Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: = නො පමා දන – යති පෙරමුණ

නො පමා දන – යති පෙරමුණ

අප්පමත්තො පමත්තෙසු
සුත්තෙසු බහු ජාගරො
අබලස්සං’ව සීඝස්සො
හිතවා යාති සුමෙධසො

පමාවූවන් අතර - නො පමාව වසමින්
නිදා සිටිනවුන් මැද – අවදියෙන් පසුවෙමින්
අබල අසු පරදමින් - පෙරට යන වේගවත්
අසෙකු මෙන් පෙරට යයි – නුවණ ඇති දන මහත්

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසමින් මිතුරු දෙනමක් නිමිති කරගෙන මේ ගාථාව වදාළ සේක.

" අප්‍රමාදී භික්ෂුව රාත්‍රි මධ්‍යම යාමය පමණක් නිදා අලුයම් යාමයෙහි නැඟී භාවනා කරයි. මේ අප්‍රමාදී චර්යාව හේතුවෙන් උන්වහන්සේ ඉතා සුළු කලකින් ම රහත් ඵලය ලබා ගත් හ. ප්‍රමාදී හිමි නම මුළු වස් කාලය ම ගිනි තපිමින් ඕපාදූප දොඩවමින් ගත කළේ ය."

භාග්‍යවතුන් වහන්සේ ගෙන් භාවනා කර්මස්ථාන ලබා ගත් මේ දෙනම භාවනා පිණිස ආරණ්‍යයට ගිය හ. ඒ දෙනමගෙන් එක් නමක් දවල් දවසෙහි දර එක් රැස්කර රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි දී ගිනි ගොඩක් ගසයි. ඒ වටා වාඩි වී සාමණේරවරුන් සමඟ ඕපාදූප – ප්‍රලාප කතා බහෙහි මැදියම් රැය වන තුරු කල් යවයි. අනිත් හිමි නම මුල් යාමය භාවනාවෙන් ගත කරයි. තම මිතුරු හිමි නම ප්‍රමාදයෙන් කල් යවනු දුටු භාවනා කරන හිමි නම “අප වනගත වූයේ බුදුරදුන් වෙතින් කර්මස්ථාන ලබා ගෙන හෙයින් කථා බහින් කල් යැවීම අනුචිත ය. එහෙයින් පමා නො වී භාවනාවෙහි නිරත වන්නැ’යි අවවාද කළහ. එහෙත් ඒ නොතකා ප්‍රමාදී භික්ෂුව තම චාරිත්‍රය එසේ ම කරගෙන ගියේ ය. අප්‍රමාදී භික්ෂුව ද අවවාද පිළි නො ගන්නා මොහුට අවවාද කර කුමට වෙහෙසෙමි දැයි සිතා තමන් ගේ සුපුරුදු භාවනාවෙහි යෙදෙයි.

රාත්‍රී ප්‍රථම යාමය භාවනාවෙන් කල් ගෙවන අප්‍රමාදී හිමි නම මැදියම් යාමයෙහි නින්දට යයි. ඒ දැක ප්‍රමාදී භික්ෂුව ‘වනගත වූයේ නිදන්නට නො වේ. ඔබ කමටහන් ලැබ අවුත් ප්‍රමාදීව වාසය කරනවා නො වේදැ’යි. භාවනා යෝගී භික්ෂුවට චෝදනා කරමින් සිය කුටියට වැදී දොර වසා ගෙන නිදයි. අප්‍රමාදී භික්ෂුව රාත්‍රි මධ්‍යම යාමය පමණක් නිදා අලුයම් යාමයෙහි නැඟී භාවනා කරයි. මේ අප්‍රමාදී චර්යාව හේතුවෙන් උන්වහන්සේ ඉතා සුළු කලකින් ම රහත් ඵලය ලබා ගත් හ. ප්‍රමාදී හිමි නම මුළු වස් කාලය ම ගිනි තපිමින් ඕපාදූප දොඩවමින් ගත කළේ ය. වස් කාලය නිම කළ දෙනම භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස දෙව්රමට පැමිණිය හ.

‘මහණෙනි, ඔබ දෙදෙනා ම තම ආරණ්‍ය වාසය අප්‍රමාද විහරණයෙන් සාර්ථක කර ගෙන හොඳ ප්‍රතිඵල ලබා පැමිණියේ යැයි සිතමි’යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එවිට ප්‍රමාදී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ අමතමින් ‘ස්වාමීනි, මේ භික්ෂුව අප්‍රමාද විහරණයෙන් වස් කාලය ගත කරන්නේ කෙසේ ද? ආරණ්‍යයට ගිය දා පටන් ම හේ නිදා ගැනීම හැර වෙන යමක් නො කළේ ය’යි පැවසී ය. ‘ඔබ කල් ගත කළේ කෙසේ ද?

‘ස්වාමීනි, මම දවල් දවසේ දර කඩා එක් රැස් කළෙමි. ප්‍රථම යාමය ගිනි දල්වා මා උණුසුම් කර ගතිමි. ප්‍රථම යාමයෙහි නො නිදාම අවදියෙන් සිටියෙමි.’

‘මහණ, ඔබේ කාලය ඔබ ප්‍රමාද විහරණයෙන් ගත කර ඇත. ඔබ කාලය නාස්ති කර පමාව සිට ‘මම අප්‍රමාදීව කාලය ගත කළෙමි’ යි කියයි. ඔබ ප්‍රමාදය අප්‍රමාදය ලෙසත්, අප්‍රමාදය ප්‍රමාදය ලෙසත් පටලවා ගෙන ඇත. ඔබ සමඟ සසඳන විට මපුතු දුබල අසකු පරදවා පෙරට යන ප්‍රබල අශ්වයකු මෙන් ඉදිරියට ගොස් ඇත.’යි වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළ හ.

පමත්තෙසු - ප්‍රමාදවන්නවුන් අතර,

අප්පමත්තො - අප්‍රමාදී වන,
සුත්තෙසු - නිදන්නවුන් අතර,
බහු ජාගරො - වැඩිපුර අවදියෙන් සිටින.
සුමෙධසො - ප්‍රඥාවන්තයා,
සීඝස්සො - ජවාධික අශ්වයෙක්, අබලස්සං ඉව - දුබල අශ්වයකු මෙන්,
හිත්වා - පසු කරමින්,
යාති- ඉදිරියට යයි