Print this Article


සද්ධානන්ද හිමියෝ නායක පදවි ලබති

සද්ධානන්ද හිමියෝ නායක පදවි ලබති

ගාල්ලේ කාලේගාන ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති පරිත්තභාණක විජේරියේ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත් වූ හ.

පිටකන්ද නම් වූ ගමෙහි 1962 මාර්තු 04 වන දා උපත ලද පින්වත් කුමරු ගිහි කල ‘සෝමරත්න’ නම් වූ හ. සිය මෑණියන් ආර්.පී. සිදා වූවා ය. පියාණන් කේ.ඩී. කිරිබන්තා නම් වූහ.

පිටකන්ද පාසලේ මූලික අධ්‍යාපනය ලැබී ය. අපවත් වී වදාළ රක්වානේ ඤාණිස්සර අනුනාහිමි හා වෑණියරවෙල සද්ධාරාම ස්වාමීන් වහන්සේ ද උන්වහන්සේගේ ගුරු දේවයෝ වූ හ.

1978 පෙබරවාරි 04 වන දා පැවිදි බිමට පත් වූ උන්වහන්සේ අධ්‍යාපන කටයුතු සඳහා බුලුතොට හේමගිරි පිරිවෙනට වැඩම කරන ලදී. නිසි කල්හි උපසම්පදාව ලැබූ උන්වහන්සේ පිටකන්දේ ජයන්ති විහාරය සියලු විහාර අංගෝපාංගයන්ගේ සමලංකෘත පින් බිමක් බවට පත් කළේ ය.

දායක පින්වතුන් රැසකගේ බලවත් ආරාධනය මත ස්‍රද්ධානන්ද ස්වාමීන් වහන්සේ 1996 අගෝස්තු 07 දින නාගරුක්ඛාරාමයට වැඩම කළහ. ගුරුදේව නාහිමියන් 1996 ඔක්තෝබර් 19 අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ පාලන භාරකාරත්වය උන්වහන්සේ වෙත පැවරිණි.

දූ දරුවන්ගේ ධර්මඤාණය පිණිස දහම් පාසල විනය ගරුක ධර්මධර සේවාවක තත්ත්වයට පත් කරන ලදී.

විහාරස්ථානය ඉතා මනස්කාන්ත දැකුම්කලු පුණ්‍යභූමියක් ලෙස සියලු අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණව පවතී. ශබ්ද ධ්වනි සමන්වාගත ස්වර සංවරයෙහි පිහිටා පිරිත් සජ්ඣායනයේ දී උන්වහන්සේ දක්වන සංවරශීලි කුසලතාවය ප්‍රදේශවාසී සඟ පරපුර අගය කරති. පිරිත් පේ කිරීම, පොත පිරීම හා මණ්ඩපය තුළින් අඛණ්ඩව පිරිත හමාර වන තුරු මෙහෙයවීමට උන්වහන්සේ අපරිමිත පරිණත බවක් දක්වති. ඒ නිසාම උන්වහන්සේ “පරිත්තභාණක” යන නිකායේ ශාසනික ගෞරවයට ද පාත්‍ර වූ හ. නායක අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල පසුගිය අගෝස්තු 31 වන දා සවස විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, කොළඹ 05, හැව්ලොක් ටවුම, ඉසිපතන මහා විහාරාධිපති, ශාස්ත්‍රපති කීඹියේ විජිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හෙබවිය. බෙලිගල්ලේ ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කණුමුල්දෙණියේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේ ද උන්වහන්සේගේ සේවය අගය කරමින් ධර්ම අනුශාසනා පැවැත්වූහ.