Print this Article


ඒහි පස්සික 35: කාර්යක්ෂම පුද්ගලයාගේ ස්වභාවය

කාර්යක්ෂම පුද්ගලයාගේ ස්වභාවය


යහපත උදාවන සිතිවිල්ල ප්‍රබල කළ යුතු යි. යම් විටක අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා යැයි සිතමු. එහිදී ඊට අවශ්‍ය සියලු මූලික පහසුකම් සම්පාදනය කර ගත යුතු ය. ඒ සියල්ල සම්පාදනය කළ ද, අඛණ්ඩව එම ව්‍යාපාරය කර ගෙන යා යුතු මනසිකාරය සකස් කර නො ගනී. එය අතපසු වීමකි. හෝ අමතකවීම කි.

බොහෝ අය යම් කටයුත්තක් ඇරඹීමේ දී වට පිටාව ඉතා හොඳින් සකස් කර ඒ කාර්ය ආරම්භ කරනු ලැබේ. ඉතා කෙටි කලකින් එය අතර මගදී නවතී. ඊට හේතුව නම් ඊට අත්‍යවශ්‍ය වූ සිතිවිලි සකස් කර ගෙන නො තිබීම ය.

අප අරමුණක් ගැනීමේ දී නිවන් දක්නට අවශ්‍ය සිත සකස් කර ගත යුතු ය. නිවන් දකින දෙසට සකස් වූ සිතකින්, ඊට අදාළ කාර්යය සිදු වේ. ලෞකික වේවා. ලෝකෝත්තර වේවා යම් අරමුණකට එළඹීමෙන් ලැබෙන ලාබ මොනවාද? එම අරමුණට ළඟා විය නොහැකි වුවහොත්, තමන්ට වන අනර්ථයන් මොනවා ද? යනුවෙන් ඒවා සියල්ල මෙනෙහි කළ යුතු යි. එසේ මෙනෙහි කරන විට තමන්ගේ සිත තුළ ප්‍රබල හැඟීමක් ඇතිවේ. එම මෙනෙහි කිරීම පුරුදුතාවයක් ලෙස කළ යුත්තකි.

සීලය ආරක්ෂා කිරීමෙන් ඇතිවන ආනිශංසත්, සීලය ආරක්ෂා නොකිරීමෙන් ඇතිවන ආදීනවත් මෙනෙහි කරන තැනැත්තා අරමුණ තීව්‍ර කර ගත යුතු යි. එබඳු තැනැත්තා තුළ සීලය ආරක්ෂා වේ. ඉන්ද්‍රිය සංවර සීලයෙහි ඇති වටිනාකම නිවැරැදිව තේරුම් ගත් තැනැත්තා ඉන්ද්‍රිය අසංවරව වාසය කිරීමෙන් ලැබෙන ආදීනවයන් මෙනෙහි කර තමා ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කළ යුතුය යන හැඟීම ප්‍රබල ලෙස වර්ධනය කිරීමෙන් ඉන්ද්‍රිය සංවරය සලසා ගත හැකි වේ.

දිනකට පැය අටක් පමණ නිදියන තැනැත්තා, දවසෙන් තුනෙන් එක් කොටසක් පමණ කාලය වැය කරනු ලබන්නේ නින්ද සඳහා ය. ජීවිත කාලය ම ගතහොත් වයස අවුරුදු 60 ක් පමණ ජීවත්වන තැනැත්තා අවුරුදු විස්සක් නින්දට ගත කරනු ලැබේ.

සෑම විඤ්ඤාණය ක ම පහළ වීමත් නිරුද්ධවීමත් සමඟ එහි ජීවත්ව සිටින කාලය අවසන් වී යයි. නිදා ගත්තද ජීවිතයෙහි කෙටිවීමක් සිදු නොවේ. තමා සසර ජීවිතයෙහි බොහෝ පින්කර ලබා ගත් ජීවිතයෙන් තුනෙන් එකක් නින්දට වැය කර ඉතිරි කාලයෙන් කුමක් කළ හැකි ද? ලබා ගත් ශරීරයෙහි නඩත්තුවට කෙතරම් කාලයක් වැය වේද? ලබා ගත් ජීවිතය ඇතැම් විට කෙටි දඬුවමක් සමඟ ලැබී ඇති බව සිතන්න. ඉතින් ශරීරය නඩත්තුව සඳහා විශාල කාලයක් වැය වේ.

