Print this Article


විශ්ව ධර්මතාවේ යථාර්ථය වටහා ගනිමු

විශ්ව ධර්මතාවේ යථාර්ථය වටහා ගනිමු

මෙම විශ්වයේ ඇති නිත්‍යම දේ වන්නේ අනිත්‍ය ස්වභාවය යි. විශ්වය තුළ ඇති ජීවි ,අජීවි සෑම දෙයකට ම , සෑම වස්තුවකට ම අයත් පොදු ධර්මතාව අනිත්‍යතාව යි.

සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දෙස බැලු විට ඇත්තේ හටගන්නා සුළු යමක් වේ නම්, ඒ සියල්ල ද ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇති බවයි. (යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති) සත්ත්ව , පුද්ගල, ජීව, අජීව සෑම දෙයක ම මේ පොදු ස්වභාවය තිබෙන බව අප වටහා ගත යුතු වෙනවා.

විශ්ව ධර්මතාව තේරුම් යන්නේ ත්‍රිලක්ෂණය මනා ලෙස වටහා ගන්නා විටයි. ලෝකයේ තිබෙන සෑම දෙයක ම මේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණය තිබෙනවා . එය මනා ලෙස වටහා ගත යුතුයි. මේ සෑම ලක්ෂණයක ම පිටතින් කියැවෙන දේට වඩා, වචනයෙන් කියැවෙන දේට වඩා ගැඹුරක් තිබෙන බව අප වටහා ගත යුතුයි.

පළමුවෙන් ම ත්‍රිලක්ෂණයෙහි එන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීම කළ යුතුයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, හටගන්නා සියලු දේ තුළ ස්ථිර පැවැත්මක් නැහැ. ඒවා මොහොතක් මොහොතක් පාසා ඇති ව, පැවැත, නැතිව යන ස්වභාවයෙන් යුක්ත යි. මොහොතක් මොහොතක් පාසා වෙනස් වන ස්වභාවයෙන් යුක්ත යි. මේ වෙනසටයි අනිත්‍ය කියන්නේ. ඒ වෙනස තුළ දුක ද, සැප ද, ලස්සන ද, අවලස්සන ද තිබිය හැකියි. කෙසේ වෙතත් ඒ සියල්ල සදාතනික නැහැ. මොහොතින් වෙනස් වන සුළුයි. මේ ස්වභාවය සෑම ධර්මතාවකට ම පොදුයි.

අනිත්‍යය කියන්නේ විනාශය නොවෙයි. වෙනස් වීම යි. වෙනසටයි විවිධත්වය කියන්නේ. ලෝකය කියන්නේ විවිධ වූ විසම වූ තැනක්. ලෝකයේ තිබෙන ඒ විවිධත්වය රඳා පවතින්නේ අනිත්‍යතාව පදනම් කරගෙන යි. වෙනස්වීම තුළ ලස්සන ද තිබෙනවා. කැත ද තිබෙනවා. හොඳ ද තිබෙනවා. නරක ද තිබෙනවා. ලෝකය වෙනස් නො වී තිබුණා නම්, ඒකාකාරි ගතියෙන් ම තිබුණා නම්, එහි කිසිදු සුන්දර බවක් නො වන්නට තිබුණා . ලෝකය සුන්දර වී තිබෙන්නේ එකම විදියකට නො පවතින නිස යි. ඒ අනුව අනිත්‍යයතුළ ද තිබෙන්නේ සුන්දරත්වයක් බව අප වටහා ගත යුතුයි. නමුත් ඒ සුන්දරත්වය ද සදාතනික නැහැ. ඒ නිසා එය ආශ්වාදයෙන් වැළඳ ගත යුත්තක් නොවේ. මොහොතින් වෙනස් වෙන දේ ආශ්වාදයෙන් වැළඳ ගෙන , ඒවා නොවෙනස් ව පවත්වා ගන්නට උත්සාහ කළොත් ඇතිවන්නේ දුකක් ම යි. ඒ වෙනස්වීම හෙවත් අනිත්‍යතාව තමන්ට අවශ්‍ය ලෙසින් පාලනය කළ හැක්කක් නොවේ. එය අනාත්ම ස්වභාවයක්. යථාභූත ඤාණ දර්ශනයෙන් දකිනවා කියන්නේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වු ත්‍රිලක්ෂණය දැකීම යි .ඇති දේ ඇති සැටියෙන් දකිනවා කියන්නේ එයට යි. ලෝකයෙහි පවතින කිසිවක් අපට අවශ්‍ය ලෙසින් පාලනය කළ නො හැකියි. ඒ නිසා ම ලෝකයේ ඇති හැම දෙයක් ම අපගේ කැමැත්ත ඇතිවත්, කැමැත්ත නැතිවත් වෙනස් වෙනවා. අනිත්‍යතාවට පත් වෙනවා. ඒ අනුව අනිත්‍ය වන්නේ අනාත්ම නිසා බව අපට වටහා ගන්නට පුළුවන්.

