Print this Article


සිරි දළදා හිමි සෙවණේ ජනපති ජනජය පැතිරේ

සිරි දළදා හිමි සෙවණේ ජනපති ජනජය පැතිරේ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තේ ය.

ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිට දී මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් බුලත් හුරුල්ලක් දී ජනපතිවරයා පිළිගනු ලැබී ය. අනතුරුව රතු පළසක් වෙතින් ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට ගිය ජනපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්ප්‍රදායානුකූලව පිළිගෙන දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කැඳවා ගෙන යනු ලැබී ය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාළිගාව අභියසට පැමිණ සිටියහ.

දළදා මාළිගාව තුළ රැඳී සිටි ජනතාවගේ සාධුකාර මධ්‍යයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාළිගාව තුළට ප්‍රවිශ්ඨ වූ අතර එහි දී සතර මහ දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු ඒ මහතා පිළිගනු ලැබූහ.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු දළදා මැඳුරෙන් පිටතට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු පිළිගැනීම සඳහා බලා සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර, උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, සරත් අමුණුගම, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, දිළුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, විජයදාස රාජපක්ෂ, ලොහාන් රත්වත්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව මහනුවර දළදා මාළිගාවට පසුගියදා (20) ගොස් උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගත් අයුරු. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මෙහි වෙයි. ඡායාරූපය – රුවන් මීගම්මන සහ බුද්ධික රොෂාන් දළදා මැදුරේ මාධ්‍ය අංශය

අසේල කුරුළුවංශ, ඉන්දික පොල්කොටුව හා මධ්‍යම පළාත් සමූහ සේයාරූ සහ සටහන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා නාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයට වැඩම කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඒ මහතාට සෙත්පිරිත් සජ්ඣායනය කොට ආශිර්වාද කළහ.

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (20) අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගත්හ. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් ප්‍රධාන මහ සඟරුවන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ උත්තරීතර විශේෂාධිකාරී මණ්ඩලය විසින් ජනපතිවරයා වෙත සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කර අදාළ නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දා (20) මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන් මූල මහ විහාරයේදී ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී මහානාහිමියන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව එය බාර දෙනු ලැබූහ.