Print this Article


වස්සානය සහ සිවුරේ කථාව

වස්සානය සහ සිවුරේ කථාව

මෙම ලිපියෙහි මුල් කොටස ඉල්පුර පසළොස්වක (12දා) පත්‍රයේ පළවිය.

දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ද සමඟ රජගහනුවර සිට දක්ඛිණාගිරියට වැඩම කරමින් සිටියා. මේ යන අතර මහාමගධ කුඹුරු සීමාව හමු වුණා. මේ කෙත් යාය සමස්ත මගධ රටට ම බත සපයන කුඹුරු යාය යි. මේ යායේ කුඹුරු නිර්මාණය වෙලා තිබුණේ වටේට ම මහ මියරවල් වගේ ම ඒ සීමාව තුළ කුඩා මියරවල් ද ඒ තුළ තවත් කුඩා මියරවල් ද තිබුණා. බලන්න, මේ කුඹුරු යායේ සැලැස්ම අනුව සිවුර ද නිර්මාණය කිරීමේ වැදගත්කම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී ආනන්ද හාමුදුරුවන් අමතා ප්‍රකාශ කළේ මේ විදයට විවිධ වටිනා වස්ත්‍ර සිවුරු පිණිස ලැබුණ විට එහි වටිනාකම ඉවත් කිරීම පිණිස මේ කුඹුරේ ආකාරයෙන් කෑලිවලට කොටස් කර නැවත ඒ කැලි මූට්ටුකර මසා සිවුර පිළි ගන්නා ලෙස යි. එවිට සොරුන් විසිනු ත් ඒවා පැහැර නො ගන්නා බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ ක්‍රමයට මහමියර වගේ ප්‍රධාන හතරවට නුවා වාටිය මෙන් ම වස්ත්‍රය කඩ කැපීම් වෙල් යායේ කුඩා මියර ආකාරයෙන් සිදු කළ යුතු වුණා. මේ විදිහට පළල නුවා, හරස් නුවා, මහමැඩිලි, වස් අත්ත, ඇල අත්ත, ගෙල පටි ඇල්ලීම්, කෙණ්ඩාපටි ඇල්ලීම්, ආදි කොටස්වලින් සිවුර සකසා ගැනීම සිදුවුණා. බුදුරජාණන් වහන්සේ දක්ඛිණාගිරියට වඩින අතරේ සිවුරු සැකසීම සම්බන්ධයෙන් ආනන්ද හමුදුරුවන්ට මේ නියමය කළා වගේ ම, ආනන්ද හාමුදුරුවෝ මේවා හොඳට අසා සිට අනෙක් භික්ෂූන්ට දන්වලා ඒ භික්ෂූන් ලවා සිවුරක් මස්සවලා ආපසු බුදුරජාණන් වහන්සේ දක්ඛිණාගිරියේ සිට රජගහනුවරට වඩින අතරතුර මේ නව සිවුරු බුදුරජාණන් වහන්සේට පෙන්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ අතිශයින් සතුටට පත් වුණා. ඒ විතරකුත් නොවෙයි. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් සැදැහැවතුන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් පූජා කරන සිවුරු, අඳන සිවුර ඇතුළු මේ තුන් සිවුරෙන් කුමක් හෝ දිරා ගිය පසු ඒවා එක්වර ම ඉවත් නො කර, අණ්ඩ දමා හෝ පෙරවිය යුතු බවට ත්, එසේ ත් නොමැති නම් තවදුරට ත් ඇඳ ඇතිරිලි, පාපිස්නා ආදිය දක්වා පමණක් නොව අවසානයේ බිත්තියේ තබා මැටි හා මිශ්‍රකර මැටි ගැසිීම දක්වා කළයුතු නියමයන් රැසක් පෙන්වා දී තිබෙනවා. මේ විදිහට උන්වහන්සේ සිවුරු පාවිච්චිය පිළිබඳ සැදැහැතියන් මහත් වෙහෙසක් වෑයමක් දරා පූජා කරන මේ සිවුරු අරපරිස්සමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම භික්ෂූන් වහන්සේට ඇඟවීමට යි කියා සිතන්නට හැකියාව තිබෙනවා. කෙසේ වුණත් දැන් වැටහෙනවා ඇති සිවුර හා භික්ෂුවක් විසින් ඒ සිවුර පිළිබඳ අනුගමනය කළයුතු ක්‍රමය කුමක් ද? යන්න ගැන.

