Print this Article


මිතුදමේ අනුහස

මිතුදමේ අනුහස

වේදේහ හිමියන් විසින් රචිත රසවාහිනියෙහි ජම්බුදීපත්ති කතා අතර පුවරුකඩක් පරිත්‍යාග කළ පුද්ගලයෙකුගේ කතා පුවතක් සඳහන් වෙනවා.

ඊට අනුව, දිනක් එක් මිනිසෙක් දිගු ගමනක් යන්නට පිටත්වුණා. දැඩි හිරු රශ්මියෙන් වෙහෙස වූ ඔහු ගසක් මුල හිඳ බුලත් කමින් සිටියා. තවත් මිනිසෙක් දැඩි පිපාසයෙන් එහි පැමිණ බීමට ජලය ටිකක් ඉල්ලා සිටියත් නැති බව දැන බුලත් හෝ දෙන්නැයි ඉල්ලා සිටියා. එහෙත් අර මිනිසා එය ද ප්‍රතික්ෂේප කළා. පවස ඉවසන්නට නොහැකිව කහවණු දී බුලත් ගෙන කා පිපාසය සංසිඳවා ගත්තා. ඒ අසීරු මොහොතේ මුදලට හෝ තමන්ට බුලත් ලබාදීම ගැන කෘතඥ වූවා. ටික කලෙකින් ඔහු නැවකින් වෙළෙඳාමේ ගියා. මහා සාගරයේ අතරමැද දී නැව මුහුදු බත් වුණා. බොහෝ පිරිස් මිය ගියා. එහෙත් හෙතෙමේ ලෑල්ලක උපකාරයෙන් එතෙරට පිහිනා යන්නට වුණා. මින් පෙර දිනක කහවුණු ගෙන බුලත් ලබාදුන් මිනිසා ද ඔහු ගමන් ගත් නැව මුහුදු බත් වීමෙන් මහ සයුරේ දිවි ගලවාගන්නට වෙහෙසෙමින් සිටියා. ඔහු අල්ලා ගත්, ලෑල්ලක ආධාරයෙන් එතෙරට පිහිනන්නට පටන් ගත්තා. මේ සත්පුරුෂකම දුටු එක් දෙවියෙක් දේවානුභාවයෙන් ඔහු එතෙරට ගෙන ගොස් ඇරලුවා. ලෑල්ල ලද මිනිසා ද එතෙරට ආවා. ආධාරකය නැතිව ද මට කලින් එතෙර වූයේ කෙසේදැයි ඔහු ඒ පුද්ගලයාගෙන් විමසුවා. එහෙත් ඔහු කිසිවක් දැන සිටියේ නෑ. එවේලේ අර දෙවියා පෙනී සිටිමින් කීවේ යම් පුද්ගලයෙක් මව්පියන් රකින්නේ ද, ඔහු දෙවියන් විසින් මුහුදේ දී ද, ගොඩබිමෙහි දී ද රකිනු ලබන බවයි. එසේ ම තෙරුවන් සරණ ගිය, පන්සිල් සුරකින, අටසිල්, උපසම්පදා සිල් රකින පුද්ගලයාට ද, කෙළෙහිගුණ දන්නා සත්පුරුෂයාට ද එසේ දෙව් රැකවරණය ලැබෙන බවයි.

“මම සිල් රකින්නෙකු නොවෙයි. ඉතින් මට නිරුපද්‍රිතව එතෙර වන්නට හැකි වූයේ කෙසේද? අර මිනිසා දෙවියන්ගෙන් ඇසුවා. “මේ සත්පුරුෂයා පරක් තෙරක් නොපෙනෙන මහා සාගරයේ කිසිදු හව්හරණක් නොමැතිව, එතෙර වන මොහොතේ පෙරදාක කළ උපකාරය සිහිකොට තම ආධාරකය ඔබට ලබා දුන්නා. ඒ මිත්‍ර ධර්මයේ අනුහසත්, පුවරුකඩ පරිත්‍යාග කිරීමත් සිහිකොට ඔබට උපකාර වූවායි දේවතාවා පැවසුවා.