Print this Article


අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභිමානයෙන් දිවුරුම් දෙයි

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභිමානයෙන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ චාරිත්‍රානුකූල උත්සවය අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියස සලපතළ මළුවේ දී ඉකුත්දා ( 18) පෙරවරුවේ අභිමානවත් සහ ගෞරවනීය ආකාරයෙන් පැවැත්විණි.

ශ්‍රී ලාංකේය රාජවංශයේ අනභිභවනීය නාමයක් දිනාසිටින වීර දුටුගැමුණු රජතුමන් නිර්මාණය කළ, මහා රහතන් වහන්සේලාගේ පා පහසින් ශුද්ධත්වයට පත් ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අභියස පැවැති එම උළෙල චාම් , එහෙත් අභිමානවත් ආකාරයෙන් සංවිධානය කර තිබුණි.

මෙරට ඉතිහාසයේ දේශය එක්සේසත් කළ සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ ශ්‍රේෂ්ඨ නරපතියකු වන දුටුගැමුණු රජතුමාගේ පිළිරුව ඉදිරියේ පැවැති එම අභිමානවත් උළෙල මෙරට ජනාධිපතිවරයෙකු අනුරාධපුරයේ දී දිවුරුම් දුන් ප්‍රථම අවස්ථාව සනිටුහන් කිරීමට සමත්විය.

එම අභිමානවත් උළෙලට මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ උදෑසන 11.15 ට පමණ ය.

අනතුරුව ජය සක් හඬ මැද ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූ අතර රැස්ව සිටි පිරිස වෙතින් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විධායක ජනාධිපතිවරයා පත්වීමේ ප්‍රකාශය සභාව හමුවට ඉදිරිපත් කළේ ය. නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා 17 වැනි දින සවස නව ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීම සම්බන්ධ නිල ප්‍රකාශය නිකුත් කෙරිණි.

ජනාධිපති ධූරයට පත්කිරීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ උදෑසන 11.48 ට යෙදුණු සුබ මොහොතිනි.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එහි තැනුණු විශේෂ පීඨිකාවේ සිට ජාතිය ඇමතුවේ ය. සිය මැතිවරණ ව්‍යාපාරයේ මෙන්ම, ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ ඉදිරි දැක්ම ජාතිය අමතමින් ප්‍රකාශයට පත් කළ රාජපක්ෂ මහතා රට ගොඩනැගීමේ කර්තව්‍යයට දායක වන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කළේ ය.

මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මහා සංඝරත්නයෙහි සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උළෙල නිමාවට පත්විණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සර්වාගමික පූජ්‍ය පක්ෂයත් පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ , අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් , විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

****

සෙත් පිරිත් දේශනා මධ්‍යයේ නව ජනපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා ආශීර්වාද මධ්‍යයේ ඉකුත්දා (19) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධූරයේ වැඩ ආරම්භ කළේ ය.

ජයසක් බෙර හඬ මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහත්වරුන් පිළිගත් අතර ඉන් අනතුරුව රතු පලස වෙතින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තනා තිබූ විශේෂ පීඨිකාව වෙත පැමිණියේ ය. එහිදී යුද හමුදාව ආචාර වෙඩි මුර විසි එකකින් උත්තමාචාරය පිරිනැමිණි. ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිළිගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහත්වරුන් පෙරටු කැර ගනිමින් රාජකාරි ආරම්භ කිරීම සඳහා නිල කාර්යාලය වෙත පැමිණියේ ය.

එහිදී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි , මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සෙත්පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූල් බැඳ සෙත් පැතූහ. ඉන් අනතුරුව නව ජනාධිපතිවරයා සිය මුල්ම රාජකාරිය ලෙසත්, ජනාධිපති ලේකම් ධූරය සඳහා ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත්කර ඔහු වෙත පත්වීම් ලිපිය පිරිනැමී ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම , මහින්ද අමරවීර , දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ. කෙහෙළිය රඹුක්වැල්ල , පියල් නිශාන්ත මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.