අනාත්ම දේ, මට අවශ්‍ය ලෙසින් පාලනය කළ නොහැකි දේ, මට අවශ්‍ය ලෙසින් පාලනය කළ හැකි යැයි සිතා කටයුතු කරන්නට යාමතුළ ඇති වන්නේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකිවීමේ දුකක්. මේ යථාර්ථය නිසි ලෙසින් වටහා ගන්නා තැනැත්තා, තමා විසින් ම නිර්මාණය කරන ලද දුකෙහි අවබෝධයෙන් කළකිරෙනවා. එසේ අවබෝධයෙන් කළකිරී සිත කිසිවක නොඇලී, නොගැටී පවත්වා ගන්නවා. ඇලීම්, ගැටීම්වලින් සිතෙහි හට ගන්නා වූ සංස්කාරවලින් සිත නිදහස් කර ගන්නවා. සිත සංස්කාරවලින් නිදහස් කර ගැනීම නිසා සිත පිරිසුදු වෙනවා.

සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා

මෙම ගාථාවෙන් ද පෙන්වා දෙන්නේ ඒ චිත්ත විසුද්ධිය හෙවත් සිත පිරිසුදු කර ගන්නා ආකාරයයි. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව ඇතිවීම පැවැතීම හා නැතිවීම ද සංස්කාරයන්ට ම සම්බන්ධ කර්ම, කර්ම බීජ නිපදවීම හා ඒ අනුව ඵලය හටගැනීම ආදි වශයෙන් වූ සියලු සංස්කාරයන්ගේ ස්වරූපය , ස්වභාවය මනා ලෙස අවබෝධ කරගන්නා තැනැත්තා තමන් විසින් ගොඩ නඟන ලද සංස්කාරවල අවබෝධයෙන් ම කළකිරෙනවා. එසේ කළකිරී සංස්කාර ගොඩනැගීම හෙවත් කර්ම රැස් කිරීම නවතා දමනවා. එය සිත පිරිසුදු කර ගැනීමේ ක්‍රමය යි. සංස්කාරවලින් වියුක්ත වූ , තොර වූ සිත විසංඛාරගත වූ සිත නිවන් දකිනවා. අවිද්‍යාව මුල් කරගෙන කටයුතු කරන සත්ත්වයා සසර පැවැත්ම හොඳ යැයි සිතනවා. එසේ සිතා සසර පැවැත්ම පිණිස සිතින් කයින් සහ වචනයෙන් ලෝභ, ද්වේශ හා මෝහ යන අකුසල මූලයන් මුල් කර ගෙන පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර වශයෙන් කර්ම රැස් කරනවා. ඒ රැස් කරන කර්ම හෙවත් සංස්කාරවලට අනුරූපී ව කාම භවයේ හෝ, රූප භවයේ හෝ අරූප භවයේ හෝ පහළ වෙනවා. උපදිනවා.

එසේ ඉපදීම නිසා ජාති, ජරා, ව්‍යාධි, මරණා දී දුක්වලට ගොදුරු වෙනවා. හොඳින් විමසා බලන විට සත්ත්වයාට ඒ සංසාරික දුකට ගොදුරු වන්නට සිදු වූයේ කාගේ හෝ වරදක් නිසා නොව, ඒ ඒ සත්ත්වයා ම විසින් කර ගන්නා ලද පින් පව්වලට අනුරූපීවයි. ඒ අනුව අප විඳින යම් දුකක් වේ නම්, ඒ සියලු දුක්වලට වගකිව යුත්තා අපයි. අප විසින් ම ගොඩ නඟන ලද දුක ගැන යමෙකුට වැටහෙන්නේ නම් සැබැවින් ම අප ඒ ක්‍රියාව කෙරෙහි කළකිරෙනවා.

තමන් කෙරෙහි කළකිරෙනවා. තමන්ගේ ම අඥානකම නිසා තමන් සසරට වැටුණු බව කල්පනා කරන තැනැත්තා එලෙස නැවත සසරට වැටෙන්නේ නැතිව සිටීමට නම් තමන් විසින් සංස්කාර ගොඩ නැගිය යුතු බවත්, අවබෝධයෙන් සංස්කාර ගොඩ නැගීමෙහි කළකිරිය යුතු බවත් තේරුම් ගන්නවා. එසේ කළකිරීමට නම් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකිය යුතු වෙනවා.