අබමිටෙන් පාඩමක්
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
අබමිටෙහි ගුරුකමින් කාන්තාවක රහත් ඵලයට පත්වුණා. පින්වත් දරුවනේ, අද ඒ ගැනයි
කියාදෙන්නට සූදානම් වන්නේ.
පෙර දඹදිව සැවැත් නුවරටත්, රජගහ නුවරටත් අතර ඈත පිටිසර ගම්මානයක, දුගී පවුලකට ලස්සන
දුවක් උපන්නා. ඇයගේ නම ගෝතමී. හොඳින් හැදුණු වැඩුණු ඇය කෙළිලොල් විය පසු කරලා, නව
යෞවන වියට පත්වුණා. රූප සම්පත්තියෙන් කිසිම අඩුවක් නොවූ ගෝතමී ගේ දොර කටයුතු
මැනවින් ඉටු කළා. මව්පියන්ට හරිම ආදරෙයි. ඔවුන්ට කිසිම බරක් නොවී තමන්ගේ වැඩ කටයුතු
තමන් ම කරගත්තා මේ ලෙස ටික කාලයක් ගත වුණා.
රජගහනුවර අසල ගමක විසූ තරුණයෙකුට ගෝතමිය ගැන සිතක් පහළ වුණා. දෙපසම මව්පියන්ගේ,
නෑදෑයින්ගේ අනුමැතිය ඇතිව ඇය සරණපාවා ගත්තා. ඒ කියන්නේ විවාහ වුණා
විවාහයෙන් පසු ඇය ස්වාමියාගේ නිවසේ පදිංචියට ගියා. ඔහුගේ දෙමව්පියන්ගේ, සහෝදර
සහෝදරියන්ගේ සිත දිනාගෙන, ස්වාමියාට ගෞරවයෙන් සියලුම යුතුකම් ඉටු කළා. අලුතගෙනා
මනාලිය නිසා පවුලේ සමගිය ඇති වුණා. දියුණුව ඇතිවුණා. හොඳින් ජීවත්වෙන මේ පවුල දුටු
අසල්වාසීන් නම් සතුටට පත්වුණේ නෑ. ඔවුන් ගෝතමියට ඊර්ෂ්‍යා කළා. ඇයගැන විවිධ දේ
කියන්නට පටන් ගත්තා.
නිතරම බොරුවට විවේචනය කළා. හොඳින් මතක තබා ගන්න. ඔවුන් මේ සියල්ල කළේ ඊර්ෂ්‍යාව
නිසයි.
දරුවනේ, ගෝතමියට තිබුණේ ඉතාම කෙසඟ සිරුරක්. ඒ කියන්නේ හරිම කෙට්ටුයි. “ගෝතමිය බොහෝ
කෙට්ටු නිසා මේ විවාහයට සුදුසු නෑ.”
“ඇයගේ දේහ විලාශයට අනුව සැමියාගේ ආයුෂ අඩුයි. ගෙදරටත් අපලයි.” “ගෝතමී අවාසනාවන්ත
ගැහැනියක්.”
අසල්වැසියන් ඇය ගැන විවිධ කතා ගෙතුවා. ගෝතමිය ඉතාම කෙට්ටු නිසා
“කිසා ගෝතමී” නමින් අන්වර්ථ නමක් ද පට බැඳුණා.
ඒ අන්වර්ථ නමින් ද නිග්‍රහ කළා.
ඉතින් දරුවනේ, නිතර ඇසෙන එවැනි කතා නිසා සැමියාත්, ඔහුගේ මව්පියනුත් ගෝතමිය ගැන
ටිකෙන් ටික අපැහැදුණා. ඇයට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තා.
ඇයගේ හොඳ ගතිගුණ නරක ලෙසින් දුටුවා. ඔවුන් ගෝතමිය පිළිකුල් කළා.නිතර රණ්ඩු දබර ඇති
වුණා. ගෙදර සාමය ටිකෙන් ටික බිඳ වැටුණා. පවුල් පරිසරය ම දෙදරා ගියා. වැඩි කාලයක්
නොගොස් මුළු පවුලම විනාශ වුණා.
දැන් ගෝතමියට හරිම දුකයි. කනගාටුයි. සියලුදෙනාගේ දෝෂාරෝපණ, මදිපුංචිකම් ඉවසාගෙන දුක
සේ කාලය ගත කළා.
