Print this Article


සදහම් අරණ

මහසත් ගුණ

සංසාර සක රු දුරු බිඳ දවමින් පවේ
විඩාපත් සව්සතුන් හැමට අනියත භවේ
පින්සාර නිවන දැක සැනහෙන්න දුන් ජවේ
සුගත බුදුපියාණෙනි දිනුව තුන් ලොවේ

කාමයෙන් කිලිටි වුනේ සිතිවිලි වැහී
ලෙවන් සිත් තුළට දී මුලා කරවන සිහී
බොල් දෙයම ගහන ලොව විලස අසිපත් පිහී
හිමි රුවෙන් නොම පහන් සිතක් නෑ දියතෙහී

****

සීවලී මහරහතන් වහන්සේ

බුදු සසුනේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුරට පත්වූයේ සීවලී මහරහතන් වහන්සේ ය. ලිච්ඡවී රජු හා සුප්පාවාසා නම් කෝලිය රජ බිසවකගේ පුතෙකු වූ සීවලි මහ රහතන් වහන්සේ සත් හැවිරිදි වියේ දී ම සසුන් ගත වූයේ ය. සීවලී තෙරුන්ට දානයෙන් අඩුවක් වූයේ නැත.මෙලෙස බුදු සසුනේ ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් වීමේ පෙර පින වන්නේ පදුමුත්තර බුදු සසුන් සමයේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර පැතීමත්, විපස්සී බුදු සසුනේ දී කිරි හා පැණි බුද්ධාදී මහසඟරුවනට පූජා කිරීමත් බව සඳහන් ය. එනමුදු උන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් වන මෙම ආත්මයේ දී සත් අවුරුදු, සත් මසක් මව් කුස තුළ සිට මවට ද, දැඩි දුකක් හිමි කර දුන්නේ ය. පෙර භවයක බ්‍රහ්මදත්ත රජුව උපන් සීවලී කුමරු එරට නුවරවාසීන් සත් අවුරුදු, සත් මසක් නගරය තුළ සිරකර සිටි අතර, එම පාපයට ඒ රජුන්ගේ මව්බිසව ද ආධාර, අනුබල දුන් නිසාත් මහරහත් වන ආත්මයේ දී සත් අවුරුදු, සත් මසක් මව් කුස තුළ සිට දැඩි දුක් විඳීමට සීවලි හිමිට සිදුවූ අතර එදා මව්තුමිය වූ සුප්පාවාසාව එකල කළ පාපයෙන් සිය දරුවා සත් අවුරුදු, සත් මසක්, කුස දරා දැඩි දුක් විඳීමට සිදුවිය.

****

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව ධම්ම චක්ක පවත්වන සූත්‍රයයි. එයට දම්සක් පැවතුම් සූත්‍රය යනුවෙන් ද කියයි. එය බුදුරදුන් දේශනා කළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග මහණුන්ට යි. දේශනා කරන ලද්දේ ඇසළ පොහොය දිනක බරණැස ඉසිපතන මිගදායේ දී ය.

****

මගේ ලොව සඳවතිය

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණාංගයෝ මව් පදවිය ලබන පින්බර කුල කාන්තාව සතු ය. අප උපන් දා අපට පළමු ව මුණ ගැසුණේ අපේ මව ය. එතැන් පටන් මෙත් සිතින් කවා පොවා, අප පෝෂණය කරන්නී ඉමහත් සෙනෙහසිනි. වැරැද්දක් කළ විට අපට තරවටු කළේ ඈ තුළ වන් කාරුණික දාරක ස්නේහයෙනි. ජීවිතයේ දී අපට මුහුණදීමට සිදුවන අභියෝග ජයගන්නට නිවැරැදි ව මුහුණ දීමට මඟ පෙන්වන්නේ අපේ දියුණුව උදෙසා ය. ඒ ඇයගේ උදාර මුදිතා ගුණය යි. අපගේ සැප , දුක සොයා බලන්නේ උපේක්ෂා සහගත සිතකිනි. දුකේ දී වෙඬරු පිඬක් මෙන්, උණුවන සිතක් ද, දියුණුවේ දී, මහාමේරු පර්වතයක් මෙන් නො සැලී ඒ දෙස බලන්නේ සිව්බඹ විහරණ පිරි උදාර මවක බව ලොවක් අභිමුව පසක් කරමිනි. මගේ ලොව එළිය කරන සඳවතිය මගේ අම්මා ය.

****

තුති පුදමු

දහම් දැනුම රැගෙන සිතට
බොදු පිළිවෙත් ලොව හමුවට
ඔවදන් දෙන ළමා පෙළට
තුති පුද දෙමු බුදු සරණට

****

යහපත් සිරිත්

ඉර උදා වෙන්නට
පළමුව නැගිට සිහිකොට
අලසකම් දුරු කොට
කරන් වැඩපළ දියුණු වන්නට

ගේ දොර අතුගෑමෙන්
මූණ කට සේදීමෙන්
හිස හොඳින් පීරීමෙන්
අකුරු පාඩම් කරනු සතුටින්

****

බුදු දහම හා මුසුවූ සෞන්දර්ය

සෞන්දර්ය යනු, සුන්දරත්වය යි. සුන්දරත්වය දැක සුන්දරත්වය අගය කිරීම සෞන්දර්ය රසාස්වාදය යි. බුදුරජාණන් වහන්සේ සුන්දරත්වය අගය කරන බව දැනගත් දෙවියකු බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ ය. බුදු දහම සෞන්දර්ය සංකල්පය හා මුසු වූ දෙයකි. ස්වභාවික පරිසරය සතු වු සෞන්දර්ය රසය නිසා ස්වභාවික පරිසරය ම දම් සභාවක් වූ ආකාර බොහෝ ම ය. අලංකාර, ලස්සන දේ ලස්සන බව පැවසීමටත්, බුදුරජාණන් වහන්සේ මැලි නොවූ හ. බුදු පුදට සැරසෙන මල් වට්ටියක් වුව ද සපයන සෞන්දර්ය රසය කෙ තරම් මිහිරි ද, ශ්‍රද්ධාව උපදවා ගැනුමට ද කලාව භාවිත කිරීමට බෞද්ධ කලාකරුවෝ දක්ෂ වූ හ. මූර්ති ශිල්පිහු මහ කළුගල්වලට ද පණ දී රූ සිරිය මවාලූ විස්මයකරුවෝ වූහ.

****

වන අසිරිය

****

සුළු මෑණියන්ට සමුදීම