහගත, ශෝකජනක, අතිශය පීඩාකාරී ස්ථානයකි. නරකය අනුකොටස් අටකට
(08) බෙදෙන අතර, ඒවා ‘අටමහා නරකය’ ලෙස හඳුන්වයි. ඒවායින් පළමු වැන්න ‘සංජීවය’ නමින්
ද අටවැන්න ‘අවීචිය’ නමින් ද දැක්වේ. මේවා කටපාඩම් කර නොගත්ත ද යම් තරමකට හෝ දැනගත
යුතු ය.
සංයුක්ත නිකායේ පඤ්චගතිපෙය්‍යාල වග්ගයේ මනුස්සචුති සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ
පෙන්වා වදාරන කාරණය නැවත නැවත සිහිපත් කළ යුතුම ය.
“අප්පකා තේ සත්තා යේ මනුස්සා චුතා මනුස්සේසු පච්ඡාජායෙන්ති. අථ ඛෝ ඒතේව බහුතරා
සත්තා යේ මනුස්සා චුතා නිරයේ පච්ඡාජායෙන්ති.”
මෙම අනුශාසනාවෙන් පෙන්වා වදාරන්නේ මිනිසත් භවයක ඇති දුර්ලභ බවයි. මිනිස් සිරුරේ
හුස්ම ටික අවසන් වනවාත් සමඟ ම, බොහෝ දෙනෙකුගේ ඉන්පසු උපත නිරයට හෙවත් නරකාදියට යන
බව මෙයින් දේශිත ය. ඒ ගැන තර්ක විතර්ක කිරීම වුවමනා නොවේ. අප කාගේත් පියවි ඇසට
පෙනෙන තිරිසන් ලෝකය ගතහොත්, කැරපොත්තන්, සුනඛයන්, බළලුන්, හාල්මැස්සන්, දිමියන්,
කඩියන් මේ ආදී කො පමණ වර්ග මේ මිහිපිට වාසය කරන්නේ ද? එවැනි තැනකට නො යෑම ම මහත්ම
වාසනාවකි.
නිරය හෙවත් නරකාදිය නමැති උප්පත්ති ස්ථානය තිරිසන් ලෝකයට වඩා අතිශය වේදනාකාරී ය.
එනිසා නිරතුරුව ම සිතින් සිතන දේ ගැන කල්පනාකාරී වීම වටී. වචනයෙන් ප්‍රකාශ
කිරීමටත්, කයින් ක්‍රියාත්මක කිරීමටත්, පළමුව දෙවරක් සිහියෙන් විමසිය යුතු වේ. කෙ
තරම් ආවේගයක්, කේන්තියක් පැමිණිය ද ඊර්ෂ්‍යාවක් ලෝභකමක්, මසුරුකමක් සිතට පැමිණිය ද
දෙවරක් සිතීමට හිත හුරු කළයුතු ම ය.
එසේ සිහියෙන් විමසීමේ දී අහිතකර අනර්ථකාරී හැඟීම් දුරුකළ හැකි ය. එය කෙසේ ද යත් මහ
මුහුදට දමන සියලුම කුණුකසළ වෙරළට ගොඩ ගසන්නා සේ ය. ඔබ, මම ඇතුළු ව සියලු
සත්ත්වයින්ගේ මහ ගෙදර දෙව්ලොව හෝ මිනිස් ලොව නො වන අතර, සිව් අපායවල ය. එයිනුත්
නිරය හෙවත් නරකාදිය ය. එකම ගිනි ගොඩක අප එකට ම දැවුණු වාර, කුසට අහරක් නො මැතිව සා
ගින්නෙන් පෙළුණු වාර, දිය පොදක් නොමැතිව පිපාසයෙන් වේදනා විඳි වාර, අකැමැතිව ම
ජීවිතයට, ශරීරයට හානි වූ අවස්ථා, ශරීර අවයව විනාශ වූ අවස්ථා, විනාශ කළ අවස්ථා,
මනුස්ස, තිරිසන්, ප්‍රේත ආදී උපත්වලදී මෙන්ම තවත් බොහෝ තැන්වල දී කො පමණ වාර ගණනක්
විඳ ඇත්ද?
එබැවින් අප ලද මෙම ජීවිතය වෑයමකින් ලැබූවකි. එය නිරතුරු සිහිකළ යුතු ම ය. එනිසා
සිතේ සංවරය, ඉවසීම, අවෛරී බව, මසුරු නැති බව, නිරතුරුව ම උත්සාහයෙන් හිතට හුරුකළ
යුතු ම ය . ඉතා දුර්ලභව ලද මේ ජීවිතය අවබෝධයෙන් සහ පවින් බැහැරව, සිහියෙන් ගෙවන්නට
ලොකු කුඩා සියලු දෙනා වෙහෙස විය යුතු ය. උත්සාහවත් විය යුතු ය.
ඔබ සැමට යහපත සැලසේවා.
මොරටුව,ගොරකාන
කඳුරුදූව දීපාරාමයේ ශාස්ත්‍රපති
හැඩිගල්ලේ චන්දාලෝක හිමි |