මෙලෙස වසර ගණනක් ගෙවී ගියා. ගෝතමියට දරුවෙක් පිළිසිඳ ගත්තා. සිතේ තිබූ දුක් දොම්නස්
ටිකෙන් ටික පහ වුණා. ඒත් තමන්ට ලැබෙන්නට යන දරුවා ගැන ගෝතමියගේ සිතේ ඇති වුණේ
කුතුහලයක්. බියක්, ඇයි? යම් හෙයකින් ගැහැනු දරුවෙක් ලැබුණොත් තමන් අත්විඳින තත්ත්වය
තවත් නරක අතට හැරෙන්නට තිබුණා. ඇය නිතරම ප්‍රාර්ථනා කළේ තමන්ට පුත් රුවනක්ම ලැබෙන
ලෙසටයි. ඇයගේ ප්‍රාර්ථනාව ඒ අයුරින් ම ඉටුවුණා. ලස්සන පුත් රුවනක් ලැබුණා. මෙතෙක්
කල්, දරුවන් නැති කාන්තාවක් ලෙස අනුන්ගේ ඇණුම් පද ඇසූ ඇයට දැන් හරි සතුටුයි. පුත්
රුවනක් ලැබුණු නිසා ගෝතමිය ලැබූ නින්දා, අපහාස හිරු දුටු අන්ධකාරය මෙන් දුරු වුණා.
හැම දෙනාගේම පැසසුමත්, ගෞරවයත් ලැබුණා. තමන්ට වාසනාව ගෙන දුන් පුත් රුවන ඇය තමන්ගේ
ඇස් දෙක වගේ ආරක්ෂා කර ගත්තා.
දරුවනේ, අවාසනාවක මහත. තම දරු පැටියාත් සමග වැඩි කාලයක් ඇයට සතුටින් ඉන්නට ලැබුණේ
නෑ. දරුවාට අවුරුදු දෙකක් පිරෙනවිටම හිතාගන්න බැරි අසනීපයක් හැදුණා. කිසිදු
වෛද්‍යවරයෙකුට දරුවා සුව කරන්නට බැරි වුණා. දරුවා හඬන්නේත් නෑ. කෙඳිරිලි ශබ්දයක්
නෑ. අත පය සොලවන්නේ නෑ. තද නින්දකට වැටුණ වගේ නිසොල්මනේ ඇඳක හොවා තිබෙනවා. ඇත්තටම
දරුවනේ සිදු වී තිබෙන දෙය පැහැදිලියි නේද? දරුවාගේ මේ ක්ෂණික වෙනස්වීම ගැන ගෝතමියට
කිසිදු අවබෝධයක් තිබුණේ නෑ. බියටත්, ශෝකයටත් පත් වූ ඇය සිය දරුවා කරමත හොවාගෙන
නිවෙසින් එළියට බැස්සා. ඒ, සුදුසු වෛද්‍යවරයෙක් සොයාගෙනයි.
ඉතින් ගෝතමී හඬමින්, වැළපෙමින් මහ මග දිව යනවා. හමුවෙන හැම කෙනෙකුගෙන්ම දරුවා
සුවපත් කර දෙන මෙන් ඉල්ලා සිටිනවා. දරුවා මියගොස් ඇති බව ඇයට තේරෙන්නේ නෑ. ඇයගේ
කෙස් අවුල්වෙලා. සංවර ඇඳුමක් නෑ. හරියට උමතු කාන්තාවක් වගේ.
ගෝතමිය දුටු එක් කරුණාවන්ත මනුෂ්‍යයෙක් මේ තත්ත්වය තේරුම් අරගෙන, කල්පනා කරලා
පිළිතුරක් දුන්නා.
“මේ දරුවා සුවපත් කරන්නට හැකියාව තිබෙන වෛද්‍යවරයෙක් රජගහ නුවර ගිජ්ජකූඨ පර්වතය
ආසන්නයේ වැඩ සිටිනවා.” කියලා කිව්වා. ඒ, අපේ බුදුරජාණන් වහන්සේ ගැන.
මග සලකුණු අසාගෙන ගෝතමිය උන්වහන්සේ සොයාගෙන දිව ගියා. උන්වහන්සේට දරුවා දක්වමින්
ඔහු සුවපත් කරදෙන මෙන් හඬා වැටුණා.