දැන් අපි සොයා බැලිය යුත්තේ මේ ,කඨින සිවුර, භික්ෂූන් වහන්සේගේ සිවුරු කට්ටලයට එක් වන ආකාරය පිළිබඳ වයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වර්ෂ විස්සක් ඉක්මුණු පසු මහජනයාගේ ඉල්ලීම වගේ ම, ප්‍රායෝගිකවත් කරුණු සලකා බලා භික්ෂූන් වහන්සේට ත් නියමයක් කෙරුණා වැහි කාලය වන මාස තුන හෝ තුන හමාරක කාලය තුළ ජනපද චාරිකාව අත්හැර, එක් සෙනසුනකට වී තමන් වහන්සේලාගේ විමුක්තිය, සසර දුක අවසන් කිරීම පිණිස බණ භාවනා කටයුතුවල නිරත වෙන ලෙසට. ඉතින් මේ නියමය අනුව එදා පැවිදි වුණු භද්දවග්ගිය භික්ෂූන් වහන්සේ පාවා නුවර සිට දෙව්රම් නුවරට වඩිමින් සිටියා. මේ අතර හමුවෙන සාකේත නුවරට වඩින කාලය වනවිට වස් කාලය ඇරඹුණු නිසා මේ තිස්නම දායක පිරිසකගේ ආරාධනයෙන් සාකේත නුවර වස් විසුවා. වස් අවසානයේ ඉදිරියට යොදුන් සයක් පමණක දුරක් පා ගමනින් සැවත් නුවරට යා යුතුව තිබුණා. ඉතින් තවමත් වැස්ස, යම් පමණකට පවතින වප් පොහොයෙන් පසු එළඹෙන ඉල්පෝය දක්වා වන මේ මාසය තුළ බුදුරජාණන් වහන්සේ දකින්ට පා ගමනින් සැවත් නුවර බලා පිටත් වුණු මේ භික්ෂූන් වහන්සේට තරමක වැස්සට තෙමෙන්ටත් සිදුවුණා. මඩගොහරු තැන්වල පා තබමින් වඩින විට සිවුරුවල ත් මඩ තැවරුණා. ඉතින් බුද්ධ නියමය අනුව තුන් සිවුරෙන් පමණක් වඩින උන්වහන්සේලාගේ සිවුරු තෙත බරිත නිසා ඒවා පොරවා වඩින විට වෙහෙසත් දැනුණා. තෙහෙට්ටු වුණා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ දැක්මට සැවැත්නුවර ගොස් උන්වහන්සේ බැහැ දැකලා සතුටු සාමිචි වශයෙන් පිළිසඳරෙහි යෙදී සිටින විට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා තෙහෙට්ටු බවකින් සිටිනවා දැක ඊට කරුණු විමසුවා. ඉතින් වැස්සට තෙමී, සිවුරු තෙත බරිත වී, එහි බර ද නිසා පීඩාවට පත් වුණු බවත් භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ අතීත බුදුවරයන් වහන්සේලා මෙවැනි අවස්ථාවක අනුගමනය කර ඇති ක්‍රමය බුදුනුවණින් විමසා බලා, පෙරවස් සමාදන් වී මහා පවාරණය සිදු කළ භික්ෂූන් වහන්සේට දායක පක්ෂය විසින් කඨින චීවරයක් පූජා කරන්නේ නම් එය පිළිගැනීමට ත්, එසේ පිළිගත් භික්ෂූන් වහන්සේට භාවිතය සඳහා අතිරේක සිවුරක් වශයෙන් චීවරයක් සන්තකයේ තබා ගැනීමට ත්, එවැනි ආකාරයෙන් වැස්සකට වැනි තත්වයකට හසු වී තුන් සිවුර තෙත බරිත වුවහොත් කඨින චීවරයක් ලැබී ම නිසා එහි ආනිසංස වශයෙන් තබා ගත් අතිරේක සිවුර පොරවා ගැනීමෙන් පහසුවක් වන බවත් වදාරා කඨින චිවරය මේ චීවර මාසය තුළ පිළිගැනීමට, අනුදැන වදාළා.