Print this Article


වනවාසී භික්ෂු ජීවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය

වනවාසී භික්ෂු ජීවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය

මෙම ලිපියෙහි මුල් කොටස ඉල් පුර පසළොස්වක පෝදා (12දා) පළ විය.

පෞද්ගලික වශයෙන් ආධ්‍යාත්මික දියුණුව පමණක් සලසා ගැන්මට ම යොමුවීමේ හේතුවෙන් වනවාසී භික්ෂුව සාමූහිකව සමාජය තුළ විධිමත්ව හැසිරීම අතින් දුබලතා ඇත්තෙකු බවට පත්වීමට බොහෝ විට ඉඩකඩ තිබේ. සෙසු භික්ෂූන් අරබයා පැවැත්විය යුතු ආචාර සමාචාරාදිය නො දන්න, සමාජයට අනුචිත පැවතුම් ඇති එබඳු ඇතැම් අරණ්‍යවාසී භික්ෂූන් පිළිබඳ තොරතුරු ද පාලි නිකාය ග්‍රන්ථ වාර්තා කරයි. ගුලිස්සානි භික්ෂුව එබන්ඳෙකි. උන්වහන්සේ අරණ්‍යවාසී වූ හ. එසේම සඟ මැදට පැමිණ කළ යුතු ආචාර සමාචාර නො දන්නා ඕලාරික පැවතුම් ඇති වූ හ. ඒ අරබයා සැරියුත් හිමියන් විසින් ගුලිස්සානිට අවවාද කරන ලද්දේ ය.

සඟ මැදට පැමිණි සඟ මැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත ප්‍රතිෂ්ට සහිත වූවකු විය යුතු ය. ඔහු ස්ථවිර භික්ෂූන් ද අසුනින් නෙරපීමෙන් තොර විය යුතු ය. උදෑසන ගම් නො වැදිය යුතු ය. ඉතා දහවල් ගමින් නො නික්මිය යුතු ය. පෙර බත්හි හෝ පසුබත්හි නො පැවරූ කුලයන්හි නො හැසිරිය යුතු ය. උඩඟු වසලයෙකු නො විය යුතු ය. දොඩමලු විසිරුණු වදන් ඇත්තෙකු නො විය යුතු ය. සුවච වූවකු ද විය යුතු ය.එමතු ද නොව ආරණ්‍යක වූ භික්ෂුව සඟ මැදට පැමිණ සහ මැද වසතත් ශ්‍රමණ සාරුප්‍ය වූ පිළිවෙළින් යුක්ත විය යුතු ය. අහරෙහි පමණ දැනීම, ජාගරියානු යෝගය, අරඹන ලද වීර්යය, එළඹ සිටි සිහිය, එකඟ වූ සිත, කාර්යශූර බව, ධර්ම විනයෙහි යෙදීම, සමාපත්තීන්හි යොමුවීම, මිනිස් දම් ලැබීමට ඇති වෑයම යන මෙකී ගුණ ආරණ්‍යක මහණුන් තුළ තිබුවමනා යැයි ද එහි දැක්වේ. මෙකී ඇතැම් පැවතුම් හා පිළිවෙත් ග්‍රාමවාසී භික්ෂුවට අදාළ නොවන්නේ දැයි එහිදී මුගලන් හිමියන් විසින් විමසන ලදී. එය අමුතුවෙන් කිය යුත්තෙක් නොවේ යනු සැරියුත් හිමියන්ගේ පිළිතුර විය.