ගෝතමිය මහා පින් ඇති කාන්තාවක් බව බුදුරජාණන් වහන්සේ දුටුවා. දරුවා මියගොස් ඇති බව
උපක්‍රමශීලීව ඇයට අවබෝධ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ සිතුවා.
“නැගණිය, දරුවා සුවපත් කිරීමට අවශ්‍ය නම් කිසිවෙක් නො මළ ගෙයකින් අබ මිටක් ඉල්ලාගෙන
එන්න.”
බුදුරජාණන් වහන්සේ ගෝතමියට උපදෙස් දුන්නා.
දැන් ඇයට හරිම සතුටුයි. බුදුරජාණන් වහන්සේ දරුවා සුවපත් කරන බව පැවසුවානේ. ඒ විතරක්
ද? අබ මිටක් සොයා ගැනීම එතරම් අපහසුත් නෑ. ඇය අබ මිටක් සොයමින් ගෙයක්, ගෙයක් ගානේ
ඇවිද ගියා. හැම නිවෙසකින්ම අබ ලැබුණා.ඒත් කිසිවෙක් නොමළ ගෙයක් නම් තිබුණේ නෑ. කවුරු
හෝ මිය ගිහින්. ගෝතමියට කිසිම දෙයක් කරගන්නට නොහැකියි. අවසානයේ ඇයට සියල්ල තේරුම්
ගන්නට හැකි වුණා. මගේ දරුවා මිය ගිහින්. මේ ලෝකයේ ඉපදෙන හැම කෙනෙක් ම මිය යනවා.
බුදුරජාණන් වහන්සේ එය මට තේරුම් කර දෙන්නටයි නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නට කීවේ.
ගෝතමිය සිය මිය ගිය දරුවා සොහොනට ගෙනැවිත් දැමුවා. පිරිසුදු වස්ත්‍රයක් හැඳ පැළඳ
ගෙන බුදු හිමි වෙත ගියා. ජීවිතයේ යථාර්ථය පසක් කරගත් කිසාගෝතමියට බුදුරජාණන් වහන්සේ
අනිත්‍ය ස්වභාවය ගැන, වෙනස්වන ස්වභාවය ගැන පැහැදිලි කළා. දේශනාව අවසානයේ දී ඇය
සෝවාන් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මත ගෝතමිය සසුන්ගත වුණා.
කිසාගෝතමී මෙහෙණින් වහන්සේ ලෙස පැවිදි වුණා. උපරිම ප්‍රතිඵල ලබමින් පංච අභිඤ්ඤා,
අෂ්ඨසමාපත්තිය ලබා, උතුම් රහත්ඵලයටත් පත්වුණා.
දරුවනේ, ජීවිතයේ දී අපට විවිධ පාඩම් ලැබෙනවා. අපට වයසක අය මුණ ගැසෙනවා. ඒත් කවදාවත්
අපි වයසට යනවා කියලා සිතන්නේ නෑ.
ඒ වගේම අපට ලෙඩ වූ අය මුණ ගැසෙනවා. ලෙඩ වූ අය බලන්නට යනවා. ඒ වුණාට අප ලෙඩවෙයි
කියලා හිතන්නේ නෑ. අවමංගල්‍ය නිවෙස්වලට යනවා. ඒත් අපිත් මිය යයි කියලා කවදාවත්
සිතන්නේ නෑ. අත පය කොරවුණු, ඇවිදින්න බැරි බොහෝ අය දකිනවා. අනේ, කවදාහරි අපටත්
මෙහෙම වෙයිනේද? මේ පෙර අකුසලයක් නිසා නේද? කියලා අප කවදාවත් සිතන්නේ නෑ. දරුවනේ, අප
ජීවත්වන සමාජයේ, පරිසරයේ ඇස ගැටෙන දේ අපට හොඳ පාඩම්. අපේ දිවි ගමන සාර්ථක කරගන්නට
එයින් බොහෝ දේ ලැබෙනවා. පින්වත් දරුවනේ, මේ දහම් ලිපි බොහොම හොඳින් කියවා,
තේරුම්ගෙන අලුතින් සිතන්නට පුරුදු වෙන්න. තමන්ට ලැබෙන අභියෝග, අනිත් අය මුහුණ දී
සිටින විපත්, සැපත මේ හැම දෙයක්ම දිවි ගමනට පාඩමක් කර ගන්න, හොඳ මනසක් දියුණු
කරගන්න කියලයි මේ අමාවක පෝ දිනයේ පුංචි දූ පුතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ. |