නිවන් දක්නා අරමුණ තීව්‍ර වුවහොත් ඒ තැනැත්තා කාර්යක්ෂම තැනැත්තෙකු බවට පත් වේ. සිත සෘජුව ම කයට බලපානු ලැබේ. කයට හේතු වන කාරණා සතරෙන් එකකි චිත්තය. අපේ සිත කුසීතකමෙන් ඇලෙන විට කය ද ඒ අයුරෙන් ම ගැට ගැසේ. එබඳු ජීවිත මැටි ගුලියක් වැනි යි. ලෞකිකව දියුණුවන තැනැත්තකු දෙස මොහොතක් සිතා බලන්න. ඔහු ඉතා කඩිසර ය. ඔහුගේ ඉරියව්ව පවා ඈලි මෑලි ගති නොපවතී. එසේ වීමට අපගේ සිත කාර්යක්ෂමකර ගත යුතු යි. අරමුණ ප්‍රබල කර ගත යුතු ය.

අපේ ජීවිතයෙහි කාලය නාස්ති නොවන ආකාරය ට ගත කිරීම ට හුරුකළ යුතු ය. එසේ හුරු කරන්නට නම් අප සෑම ක්‍රියාවක් ම යම් අධිෂ්ඨානයකින් කළ යුතු ය. එය දිනපතා කළ යුත්තකි. එය කුඩා දරුවන්ට මෙන්ම තරුණ වැඩිහිටි සියලු දෙනාට ම එක සේ බලවත් වන ක්‍රියාව කි.

ශරීරය පවිත්‍ර කර ගනිමින්, රෙදි සෝදා ගනිමින් අවශ්‍ය කරන කාලය කෙතෙක් දැයි සිතන්න. ඇතැම් විට ඒ සඳහා ඇතැමෙක් විශාල කාලයක් ගත කරනු ලැබේ. තවත් කෙනෙකුට එය තමාට ම පමණක් සිදු කර ගත හැකි වුව ද සහායට ද කෙනෙකු සොයා ගනී. ඇළකට, දොළකට, ළිඳකට යන ගමනට ඇතැම්විට දෙතුන් දෙනෙකු සහභාගි වේ. එසේ වනුයේ නිසි අරමුණක් නොමැති වීම ය. වේලා සටහන අප නිතර සොයා බැලිය යුතු ය. එසේ නොවන විට අප නොදැනුවත් ව ම වේලාව ගත වී යයි. වේලාව පිළිබඳ සිහිය උපදවා ගත යුතු වේ. තමා යම් කාර්යකට පෙර, ඔරලෝසුව දෙස බලා වෙලාව හිතෙහි සටන් කර ගෙන අසවල් වේලාවට එය අවසන් කරනවා යැයි සිතට ගන්න. එය එලෙස ම ඉටු කරගත හැකි වේ. අරමුණක් පවතී නම් අපගේ හැම ක්‍රියාවක් ම වේගවත්ව ඉටු කෙරේ. ඇතැම් විට අප නොදැනුවත්ව ජීවිත කාලයේ වැඩි කොටසක් නිදාගන්නවා හෝ වැඩිපුර කාලයක් නාස්ති කරනු ලැබේ.

අපේ පාසල් දරුවන් හිමිදිරියේ පිබිදී අරමුණ මෙනෙහි කර ඔරලෝසුව දෙස බලා වෙනදා පාසල් යාමට සූදානම් වූ කාලය විනාඩි හතළිහක් නම් එය විනාඩි 30 කට සූදානම් විය යුතු ය. එබඳු අධිෂ්ඨානයක් ඇතිකර නොගතහොත් කුසීතකමට හුරුවනු ලැබේ. එබැවින් තමා සමඟ තරගයක් ඇතිකර ගෙන බලන්න. තමා ඇතිකර ගත් අධිෂ්ඨානය ආපස්සට අදින බලවේගයක් පවතින හෙයින් ඒ සමග තරග කළ යුතු ය.