ග්‍රාමවාසී භික්ෂූන්ට මෙන්ම අරණ්‍යවාසී භික්ෂූන් ද හැකිළුුණු සිතින්, සංවෘතව ප්‍රබෝධමත් බවින් තොරව වාසය කිරීමත් බුදුරදුන් විසින් කවර හැටියෙකින්වත් අපේක්ෂා නොකළ බව ද පාලි මූලාශ්‍රය නිදසුන් සපයයි. සසුන් බඹසර වසමින් සාංසාරික දුක්ඛ දෝමනස්සයන් අරබයා ඇති කරගත් අවදිකමක් උභය වාසයෙන්ම ප්‍රකට විය යුතු ය. එහිද විවාදයෙක් නැත. එහෙත් ඉන් අදහස් කරනුයේ ජීවිතය පිළිබඳ අශුභවාදී දෘෂ්ටියක් උපදවා ගැන්ම මැ නොවේ. බුදුන් දවස විසූ භික්ෂූන් එකිනෙකා සමග සතුටින්, කිසිත් වාද විවාදයෙක් නැතිව කිරි හා දිය මෙන් පෑහී උනනු දෙස පිය ඇසින් බලමින් වසන බව ද, උන්වහන්සේලා තුටු පහටුව, ඔදවැඩි සිත් ගන්නා පෙනුම ඇතිව, පිනාගිය ඉඳුරන් ඇතිව, අවම අපේක්ෂා ඇතිව, වනගතව වසන බව ද ගිහි බෞද්ධයෝ පිළිගත්හ. එකී ප්‍රබෝධමත් ප්‍රසන්නභාවය ඔවුන්ගේ අතිශය ප්‍රසාදයට ද හේතු වූයේ ය. බුදුන් වදාළ පරිදි නො පැහැදුනවුන්ගේ පැහැදී ම ද, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම ද උපදනා සේ භික්ෂුව ක්‍රියා කළ යුතු ය. එය විනය ශික්ෂාවන් හි අරමුණ වන්නේ ය. මේ අනුව භික්ෂූන් ප්‍රබෝධයෙන් හා සතුටින් වසනු දැක්ම බුදුරදුන්ගේ අපේක්ෂාව වූයේ ය. ආධ්‍යාත්මික සංවර්ධනය වෙත නැඹුරු උසස් ආධ්‍යාත්මික ප්‍රතිලාභයන් ද උපදවාගෙන, එහෙත් ඉතා සතුටින් හා ප්‍රබෝධයෙන් වනවාසී ජීවිත ගත කළ බුද්ධකාලීන භික්ෂුන් සිත්ගන්නාසුළු පුවත් සූත්‍රයන්හි වාර්තා වී තිබේ.

එම භික්ෂූහු අතීතය ගැන ශෝක නො කළෝ ය. අනාගතය ගැන නො තැවුණෝ ය. වර්තමානයෙන් ම යැපුනෝ, ඉතා ප්‍රසාද ජනකව වාසය කළෝ ය. නිරාමිස සිතින් යුතුවැ වනගත සොබාවික පරිසරයෙහි සොඳුරු බව ආස්වාදනය කරමින් ඉමහත් අධ්‍යාත්ම තෘප්තියෙකින් හා සතුටකින් වාසය කළ භික්ෂූන් රැසක් පිළිබඳ තොරතුරු ථෙර ගාථාවෙහි දක්නා ලැබේ.

මේ අනුව ග්‍රාමවාසයට වඩා වනවාසය ශ්‍රේෂ්ඨ යැයි බුදුදහම අදහස් නො කරන බුද්ධකාලීන භික්ෂූන් විටෙක වනවාසීව ද, තවත් විටෙක ග්‍රාමවාසීව ද වැඩ සිටි බවට සාධක එමට ය. හුදෙක් වනවාසයට හෝ ග්‍රාමවාසයට ම උන්වහන්සේ සීමා නො වූහ. වනවාසීව මෙන් මැ ග්‍රාමවාසීව ද, නිවන්මග යා හැකි ය. පිළිවෙත් පිරිය හැකි ය. හුදෙක් වනවාසීව විසීම මැ අනිවාර්ය නොවේ. එය අධ්‍යාත්ම ප්‍රගතියට තුඩු දේ නම් පමණක් අනුගමනය කළ යුත්තෝ ය. එසේම වනවාසී වැ විසීමැ තුළින් සමාජ ආචාරධර්ම නො දන්නා ඕලාරික පැවිද්දෙකු බිහිවීම ද සිදුවිය හැකි ය. එය නො විය යුත්තකි. හුදකලාව වසතත් තමා සඟ මැදට වන් කල ආචාර සමාචාරා දී පැවතුම් දන්නා සමාජානුයෝගියෙකු ලෙස ක්‍රියා කිරීම අවශ්‍ය ය. බුදුරදුන් දවස මෙබඳු උපදේශයන් ද ඇසුරු කොට ඉතා සතුටින් වනවාසයන්හි ද කල් ගෙවූ භික්ෂූන් වූ බවට පෙළදහම දෙස් දෙයි.