Print this Article


සාංඝික දානයේ අනුසස්

සාංඝික දානයේ අනුසස්

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඪිඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහප්ඵලතරන්ති වදාමි”

යනුවෙන් ආනන්දය, අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ , ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය, එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය, කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.

සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙකැයි, කෝටි ගණනෙකැයි ප්‍රමාණ නො කළ හැකි ය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැත්තේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ.

දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදීි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත් ය. එබඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝික දානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.

පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන

අප්පස්මෙකෙ පවෙච්ඡන්ති – බහුනෙකෙ න දිච්ඡරෙ
අප්පස්මා දක්ඛිණා දින්නා - සහස්සෙන සමං මිතා”

ඇතමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුව ද එයින් දන් නො දෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මඳ දීමනාව පොහොසතකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි. මෙයින් දුප්පතකු විසින් දෙන රුපියලක් වටිනා දානය, පොහොසතකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන බව ද ප්‍රකාශිත ය. ඇතැම්හු දුප්පත් නිසා අපට නො දිය හැකි යැයි දීමට පසුබට වෙති. එය අනුවණ කමකි. තමාට ඇති සැටියට බත් සැන්දක් වූවත් දිය යුතු ය. දුප්පතාට එය මහා දානයෙකි. “අසය්හ” සිටාණන් දන් දෙන තැනට යන දුගී මගී යාචකාදීන්ට දකුණු අත දිගු කොට මඟ පෙන් වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන් දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මඟ පෙන් වූ පිනෙන් ම එපමණ ඵලයක් වූ කල්හි ස්වල්පයක් මුත් දෙන තැනැත්තකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතු ද? දුප්පත් යැයි සිතා පසුබට නොවී ස්වල්පයක් වුවත් දීමට පින් කැමතියන් පුරුදු කර ගත යුතු ය.