Print this Article


ඒහි පස්සික 36: මනසට විවේකයක් සිතට සතුටක්

මනසට විවේකයක් සිතට සතුටක්

අපේ පාසල් දරුවන් හිමිදිරියේ පිබිදී, අරමුණ මෙනෙහි කර, ඉතා ඉක්මනින් තමාට අදාළ වූ ක්‍රියාකාරකම්හි යෙදීම ආරම්භ කරයි. දෛනික ව ක්‍රියා කිරීමේ දී දවස තුළ සිදු කරන ඕනෑම කටයුත්තක් අධිෂ්ඨානයෙන් සිදු කිරීම ආරම්භ කළහොත් දිනකට කෙතරම් කාලයක් ඉතිරිවේදැයි ඔබ ම අත්හදා බලන්න.

ඉතිරි වූ කාලය ක්‍රියාවක නොයෙදුන ද, ගෙවී යයි. ඇතැම්විට පාඩම් කරන දරුවකු පැයක් පාඩම් කළා යැයි අපි සිතමු. එහෙත් ඒ දරුවාගෙන් විමසා බැලුවහොත් සැබවින් ම පාඩම් කළ කාලය කෙතෙක් විය හැකි ද? බොහෝ විට ඊට පිළිතුරු දෙන දරුවන් පවසනුයේ පාඩම් වූ කාලය විනාඩි විස්සක් ලෙස ය. ඉතින් පැයක කාලය ගත කළත්, විනාඩි විස්සකට පාඩම් කිරීම සීමා වුව ද එක දිගට පැය භාගයක පමණ කාලයක් වට පිට නොබලා, වෙනත් අරමුණු දෙස නොයෙදී දැඩි අදිටනින් පාඩම් කරන්නට උපදෙස් දෙමු.

පළමුව පැයකට විනාඩි විස්සක් පාඩම් කළ ශිෂ්‍යයා එක දිගට පැය භාගයක් පාඩම් කිරීමෙහි යෙදුනහොත් වෙනදා මෙන් නොව වෙනදාටත් වඩා වැඩිපුර විනාඩි දහයක පමණ කාලයක් පාඩම් කර ඇති බව පෙනේ. ඉතිරි අනෙකුත් පැය භාගය නිදහසේ ගත කළ ද, පාඩමෙහි නිරත වූ පැය භාගය ඒ සඳහා යෙදවීමෙන් මනස නිරවුල් ව පවත්වා ගෙන යාමට හැකියාව ලැබේ. මනස නිදහසේ පවත්වා ගෙන යාමට අවස්ථාව උදා වේ. මනසට විවේකයක් ලැබේ. ඒ සමඟම හිතට මහත් සතුටක් ඇති වේ.

ඒ සතුටත් සමඟ ජීවිතයෙහි ඊළඟට උදාවන පැය භාගය ඉතා සාර්ථක වනු ඇත. ජීවිතයෙහි සියලු දේ සිදු කරන විට අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට ජීවිතයෙහි පුරුද්දක් බවට පත් කර ගත යුතුයි.

අපි රූපවාහිනිය නරඹනවා යැයි සිතමු. ඒ සඳහා ඉඳගත් මොහොතේ සිට බලා සිටීමෙන් ප්‍රයෝජනයක් ඇතිවේ ද? වැඩ සටහන් දහයක් නරඹන්නේ නම්, එක් වැඩ සටහනක් තරම්වත් සීමාවක් ඇතිකර ගත යුතු ය .ඇබ්බැහිවීම් තිබෙනවා නම් ඒවා ටිකෙන් ටික අඩු කළ යුතු ය. .සැලසුම් සකස් කර ගත යුතු ය. බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීමට ජීවිතයෙහි පුරුද්දක් බවට පත්කර ගත යුතු ය.

අප නින්දට පත්විය යුත්තේ කෙසේද? නින්දට යාම ගතට සුව ගෙන දෙයි. නින්ද යාමට පැමිණෙද්දී සුවය දැනේ. නැවත එය දැනෙනුයේ නින්දෙන් නැගිටි පසු ය.

නින්දට සූදානම් වෙද්දී සුවයත්, නින්දෙන් පිබිදිවිට සුවයත් ඇතිවේ. නින්ද ගිය විට කිසිවක් නොදැනී යයි. ඒ අතර අවස්ථාව කිසිවක් නොදැනුනද නින්දට යාමේදී දැඩි අධිෂ්ඨානයෙන් යා යුතුය. බුද්ධ දේශනාවට අනුව දකුණු ඇලයට හැරී නිදියන ආකාරය සඳහන් වේ. වෛද්‍ය විද්‍යාවට අනුව ද ඒ ඉරියව්ව ඉතා යහපත් බව පෙන්වා දී ඇත.

නින්දට යා යුතු වන්නේ අසවල් වේලාවට පිබිදෙනවා යන අධිෂ්ඨානයෙනි. ඒ අනුව අපේ ජීවිතය, ජීවිතයක් කර ගත යුතුය. තැන තැන වැටි වැටී සිටීමෙන් ජීවිතයක් ජය ගත හැකි නොවේ.

අපේ සමහර ඇත්තන් භාවනා කිරීමට කාලය නැත යි කියනු අසන්නට ලැබේ. ජීවිතයේ ඉතා කාර්යක්ෂ ම අය බවට ජීවිතය අපි පත් කර ගත යුතු වෙමු. ජීවිතය නිසි අයුරෙන් සැලසුම් කළ යුතුයි. එසේ සැලසුම් කරන අයට තම ශරීරය පිරිසුදු කරන වේලාව ද යමක් කටපාඩම් කරන අවස්ථාවක් බවට ද පත්කර ගත හැකි වේ. අපි ජලස්නානය කරන මොහොතෙදි පවා ජීවිතයේ කට පාඩම් කරගත යුතු දෙය සිදුකරගත හැකිවේ. ඒ ගැන සිතා බලන්න.

අවශ්‍යතාවය තුළ අරමුණු, අධිෂ්ඨානය පවතීනම් එය ඉටු කර ගත හැකි වේ. අවශ්‍යතාවය පවතී නම් අරමුණු වෙත යාමට විවිධ ක්‍රමවේද ඇති කරගත හැකි ය. බස් රථයක ගමන් කරද්දී වට පිට බල බලා ගමනාගමනයේ යෙදෙනවාට වඩා, කළ යුතු බොහෝ ප්‍රයෝජනවත් දේ ඇති බව සිතිය යුතුය. අප්‍රයෝජන දේවල නොයෙදිය යුතු ය. අරමුණ කෙරෙහි අපගේ සිත ප්‍රබල වුවහොත් ඒ ප්‍රයෝජනවත් දේ දැකිය හැකිය. ඒ සඳහා ටික දිනක උත්සාහ කරන විට පහසුවෙන් කළ හැකිවේ. එසේ ජීවිතයට එකතු කරගත යුතු, එකතු කර ගත හැකි ධර්මයෙන් ලද අවවාදයක් වේ. ආයාසයෙන් යම් යහපත් ක්‍රියාවක නිරත වුවහොත් එය නිරන්තරයෙන් කළ හැකි තත්වයට පත් වන බව කල්පනා කළ යුතු වේ.